"දේශපාලනඥයින්ට ඕන ඕන විදිහට රට පාලනය කරගෙන යන්න පුළුවන්."


කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා  අධ්‍යන අංශයේ ආචාර්ය ප්‍රේමලාල් ද සිල්වා

  • " අවාසනාවකට අපේ රටේ තිබෙන ප්‍රශ්නය තමයි අපි දකින්නේ  අනෙක් ජනවර්ග කණ්ඩායම් සමාජයට යම් ආකාරයක අභියෝගයක්, තර්ජනයක් හැටියට"
  • " යුද්ධයේ ප්‍රතිපලයක් විදිහට තමයි ඩයස්පෝර කියන එකක් ඇති වෙල තිබෙන්නේ. දෙමළ ඩයස්පෝරාව, සිංහල ඩයස්පෝරාව   ඇති වෙන්නත් බලපෑවේ මේ රටේ අනාරක්ෂිත තත්වයක්"
  • " යුද්ධය කරා අපේ සමාජය ගමන් කලේ  පශ්චාත් නිදහස් සමාජය ඇතුලේ අපිට යම් ආකාරයක සියලුම ජනවාර්ගික කණ්ඩායම් වල බලාපොරොත්තු  මල් ථල ගන් වන්න පුළුවන් ආකාරයේ රාජ්‍ය ව්‍යූහයක් සකස්කර ගැනීමට අපොහොසත් විමේ ප්‍රතිපලයක් ලෙසයි"
  • "යුද්ධය නිසා සිදු වුනු කාරණාවක් තමයි ලාංකීය සමාජය තදබල විදිහට මිලිටරිකරණය වීම."
  • "මේ ප්‍රශ්නයට ලිබරල් විසදුමක් නැහැ. හුදු බලය බෙදාහැරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසදන්න   පුළුවන් කියල කවුරුන් හෝ  හිතනවා නම්  මං හිතන්නේ ඒක කරන්න පුළුවන් දෙයක් නෙවේ."
  • "ප්‍රජාතන්ත්‍ර වාදය කියනෙත් තවත් පාලක පංතියකට බලය ලබා ගන්න තිබෙන ක්‍රමයක් , ඒක බටහිර අර්ථයෙන්ම ක්‍රියාත්මක වෙන්නැහැ මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපේ වගේ රටවල් වල ක්‍රියාත්මක වන්නේ පිටතින් හදුන්ව දීපු දෙයක් හැටියට. මේ රටවල් වල  දීර්ග ඉතිහාස අරගල වලින් ඇති වූ දෙයක් නොවෙයි . ඇත්තටම අපේ සමාජ වලට ඒක භාහිරින් පැමිණි දෙයක්."
  • "අධිපති දේශපාලන කතිකාවන් විසින් සත්‍ය ලෙසම අපේ රටේ එක්තරා ආකාරයකට සහජීවනයෙන් ජිවත් විය  හැකි සමාජයක් නිර්මාණය කිරීමට නොහැකි විමේ ප්‍රතිපලයක් ලෙස තමයි අපට දකින්නට පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම බෙදුම්වාදය"
  • " අපේ තවම තිබෙන ප්‍රශ්නය තමයි රට තුල විවිධ ජාතික වාදයන් දක්නට ලැබීම.  හින්දු දෙමළ ජාතික වාදය, සිංහල බෞද්ධ ජාතික වාදය, මුස්ලිම් ඉස්ලාම් ජාතික වාදය"

                  මෙරට තුල දශක තුනක් පුරා පැවති යුද්දය හමාර වී ඇත. රටේ ජනතාවට යුද්දය විසින් උරුම කර දුන්  විනාශය අභිමුව මතු වී තිබෙන සමාජ  අර්බුද ගණනාවක් හදුනා ගැනීමට ලැබේ. එම නිසා "පශ්චාත් යුද සමය තුල ලංකාවේ හදුනා ගැනීමට ලැබෙන සමාජ ප්‍රශ්න" සමාජ විද්‍යාඥයකු සමග හදුනා ගැනීමට අප උත්සහ  කළෙමු. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා  අධ්‍යන අංශයේ ආචාර්ය ප්‍රේමලාල් ද සිල්වා ඇදුරුතුමන් සමග අප මේ පිළිබද සංවාදයේ යෙදුන අතර එතුමන් මෙලෙස සිය අදහස් පෙළගස් වනු ලැබිය. ආචාර්ය ප්‍රේමලාල්  කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා  අධ්‍යන අංශයේ  අංශ ප්‍රධානි ලෙසද කටයුතු කරනු ලබයි.


ලංකා ගාර්ඩියන් - ආචාර්ය තුමනි අපි නිදහස ලබාගෙන  වසර 65ක් ආසන්නයේමසම්පුර්ණ කරනු ලැබුව, මේ  ගෙවාදැමූ වසර   65න් අඩකට වඩා වැඩි කාලයක් රටේ යුද්ධයක් තිබුණා ඒ නිසාවෙන්ම මේ යුද්ධය සමාජයේ කෙන්ද්‍රියම සාදකය වි තිබුණා සියලු හැඩතල නිර්මාණයට. මගේ ප්‍රශ්නය තමයි යුද්ධයේ නිමාවට පෙර සහ පසු ලාංකීය සමාජය කොහොමද ඔබ දකින්නේ සමාජ විද්‍යාඥයෙක් විදිහට
ආචාර්ය ප්‍රේමලාල් -  අපි බැලුවොත් ලාංකීය සමාජය කිසියම් ඓතිහාසික සන්දර්බයක් උඩ,  අපි දන්නවා දීර්ග යටත් විජිත  වකවානුවකට සම්බන්ද වෙල යම් ආකාරයක තියුණු සමාජ විපර්යාසයකට ලක් උණු සමාජයක්. මේ සමාජය බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි ජන කණ්ඩායම් ජිවත් වන සමාජයක්,..සමාජයට   එක්තරා විදිහක මුහුණ දීමට සිදු වූ ප්‍රශ්නය තමයි 1948 නිදහස ලබා ගැනීමත් සමගම  ලංකාවේ පශ්චාත් යටත් විජිත රාජ්‍ය පිහිට වීම සම්බන්ද ගැටලුව. එක් පැත්තකින් යටත් විජිත වාදය  විසින් කිසියම් ආකාරයකට ලාංකීය ජනවාර්ගික  කණ්ඩායම් වල අනන්නිය තාව මතු  කිරීමේ දේශපාලනයත්,..
එසේම ඒ අනන්නය තා දේශපාලනය කිසියම් ආකාරයකට පශ්චාත් නිදහස් සමාජය කෙරෙහිත් දැඩිව  බලපා තිබෙනවා. එතකොට මේ සියලුම ජනවර්ගික  කණ්ඩායම් අතර සහජීවනයකින්  දේශපාලන බලය බෙදා ගැනීමත්, රට සංවර්දනය කිරීමත්,.. ඒ වගේම සියලුම ජන වර්ග වලට සමාජ  සාධාරණයක් ඉෂ්ඨ වෙන්න පුළුවන් පාලන ව්‍යූහයක් සකස් කර ගැනීම පිළිබද ගැටලුව දිගින් දිගටම තිබ්බ.   ඒ ගැටලුවේ යම් ආකාරයක  අදිපති දේශපාලන කතිකාවන් විසින් සත්‍ය ලෙසම අපේ රටේ එක්තරා ආකාරයකට සහජීවනයෙන් ජිවත් විය  හැකි සමාජයක් නිර්මාණය කිරීමට නොහැකි විමේ ප්‍රතිපලයක් ලෙස තමයි අපට දකින්නට පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම බෙදුම්වාදය,   එහෙම නැත්නම් දෙමළ ජනවාර්ගික කණ්ඩායම්  වෙනත් රාජ්‍යක් නිර්මාණය කරගෙන තමන්ගේ මුලික අවශ්‍යතාවයන් සපුරා ගැනිම සදහා යුධමය ක්‍රියාමාර්ගයකට පෙලබිම.
                                මෙහිදී අපට පැහැදිලි වන කරුණ  තමයි,.. එක්තරා ආකාරයකට  ලාංකීය පශ්චාත් නිදහස් දේශපාලන ව්‍යූහය,සමාජ සැකැස්ම නිවැරදි ආකාරයකට සකස්කර ගැනිමට නොහැකි විමේ ප්‍රතිපලයක් ලෙස මෙවැනි ජනවාර්ගික යුද්ධයකට රට ගමන් කිරීම කියන එක. එසේම අප කල්පනා කල යුතු අනෙක් කරුණ වන්නේ, ජනවාර්ගික අනන්ය තා කොතෙකුත් තිබ්බත්,.. ලංකාවේ ජනවාර්ගික අනන්ය තා වලින් පමණක් සමාජය සකස් වි  තිබෙනවයි  කීම අපහසුයි. මොකද ලාංකීය සමාජ ව්‍යූහය සකස් වි තිබෙන්නේ  ජනවාර්ගික අනන්‍යතා මත  පදනම් වෙලා  පමණක් නෙවයි,.. කුලය, පංතිය,ජනවාර්ගික කලාප,එසේම ඒ ජනවර්ග කණ්ඩායම් අතර යම් ආකාරයක කුල සම්බන්දතාවයන්, කුල ධුරාවලීන්,.. මේ වගේ මුලික  සමාජ ව්‍යූහාත්මක ලක්ෂණ මත පදනම් වෙලා තමයි ලාංකීය සමාජය ක්‍රියාත්මක වෙන්නේ.
ඒ වැනි තත්වයක් තුල  ඒ ජනවාර්ගික අනන්‍යතාවයන් කිසියම්  ආකාරයකට කිසියම් ජනවර්ගයකට සමාජ අසාදාරනයක්  නොවන ආකාරයේ සමාජ දේශපාලන ව්‍යූහයක්  අත් පත් කර ගැනීමට ඇති වූ පසු බෑම නිසා තමයි ලංකාවේ මෙවැනි ජනවාර්ගික යුද්ධයක් දක්වා ගමන් කරලා සමාජයට විශාල හානියක් සිදු වෙලා  මේරටේ ජීවනාලිය වන තරුණ තරුණියන් ලක්ෂ ගණනක් මිය ගිහිල්ල අවසානයේ දී  සමාජයට විශාල ප්‍රචණ්ඩත්වයක් මුදා හැරලා ඒ ප්‍රචණ්ඩත්වය හරහා විශාල ජිවිත ගණනක් විනාශ වෙලා දේපල විනාශ වෙලා අපේ සමාජය කිසියම් ආකාරයකට අගාදයකට නැත්නම් වඩාත් රෝගී සමාජයක ලක්ෂණ  දකින්න පුළුවන් විදිහට මේ සමාජය මතු වුනේ. ඒ තත්වය එක්තරා ආකාරයකට යුදමය වශයෙන් පරාජය කරලා යම්කිසි ආකාරයකට යුද්ධය නොමැති තත්වයක තිබෙන සමාජයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා.
                           දැන් තියන මුලික අභියෝගය තමයි අපි කොහොමද කිසියම් ආකාරයක ජනවාර්ගික සංහිදියාවක් ඇතිව ලංකික සමාජය ගොඩනගන්නේ කියන ප්‍රශ්නය. නමුත් අපේ තවම තිබෙන ප්‍රශ්නය තමයි රට තුල විවිධ ජාතික වාදයන් දක්නට ලැබීම.  හින්දු දෙමළ ජාතික වාදය, සිංහල බෞද්ධ ජාතික වාදය, මුස්ලිම් ඉස්ලාම් ජාතික වාදය මේ වගේ ජාතික වාදයන් මුලික වශයෙන් තමන්ගේ ජනවාර්ගික අනන්‍යතවය   පදනම් කරගෙන ගොඩ නැගිලා තිබෙනවා. සාමාන්‍ය සමාජ විද්‍යාවේදී අපි මේක කියන්නේ "ජනවාර්ගික ජාතිකත්වය". මෙන්න මේක එක්තරා විදිහකට බලපාලා තිබෙනව අපේ රටේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමේදි මොකද අපි ශ්‍රී ලංකික ජාතික වාදයක් ඇතුලේ නෙවේ කථා කරන්නේ, අපි කථා කරන්නේ විවිධ ජනවර්ග වල අනන්‍යතා මත පදනම් වෙල. ඉතින් එවැනි තත්වයකදී අපේ රටේ දේශපාලනය, සමාජයේ යම් යම් ඉල්ලීම් දිනාගැනීම්, සමාජ සාධාරණත්වය පිළිබද  කථා කරන්නේ   වාර්ගික අනන්‍යතා  පදනමක්  ඇතුලෙ. මං හිතන්නේ  ඒ ආකාරයට අපි කටයුතු කරන් ගියාම, ඒක එක්තරා ආකාරයකට නිරෝගී පරිසරයකට පදනම වටෙන්නැහැ . මං එකෙන් අදහස් කරන් නැහැ ඕනෑම ජනවර්ගයකට තියෙන සංස්කෘතික අනන්‍යතාවන් භාෂා අනන්‍යතාවන් නැතිවෙන්න ඕනය කියල නමුත් ඒවා වැදගත් මොකද රටක ජනවාර්ගික විවිධත්වය වැදගත්. අපි හිතන්න නරකයි ජනවාර්ගික විවිධත්වය සමාජයට  තර්ජනයක්  විදිහට, අපි සිතිය යුතුයි එය රටට ආභරණයක් ලෙසට. නමුත් අවාසනාවකට අපේ රටේ තිබෙන ප්‍රශ්නය තමයි අපි දකින්නේ  අනෙක් ජනවර්ග කණ්ඩායම් සමාජයට යම් ආකාරයක අභියෝගයක්, තර්ජනයක් හැටියට.  එවැනි කල්පනාවක් ඇතුලේ අපි එකිනෙකා අතර තිබෙන අවිස්වාසය සැකය පදනම් කරගෙන අපේ රටේ පොදු ශ්‍රී ලංකීය  ජාතික වාදයක් ඇතුලේ රට සංවර්ධනය කරන්න පුළුවන් තත්වයක් ඇතිකරගන්න අපහසුයි.
                                     යුද්ධය විසින් අපේ රටේ විශාල පරිහානියක් ඇතිකළා. යුද්ධය විසින් ඇතිකළ සමාජ ප්‍රශ්න මෙතකැයි කියන්න බැහැ. සමාජ ජිවිතයේ කුඩාම ඒකකය වන පවුලේ සිට සමස්ථ සමාජයේම බිද වැටීම් හැල හැප්පීම්  සහ සමාජය තුල තිබෙන සහජීවනයට එය විශාල වශයෙන් බලපා තිබෙනව.මේ තත්වය උතුරේ දකුණේ හැම සමාජයකට බලපෑව. විශාල වශයෙන් අපිට දකින්න පුළුවන් වැන්ඹු කාන්තාවන්ද, පවුල් විසන්විදානය විම්, ඒ වගේම යුද්ධයේ පීඩනය සහ  ප්‍රචණ්ඩත්වය නිසා ඇති වූ මානසික රෝගීතත්වයන්  දකින්න පුළුවන්. එක පැත්තකින් තමන්ගේ පවුලේ ආර්ථික සහයෝගිතාවය පවත්වා ගෙන යාමට සිටි  පුද්ගලයන් නොමැති වීම. විශේෂයෙන්ම කුඩාළමුන්ට ඇති වූ මානසික පීඩනයන් සහ ඔවුන්ට ඇති වූ තත්වයන්  ඒ හරහා ඇති වූ මානසික ආභාද,  ඉන්පසු ඇති වූ අවතැන් වීම් ඒ හරහා සිදු වූ පීඩනයන්. ඒ වගේම තමන්ගේ ඥාතීන්, සහෝදර සහෝදරයන් නැතිවීම නිසා ඇති වූ මුලික සමාජ අර්බුද. මෙත් සමගම රටේ බොහොමයක් අය ප්‍රචණ්ඩ කාරී වාතාවරණයක් යටතේ  අවුරුදු තිහක් කාලය තුල   හැදෙන වැඩෙන සමාජගතවෙන නැත්නම් සමාජානුයෝජනය වන  පරම් පරා වලට ඇති වී තිබෙන තත්වය. මේක දීර්ග කාලයක් සමාජය කෙරෙහි  අහිතකර ලෙස බලපා තිබෙනව. මේ තත්වය තමයි යුද්ධයත් සමග ඇති වූ තත්වය.

ලංකා ගාර්ඩියන් - මට මේ කාරණය නැවත  ප්‍රශ්නයක් ලෙස යොමුකිරීමට අවශ්‍යයි,  පශ්චාත් යුදසමයේ හදුනා ගැනීමට ලැබෙන මුලික සමාජ අර්බුද මොනවද?
ආචාර්ය ප්‍රේමලාල් - යුද්ධය කියන එක ලංකාවේ  ජනවර්ගවලට සහ ප්‍රදේශ වලට විවිධ ලෙස බලපෑවේ. ඒකෙ බලපෑම භූගෝලීය කලාපය අනුව වෙනස් වෙනව. ඉතින් එක නිසා ඒකට එක හා සමාන පිළිතුරක් දෙන්න බැහැ. විවිධ ප්‍රදේශවලට විවිධ ලෙස බලපාන්න පුළුවන්. උදාහරනයක් විදිහට උතුරු නැගෙනහිර ගත්තොත් උතුරු නැගෙනහිර, යුද්ධය නිසා තිබුණු ජනජීවිතය සම්පුර්ණයෙන් බිද වැටුනා. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල පවුල් විශාල ලෙස විසන්විදානය විම, වැන්ඹු කාන්තාවන් වැඩි විම, කාන්තාවන්ට ඇති වූ පීඩනය වැඩිවිම, අවතැන් වීම් මුලික වශයෙන් ඇතිවිම, ඒ වගේම ඔවුන්ගේ ආර්ථික පදනම බිද වැටුනා, යුදහමුදා වල සිටි සොල්දාදුවන්ගේ පවුල් වලට ඇති වූ තත්වයන් ඒ අයට සමහර විට දරුවෙක් නැති වුණා, භාර්යාවට ස්වාමිපුරුෂයෙක් නැති වුණා, සමහර විට දයාබර පියෙක් නැති වුණා. ඔය ආකාරයට සමාජීය වශයෙන් විශාල බිදවැටිමක් ඇති වුණා. යුද්ධය කියන්නේ හරි අමිහිරි දෙයක් ඒ යුද්ධයෙන් ඇති කරන්නේ හිතකර දෙයක් නෙවෙයි. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යුද්ධයක් ඇති වුණායින් පසු  යුද්ධය සමතයකට පත් කල යුතුයි. ඒ තත්වය ඇතුලේ සමාජයේ ඇති වූ බිදවැටිම එක්තර විදිහකට ඛෙදනියයි. නමුත් ඒ තත්වය මුලික වශයෙන්  උතුරටත් දකුණටත් තදින්ම බලපෑව. සමහර අය රට අත් හැර ගියා. යුද්ධයේ ප්‍රතිපලයක් විදිහට තමයි ඩයස්පෝර කියන එකක් ඇති වෙල තිබෙන්නේ. දෙමළ ඩයස්පෝරාව, සිංහල ඩයස්පෝරාව   ඇති වෙන්නත් බලපෑවේ මේ රටේ අනාරක්ෂිත තත්වයක් තිබුන වසර තිහක යුද්ධයක් සමග එතකොට සමහර අය තීරණය කලා මේ රටේ ජිවත් වෙන්න අමාරුයි, තමන්ගේ ජිවිතයේ පැවැත්ම පිළිබද ප්‍රශ්නයක් තිබුන එම නිසා මේ අය කලේ රටින් පිටවී ගොස් යම් ජිවිතයක් ගත කරන්න උත්සහ කිරීම. ඒක මේ යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස ඒ කියන්නේ ජාතියන්තර සංක්‍රමණ වැඩි වුනා.   යුද අනාථයෝ ඇති  වුනා, අනාථකදවුරුවල  මිනිස්සු හිටිය, සමහර විට අද්‍යාපනය ලබාගැනීමට නොහැකි වුනා. මේ වගේ සමාජය ඇතුලේ ඇතිවුනා විශාල යම් ආකාරයක බිද වැටිමක්. ඒ බිද වැටීම තමයි අපට යුද්ධයෙන් අත්පත් වුනු කාරනාව. එතකොට යුද්ධය කරා අපේ සමාජය ගමන් කලේ මං කලින් කිව වගේ පශ්චාත් නිදහස් සමාජය ඇතුලේ අපිට යම් ආකාරයක සියලුම ජනවාර්ගික කණ්ඩායම් වල බලාපොරොත්තු  මල් ථල ගන් වන්න පුළුවන් ආකාරයේ රාජ්‍ය ව්‍යූහයක් සකස්කර ගැනීමට අපොහොසත් විමේ ප්‍රතිපලයක් ලෙසයි. දැන් අපිට තිබෙන ප්‍රදානම අභියෝගය ඒක.

ලංකා ගාර්ඩියන් -  ආචාර්ය තුමනි තත්කාලින දකුණේ ජනසමාජයේ දරුණු අර්බුදයක් ලෙස ලිංගික හිංසන හදුනා ගැනීමට පුළුවන්, මොකද පසුගිය වසරවල පොලිස්පතිතුමන්ගේ වාර්ෂික පාලන වාර්තා නිරීක්ෂණය කිරීමේ දී පවා මේ තත්වයේ වර්ධනයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ජනගහනයට සාපේක්ෂව වුවද එහි විශාල වැඩිවීමක් තිබෙන බව පැහැදිලි වෙනව. නමුත් මේ තත්වය  ඉදිරියේ ආණ්ඩුවේ බලධාරීන් පවසන්නේ යුද්ධය අවසන් කිරීමෙන් පසු මේවයේ වාර්තා කිරීම් වල වැඩිවීමක් බවයි.  ඔබ කොහොමද මේ තත්වය දකින්නේ මෙත් සමග යුද්ධයේ ගැලපීමක් තිබෙනවද?

ආචාර්ය ප්‍රේමලාල් - ඔතන කාරණා දෙකක් තිබෙනව, මෙතනදී අපි අමතක කරන්න නරක එක කාරණාවක් තමයි 1970 ගනන්  වල අවසාන භාගේ ඉදල වගේ මේ රටේ යම් යුද පරිසරයක් දකින්න ලැබුන, ඒක වඩාත් ප්‍රබලව දකින්න ලැබුනා   1983 ඇති වූ ජනවාර්ගික ගැටුම් එක්ක, ඒක එක කාරණාවක්  විදිහට දකින්න පුළුවන්. අනික් කාරණාව 1977න් පස්සේ මේ රටේ තිබ්බ සංවෘත ආර්ථිකය වෙනුවට නව ලිබරල් වාදී විවෘත ආර්ථික ක්‍රමයක් මේ රටට හදුන්වා දුන්නා, එතකොට මේ සමාජයේ කලින් තිබුණු සමාජ ව්‍යූහයේ දෙදරා යෑමක් දක්නට ලැබෙනව. එතකොට ඒ දෙදරා යෑම යුද්ධය හරහා සිදු වුණා. අනෙක් පැත්තෙන් නව ලිබරල් වාදී ආර්ථික ව්‍යුහය ලංකාවට  හදුන්වා දීමත් සමගම විශාල වශයෙන් සප්‍රදායික සමාජ ක්‍රමය බිද වැටෙන්න ගත්ත. මං හිතන්නේ මේ කරනා දෙකෙන් වඩා ප්‍රබල ලෙස බලපෑවේ නව ලිබරල්වාදී ආර්ථිකක්‍රමයත් එක්ක ඇති වුනු සමාජ විපර්යාසය, ඒහි  ඇති වුනු එක්තරා අනිසි ප්‍රතිපලයක් ලෙස  තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ ලංකාව ඇතුලේ ලිංගික ප්‍රචණ්ඩත්වය   ඇතිවීම, පවුල් විසන්විධානය වීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඇති වීම, ලිංගික හිංසනයන් මුලික වශයෙන් මතුවීම, විවිධ මාද්‍ය හරහා  සේම සන්නිවේදන මාද්‍යවල ඇති වූ ප්‍රබල තාව නිසා යම් යම් ලිංගික දර්ශන වගේම මේවට ඇතුල්විමට තිබුණු අවකාශය පුළුල්වීම. එතකොට ගෝලීය තත්වයන් වලට ලංකාව විවෘත වීම, මේත් සමග සම්ප්‍රදායිකව තිබුණු අගනාකම් පද්ධතිය කිසියම් විදිහක දෙදරා යාමකට ලක්වෙනව. අපි දකින්නේ නවලිබරල් ආර්ථිකය විසින් ලංකාව මත මුදා හරින ලද මේ සියලුම බලවේග පදනම් කරගෙන එක්තරා ආකාරයකට ඒ සමාජයේ ව්‍යූහාත්මක වෙනස්වීම් දකින්නට හැකි වුණා. ඒ ව්‍යූහාත්මක වෙනස්වීම් ඇතුලේ තමයි අපිට මෙය සත්‍ය ලෙසම තේරුම් කර ගැනීමට සිදුවෙන්නේ. එක තමයි ප්‍රබල කාරණාවක් විදිහට අපිට දකින්නට පුළුවන් වෙන්නේ.
                                 එතකොට යුද්ධය සහ ලිංගික අතවර අතර සම්බන්දයක් තියෙනවද කියල ඇහුවොත් එහෙම, සමහර වෙලාවට සාමාන්‍ය සමාජයක ලිංගික හිංසන අඩු වැඩි වශයෙන් දකින්න පිළුවන් නමුත් අපිට විශාල ලෙස වාර්තා වෙන්නේ නැහැ යුද්ධය නිසාම යම් යම් ලිංගික අතවර සිදු වුණා කියන ප්‍රශ්නය. හැබැයි එක පැත්තකින් අපි දැකිය යුතු කාරණාවක් තමයි,  වේගයෙන් යුද්ධය නිසා සිදු වුනු කාරණාවක් තමයි ලාංකීය සමාජය තදබල විදිහට මිලිටරිකරණය වීම. ඒ මිලිටරි කරණය ඇතුලේ යම් ආකාරයකට ලිංගික අවශ්‍යතාවන් සංතර්පනය කර ගැනීම  සදහා යම් යම් තත්වයන් ඇති වෙන්න පුළුවන්, උදාහරණයක් විදිහට ගණිකා වෘතිය වගේ ඒකට සම්බන්ද දේවල් ගොඩ නැගෙන්න පුළුවන්.                             
       ඒ වගේම ලාංකීය සමාජය ඇතුලේ විශාල ප්‍රශ්නයක් තමයි   " පුර්ව විවාහක  සම්බන්ද තා" මුලික  ලෙස  වර්දනය වෙල තිබෙනව සහ ඒ වගේම පශ්චාත්  වෛවාහික ලිංගික සම්බදත වැඩිවෙල තිබෙනව. ඒ කියන්නේ තමන්ගේ පවුලෙන් පිටත ලිංගික සම්බන්දතාවයන් විශාල ලෙස වැඩි වෙලා තිබෙනව. ලංකාවේ වෙන හුගක් අපරාද  දිහා බැලුවොත් ඒවායේ තිබෙන මුලබීජය තමයි කිසියම් ආකාරයකට ලිංගික සම්බන්දතාවයක් මේවට පදනම් වෙලා තිබෙනව. ඉතින් ඒවා හරහා අපිට පේනවා යම් කිසි ආකාරයකට ලාංකීය සමාජයේ අර පවුල කියන සංස්ථාව බිද වැටිල යම් ආකාරයක පවුලෙන් පිටස්තර, පවුල ඇතුලෙ කල යුතු කාර්යන් පවුලෙන් පිටස්තරව මුලික වශයෙන් අත්පත් කර ගැනීමට යාම  සහ ඒ සමාජයේ ලිංගිකත්වට ඇතිකරල තිබෙන මුලික ආකර්ෂණය  මං හිතන්නේ යම් ආකාරයකට මේ සමාජය ඇතුලේ තත්වයක් වෙනව.

                  අනික තමයි ප්‍රජාවිද්‍යාත්මකව බැලුවොත් එක කාරණාවක් තමයි  ලංකාවේ අද අවුරුදු 15 ඉදල අවුරුදු 45 අතර කාලය තුල ඉන්න ජනගහනය වැඩි, ඒ කියන්නේ ලිංගික ජිවිතයක් ඉල්ලා සිටින ප්‍රජාව ලංකාව ඇතුලේ වැඩියි. ඒ කියන්නේ තරුණ ජනගහනය ලංකාවේ වැඩි. එතකොට ඒ වැනි තත්වයකුත් අපට දකින්න පුළුවන් වෙනව.  එක පැත්තකින් ප්‍රජාවිද්‍යාත්මක කාරණා, යුද්ධය, නවලිබරල් ආර්ථිකය මේ සියලුම දේවල් බැලුවන් පස්සේත් ඒ වගේම  අපට පේනවා කිසියම් ආකාරයකට ලංකාවේ මේ ආර්ථිකය නිසා තමන්ට විවාහයක් ඉක්මනට කරගන්න අපහසු තාවයක් තිබෙනවා මොකද,  ආර්ථිකය විසින් තරුනයන්ගෙන් ඉල්ලා සිටිනව යම් යම් දේ  එමනිසා දීර්ඝ  කාලයක්  ඉගෙනීම් කටයුතු වල නිරත වෙනව.   එහෙම නැත්නම් රැකියාවක් හොයල තමන්ගේ පවුල නඩත්තු කිරීමට සිද්ද වෙල තිබෙනව, එතකොට තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් වෙනත් මාර්ගවලින් ඉෂ්ඨ සිද්ද කරගන්න බොහෝඅය පෙළ බෙන්න පුළුවන්. මෙවැනි තත්වයන් හරහා යම් ආකාරයක ලිංගික ප්‍රචණ්ඩත්වයක්, ලිංගික අපයෝජනයන් මුලික වශයෙන් සමාජය ඇතුලේ වෙන්න පුළුවන්. මං කියන්නේ මේක අර ලිබරල් ආර්ථික ක්‍රමයත්, එතකොට ප්‍රජාවිද්‍යාත්මකව ලාංකීය සමාජය ඇතුලේ විශාල තරුණ ජනගහනයක් පැවතීමත්, තරුණයන්ට ඇතිවෙලා තිබෙන පීඩනයත්, සමාජය විසින් ඔවුන්ගෙන් ඉල්ලා තිබෙන්නා වූ සමාජ වගකීම් ඉෂ්ඨ සිද්ද කරමින්ම තමන්ගේ ලිංගික අවශ්‍යතාවන් සංතර්පණය කර ගැනීමටත් තිබෙන අවකාසයේ යම් යම් සිමාවන්  සහ ඊට ඇතිවෙලා තිබෙන මුලික පීඩනය, මං හිතන්නේ ලිංගික අතවර හරහා ලිංගික කාරණා  හරහා කියවෙනව.   මේක හුදු  මානසික ප්‍රශ්නයකට පමණක් ලඝු කරලා තේරුම් කරගන්න බැහැ. සමහරු කියනව ලිංගික අතවර කරන අය මනසිකමය අවපිඩනයක් තිබෙන නැත්නම් මානසික විකුර්තිතාවක් තිබෙන අය කියල.   නමුත් ඒ මානසික විකෘර්තිතාවයත් මං හිතන්නේ  මේ ලිබරල් ආර්ථික ක්‍රමය ඇතුලේ  තරුණ තරුණියන්ට මුහුණදීමට නොහැකියාව ඇතුලෙ  එන එකක් තමයි. මොකද අද තරුණ තරුණියන්ට  පීඩනය වැඩි, එක්තරා විදිහකට ඔවුන්ට තරුණ ජිවිතයක් ගතකරන්නත් ඕන, ඒ වගේම තරුණයෙක් වශයෙන් ඒ ජිවිතේ ගතකිරීමට ඉල්ලා සිටින අවකාශයේ යම් යම් සිමාකම් තිබෙනවා සහ ඒක ඉතාම වියදම් කාරි, ඒ වියදම් කාරී තත්වයක් ඇතුලේ තමන්ට සිදුවෙනව යම් ආකාරයකට  තමන්ගේ කායික අවශ්‍යතාවන් ඉෂ්ඨ සිද්ද කර ගනිමින් කොහොමද ජිවිතයකට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නය ඇතුලේ තමයි මේවා තේරුම් කර ගැනීමට  උත්සහ කල යුත්තේ කියන එකයි මගේ අදහස.

ලංකා ගාර්ඩියන් -  ඉතා කෙටි පැහැදලි කරගැනීමක්  අවශ්‍යයි, අපි ජනවාර්ගික ප්‍රශ්නය කියල හදුනාගනිමු මොකද මේ ප්‍රශ්නය විවිධ අය විවිධ ලෙස දකිනව, මෙන්න මේ ජනවාර්ගික ප්‍රශ්නයට ලබා දුන් යුධමය විසදුම පිළිබද සමාජ විද්‍යාත්මක මතය සහ මේ  ප්‍රශ්නයේ අනාගත මානය  කොහොමද ඔබ දකින්නේ?
ආචාර්ය ප්‍රේමලාල් -  මම හිතන්නේ මෙහෙමයි  මන් කලින් සදහන් කලා වගේ අපි අපේ රටේ සමාජ සැකැස්ම දිහා බලන්න ඕන, ප්‍රශ්නය තිබෙන්නේ උතුරේ සමාජය ගත්තොත්,  උතුරේ සමාජය හුදු දෙමළ සමාජයක් විදිහටම,   එක්තරා  විදිහකට බොහොම සමජාතීය සමාජයක් ලෙස තේරුම් කර  ගන්න ගියොත් මේ ප්‍රශ්නය තේරුම් ගන්න අපහසුයි. මොකද ඒකට  හේතුව උතුරේ සමාජය ගත්තත් නැගෙනහිර ප්‍රදේශය ගත්තත් සංස්කෘතිකමය වෙනස්කම් තිබෙනව. වන්නි ප්‍රදේශය බැලුවොත්, වන්නි ප්‍රදේශයේ ජිවත් වන මිනිසුන්ගේ ජනජීවිතය සහ ඔවුන්ගේ තත්වයන් වෙනස්.
යාපනයේ අර්ධදීපයේ ජිවත් වන මිනිස්සුන්ගේ  යම් යම් වෙනස්කම් තිබෙනව, ඔවුන් එක භාෂාවක් කතාකලත් අපි දන්නවා තදබල විදිහට දෙමළ සමාජයේ කුල ක්‍රමය තිබෙනව. ඒක තද බල සාධකයක් ඒ අය අතර විවිධ සංස්කෘතික වෙනස්කම් තිබෙනව, සමාජීය වෙනස්කම් මුලික වශයෙන් තිබෙනව. අපි ඇත්තටම බලන්න ඕන කාරනාව තමයි, යම් කිසි පිඩිත කුලවල ඉන්න අයට යම් ආකාරයකට සදාරණයක් ඉෂ්ඨ නොවෙන යම්කිසි විසදුමකට යනවනම්,   මං හිතන්නේ ඒකෙන් වෙන්නේ  කිසියම් අධිපති ජනකන්ඩයමක් ඒ කියන්නේ දෙමළ සමාජයේ උනත් ඒ අධිපති කතිකාව අරගෙන යන  දෙමළ සමාජයේ ඉහල වරප්‍රසාද ලබන, කිසියම් විදිහකට දෙමළ කුල ක්‍රමයේ ඉහලම ස්තරවල ඉන්න අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇත්තටම   සමහර වෙලාවට  මේක.   නමුත්  ඒකෙන් සියලුම  සමස්ත දෙමළ ජනයාගේ විමුක්තියක් ඇති වෙනවද කියන ප්‍රශ්නය  අපි බලන්න ඕන.
                                      දකුණේ ගත්තත් ඒ වගේ  කුල ක්‍රමය ක්‍රියාත්මක වෙනව,  අපි දන්නව දකුණේ ගොඩක් අඩු දියුණු ප්‍රදේශ ගත්තයින් පස්සේ සමහර වෙලාවට පහල කුල වල මිනිස්සු ජිවත් වන ප්‍රදේශ තමයි අඩු දියුණු තත්වයේ තිබෙන්නේ. මොකද ඒ වායේ සංවර්ධන ක්‍රියාවලිය යන්නේ නිලධාරීන් හරහා හෝ  වෙනත් අය හරහා. සමහර අය ඒවාට ඇත්තටම අවස්ථාවක් දෙන්නැහැ ඔවුන්ගේ සංවර්ධනයක් කරගෙන යාමට. ඉතින් ඒ වැනි තත්වයක් තුල අපි කල්පනා කල යුතුයි සියලුම මනුස්ස්‍යයෝ හැටියට මේ රටේ ජිවත් වෙන, සැම දෙනාටම සාධාරණයක් ඉෂ්ඨ සිද්ද වෙන්න පුළුවන්  වඩා හොද දේශපාලන ව්‍යූහය කුමක්ද කියන එක පිළිබද අපේ රටේ තාමත් සංවාදයට භාජනය වෙලා නැහැ. ඒක හුදු දෙමළ, සිංහල, මුස්ලිම් කියන ප්‍රධාන  ජනවර්ග අතර පමණයි  මේ සාකච්චාව යන්නේ.  එතකොට දෙමළ සමාජයේ පිඩනයට ලක් වෙලා ඉන්න ජනතාව පිළිබදවත්, සිංහල සමාජයේ පිඩනයට ලක්වෙලා ඉන්න ජනතාව පිලිබදවත්, මුස්ලිම් සමාජයේ පිඩනයට ලක්වෙලා ඉන්න ජනතාව පිලිබදව වත් කතා කරන්න කවුරුත් නැහැ. ඒ වගේ තත්වයක් තියෙනවා, මං හිතන්නේ මේක මිට වඩා පුළුල් සමාජවිද්‍යාත්මක එලබුමකින් බලන්න ඕන, අපේ රටේ  සමාජ සැකැස්ම මොන ආකාරයටද සකස් වෙලා තිබෙන්නේ, ඊට අනුකුල වන විදිහට  අවශ්‍යකරන දේශපාලන ප්‍රතිසංස්කරණයන්, විසදුම්   තමයි මං හිතන්නේ අවශ්‍ය වෙන්නේ.

ලංකා ගාර්ඩියන් - දැන් අපි කතා කල ප්‍රශ්න වගේම අනෙකුත් සෑම  සමාජ ප්‍රශ්නයක්  ඉදිරියේම  වගකීම් සහගත වියයුතු අවසාන ආයතනය මා දකින්නේ රාජ්‍ය. ඒ අනුව මේ මොහොතේ රාජයේ ක්‍රියාකාරිත්වය කොහොමද ඔබතුමා  දකින්නේ, මේ ප්‍රශ්න නිවැරදිව හදුනාගෙන තිබෙනවද? නිවැරදි කරන්න පුළුවන් විසදුම් මේවට සපයනවද? ඒ ඉෂ්ඨ කරන වගකීම් භාරය පිළිබද සෑහීමට පත්විය හැකිද?
ආචාර්ය ප්‍රේමලාල් -  මේ ප්‍රශ්නයට සත්‍ය ලෙසම දේශපාලන විසදුමක්  අවශ්‍යයි, වාර්ගික ප්‍රශ්නය ඇතිවීමට බලපෑ ඓතිහාසික කරුණු අපි හොදින් දන්නවා නමුත් ප්‍රශ්නය තිබෙන්නේ,  ජනවාර්ගික ප්‍රශ්නය විසින් ලංකාවේ හුගක් ප්‍රශ්න  අධිනිශ්චය කරල තිබ්බා. ඒ කියන්නේ ජනවාර්ගික ප්‍රශ්නය තමයි 1983 ඉදල 2009 වෙනකම්ම අපේ රටේ තිබ්බ සියලුම ප්‍රශ්න වලට වඩා,  වඩාත් අධිනිශ්චය වූ සහ වඩාත්ම වැදගත් දැනෙන ප්‍රශ්නය ලෙස මතු වෙලා තිබුනේ ජනවාර්ගික ප්‍රශ්නය. නමුත් ඊට වඩා බරපතල ප්‍රශ්න අපේ සමාජයේ තිබුණා. ඒ ප්‍රශ්න සියල්ල වසා දාලා තිබුනා මේ තත්වය උඩ. අද අපිට පේනවා ජනවාර්ගික ප්‍රශ්නය යම් ආකාරයක යුද්ධමය විසදුමක්  තුලින් යම් ආකාරයකට සාමය කියන එක ගෙනල්ල තිබෙනවා. නමුත්  එක්තරා ආකාරයකට ජනවාර්ගික ප්‍රශ්නය පිළිබද පුළුල් සාකච්චාවක් ඇතුලේ සියලුම  ජනයාට මේ රටේ ජිවත් වෙන්න පුළුවන් නිදහස  හා තමන්ගේ අවශ්‍යතාවන්  සන්තර්පණය කරගන්න පුළුවන්  යාන්ත්‍රණයක් සකස් කිරීම අවශ්‍යයි. ඒක උතුරටත් දකුණටත් දෙකටම අවශ්‍ය දෙයක්.
                                නමුත් පශ්චාත් යුධසමය තුල අපිට පේනවා විශාල සංවර්දන ක්‍රියා දාමයන් කරගෙන යනව.   උතුරේත්, දකුණේත්, නැගෙනහිරත් මේ ප්‍රදේශ වල විවිධ  සංවර්දන ක්‍රියා දාමයන් කර ගෙන යනව. රටක් සංවර්දනයේ දී යටිතල පහසුකම් දියුණු කිරීම වැදගත්. මම කියන්නේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන්  පමණක්  රටක තිබෙන  සමාජ ප්‍රශ්න විසදීමට අපහසුයි. සමාජ ප්‍රශ්න විසදීම වුදෙස, සමාජ සංවර්දනය සදහා අවශ්‍යකරන මුලික එනම් සමාජයේ පුරවැසියන් ලෙස ජිවත් විය හැකි, සමාජයේ මුලික ප්‍රශ්න කෙරෙහි අවබෝදයක් ලබා ගැනීම සහ ඊට  දීර්ග කාලින විසදුම් ලබාගැනීම අවශ්‍යයි. අපේ රටේ එවැනි තත්වයක් ගොඩ නැගිලා තිබෙනවද කියන එක පිළිබද ප්‍රබල  ප්‍රශ්නයක් තිබෙනව. මේ සාකච්චාව ඇතුලේ තිබෙන කතාවක් තමයි මේ  ප්‍රශ්නයට දේශීය විසදුමක් අවශ්‍යයි කියන කාරණය. මගේ නම් අදහස මේ ප්‍රශ්නයට ලිබරල් විසදුමක් නැහැ.
හුදු බලය බෙදාහැරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසදන්න   පුළුවන් කියල කවුරුන් හෝ  හිතනවා නම්.    මං හිතන්නේ ඒක කරන්න පුළුවන් දෙයක් නෙවේ.  මේ ප්‍රශ්නය හුදු බලය බෙදාහැරීමකට වඩා  ඒහා ගිය සමාජ සංස්කෘතික ප්‍රශ්නයක් හැටයටයි අපිට දකින්න පුළුවන්. එක හුදු දේශපාලන බලය බෙදාහැරීමෙන් යම්කිසි කණ්ඩායමකට යම් ප්‍රදේශයක් පාලනය කිරීමට අවස්ථාව  ලබාදීම ඇතුලේ ඒ ප්‍රශ්නය විසදෙන්නැහැ. පළාත්සභා ගත්තත්, පළාත්සභා ක්‍රමය   ආවේ මේ ප්‍රශ්නයට විසදුමක් ලෙස.එතකොට ඒක දකුණේත් අද ක්‍රියාත්මක වෙනව.  දකුණේ ඒක ක්‍රියාත්මක උනා කියල අපේ රටේ සියලුම ප්‍රශ්න විසදල තිබෙනවද මේ ක්‍රමය ඇතුලේ.    එහෙම වෙලා නැහැ මොකද ඒක තව බරක් වීම පමණයි දකින්න පුළුවන් වෙන්නේ.
එක්තර ආකාරයකට තවත් දේශපාලන ව්‍යූහයක් මේක ඇතුලේ ඇතිකරලා තිබෙනව. නමුත් මං හිතන්නේ අපේ රටේ මගේ නම් අදහස හැම පුද්ගලයකුටම ඒ කියන්නේ තමන්ගේ අදහස එලියට ගෙන්න පුළුවන්  යම්කිසි පුළුල් දේශපාලන ව්‍යුහයක් සකස් කිරීම අවශ්‍යයි. දැන් උදාහරණයකට කිවොත්, අපේ රටේ වැදී ජනය ඉන්නව කවුරුත්  වැදී ජනය ගැන කතා කරන් නැහැනේ. මං කියන්නේ අපේ රටේ වැදිජනයගේ ප්‍රශ්නවලට ඇහුන්කන් දෙන්න පුළුවන් ඒ අයගේ නියෝජනයක් වෙන්න පුළුවන් ක්‍රමයක් අපේ රටේ පාර්ලිමේන්තුව ඇතුලේ සකස් කරන්න ඕන. අපේ රටේ දෙමළ සමාජයේත් ඉන්නව වෙල්ලාල කොටස් සහ වෙල්ලාල නොවන කොටස්, මේ කණ්ඩායම් දෙගොල්ලන්ටම පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජනයක් ලබාදෙන්න පුළුවන් ක්‍රියාවලියක් සකස් කල යුතුයි.  ඒක රටේ අනෙකුත් ප්‍රදේශවලටත් සිදු විය යුතුයි. මං හිතන්නේ තමන්ගේ අනන්‍යතාවයත් සමග තමන්ගේ තිබෙන මුලික ප්‍රශ්න සාකච්චා කරන්න පුළුවන් එයට හඩක් ගෙන්න පුළුවන් තත්වයක් නියෝජනයක් අපේ රටේ ඇති කල යුතුයි. දැනට ඇතිකරලා තිබෙන තත්වයන් උඩ  එවැනි හඩවල් යටපත් වෙල තිබෙනව. මතු වෙලා තිබෙන්නේ වෙනත් හඩවල් සමහර අය වෙනුවෙන් පෙනිසිටිනවා කියල හිටියට  අපි කියනව ඒ මිනුස්සු කොන් වූ ජන කොටස් ඒ අය පැත්තකට තල්ලු වෙලා තිබෙන්නේ ඒ අයට හඩක් නැහැ සමාජය ඇතුලේ.  තව දුරටත් වෙනත් අර්ථයකින් ලිබරල් විසදුමක් මේකට ගෙනාවම වෙන්නේ ඒ මිනිසුන් තවත්  වටයකින් පිඩනයට ලක්විය හැකියි.  මං හිතන්නේ ඊට වඩා පුළුල් තත්වයක් ඇති කල යුතුයි. දේශපාලන ව්‍යුහය තවදුරටත් ප්‍රාදේශීය මට්ටමට තල්ලු කිරීමේ ක්‍රියාවලියක් ඇති කරීම  අත්‍යවශ්‍යයි. එතකොට ගම් වලින් නියෝජනය ඇති වෙනව, ගම් වලින් තමන්ගේ තීරණ ගන්න පුළුවන් ක්‍රමයක්.
එතකොට තමන්ට, තමන්ගේ කණ්ඩායමට ඒ හඩ ගෙන්න පුළුවන්, දේශපාලන බලය සමාජයේ බිම් මට්ටමට අරන් යන්න පුළුවන් ක්‍රමයක් සැදිය යුතුයි.  මොකද දේශපාලන සහභාගිත්වය ලංකාවේ පුළුල් වෙලා නැහැ. ලංකාවේ දේශපාලන සහභාගිත්වය සත්‍ය ලෙසම කේන්ද්‍රිය   ගත වෙලා තිබෙන්නේ. ඒක ජාතික මට්ටමිනුත්, පළාත් මට්ටමිනුත්, ප්‍රාදේශීය මට්ටමිනුත් කේන්ද්‍ර ගත වෙල තිබෙන්නේ. මං හිතනව ඊට එහා ගිය  පුළුල් ව්‍යුහයක් සකස් කරගත යුතුයි. මං හිතන්නේ එකට අපේ රටේ දේශපාලනඥයෝ කැමති නැහැ. අපේ රටේ රජය  මං දන්නැහැ ඒකට කැමැත්තක් තිබෙනවද කියල. ඒ මට්ටමයි සදා ගත යුත්තේ, ඔය කතා කරන ඕනෑම ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ ගොල්ලෝ ඒ මට්ටමට යන්න කැමති නැහැ. මොකද ඒ අයගේ බල අධිකාරිය, තත්වය තබාගෙන ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් ඉෂ්ඨ සිද්ද කර ගන්න පුළුවන් ව්‍යුහයකට  තමයි මේ ගොල්ලෝ හැමදාම එකග තාවයන් පල කරන්නේ.  එමනිසා අපේ රටේ තව දේශපාලනයට සම්බන්ද වෙන්න පුළුවන් ව්‍යුහයක් සකස් කල යුතුයි. ඒ කාරණය පළාත්සභාවෙන් කරන්න පුළුවන්ද කියන එක පිළිබද මගේ නම් තිබෙන්නේ සැකයක්.

ලංකා ගාර්ඩියන් - ආචාර්ය තුමනි ගොඩක් දෙනෙක් නගන පැනයක් තමයි රාජ්‍ය සතු ආයතන පද්ධතිය දේශපාලනීකරණය වීම තුල සමාජ අර්බුද අළුතින් ඇති වෙනව කියන එක, උදාහරණයක් විදිහට නීතියේ ආධිපත්‍ය බිදවැටිමට  නැත්නම් අධිරාජ්‍ය වාදීන්ගේ ගොදුරක් බවට පත්වීමට  කියන කාරණා මතුවෙනවා. මේ පිළිබද සමාජ විද්‍යාත්මක විග්‍රහය මොකක්ද?
ආචාර්ය ප්‍රේමලාල් -  ඒක ලංකාවට පමණක් සුවිශේෂී වූ ප්‍රශ්නයක් නෙවෙයි, අද ලෝකයේ හැම රටක් දිහාම බැලුවාම මේ නව ලිබරල් වාදය ඇතුලේ එක්තරා විදිහකට දේශපාලන අස්ථාවර භාවය ඇතිවීමට තිබෙන අවකාශය පුළුල් වෙලා තිබෙනව. ඒ කියන්නේ නව අධිරාජ්‍ය වාදය යටතේ යම් විදිහකට  අධිරාජ්‍ය වාදයට මුලික වශයෙන්    ඒ නියාය පත්‍රයන් අරගන් නැති රාජ්‍යන්  ප්‍රධාන  වශයෙන් ලෝකේ පිළිඅරගෙන තිබෙන්නේ මේවා අභියෝගයක් (threat) විය හැකි දේවල් ලෙස. එවැනි තත්වයක් ඇතුලේ සමහර රාජ්‍යන් අප දන්නව භාහිර බලපෑම් උඩ නැත්නම් අභියන්තර ප්‍රශ්න උඩ ඒවා අස්ථාවර භාවයකට පත්කරන්න පුළුවන්. මම එකෙන් අදහස් කරන් නැහැ අපේ රටේ රාජ්‍ය ව්‍යුහය ඉතාම හොදින් ක්‍රියාත්මක වෙනවයි කියල. අපේ රටේ ඇතුලේ ඇතිවෙලා තිබෙන රාජ්‍ය ව්‍යුහය වඩාත් හොද මට්ටමට සකස් කරන්න ඒ රටේ පුරවැසියන්ට හැකියාවක් තිබෙනව සහ පුරවැසියන්ගේ බලපෑම රාජ්‍යට තියෙන්න ඕන, ඒක ඇතුලේ තමයි තමන්ට වඩාත්  සුදුසු රාජ්‍ය ව්‍යුහයක් සකස් කර ගැනීමට පුළුවන් කමක්  තිබෙන්නේ. ඒ සදහා මහජනතාව පෙනිසිටීමේ කිසිම ප්‍රශ්නයක් මම දකින්නැහැ, නමුත් ලෝකය පුරා ක්‍රියාත්මක වන තත්වයන් දිහ බැලුවම බල කේන්ද්‍ර ගණනාවක් ක්‍රියාත්මක වන තත්වයක් දකින්න තිබෙනව,  තනි බල කේන්ද්‍රයක් නැහැ ලෝකය ඇතුලේ. අද බටහිරටම ලෝකයේ ආධිපත්‍ය තියෙන් නැහැ, බටහිරට තිබෙන ආධිපත්‍ය යම් ආකාරයකට ගිලිහෙමින් යනව. එම නිසා පැහැදිලි කේන්ද්‍ර ගණනාවක් ඇතුලේ අද ලෝකය පාලනය වෙන්නේ සහ බල අරගලයක් තිබෙනවයි කියන එක.  ඒ වගේ තත්වයන් තුල අපේ වගේ කුඩා රාජ්‍යන්ට තිබෙන බලපෑම වැඩි. මොකද මොන කදවුරේද ඉන්නේ කියන එක බලපනවා. ඒ ප්‍රශ්නයේ දී  එක්තරා විදිහකට පවතින දේශපාලන ක්‍රමයට  සහ ඒ දේශපාලන නායකත්වයන් වලට විශාල බලපෑම් එනව භාහිර ලෝකයෙන් ඒ ඒ තම තමන්ගේ නියාය පත්‍රයන් මුලික වශයෙන් සමාජ වල ක්‍රියාත්මක කරන්න ඕනය කියන ප්‍රශ්නයෙන්.
                                     මං හිතනවා වඩාත් හොද,    පොදුවේ මහජනයා කැමති දේශපාලන ක්‍රමයක් සහ  පාලන ක්‍රමයක් සකස් කර ගැනීම තමයි වඩාත්ම   වැදගත් වන්නේ. ඒවා මුලික වශයෙන් මැන බලන්න පුළුවන් ප්‍රජාතන්ත්‍ර වාදි ක්‍රමයක් අපේ රටේ තිබෙනවා. අවුරුදු  පහයෙන් පහට හයෙන් හයට මිනිස්සුන්ට පුළුවන් කවුරු හරි නායකයෙක් ඉන්නවානම්,  රාජ්‍ය හරියට පාලනය කරන්නැත්නම් ඔවුන් ඉවත් කරල තමන්ට කැමති ආණ්ඩුවක් බලයට පත්කරන්න. මං හිතන්නේ ඒ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතිය අපේ රටේ තාමත් තියෙනව. ඒ චන්ද පැවැත්වෙන්නේ කොහොමද,   ප්‍රජාතන්ත්‍ර වාදය බරක් වෙලා තිබෙන්නේ කොහොමද කියන එක වෙනම ප්‍රශ්නයක්. මම නම් කියන්නේ ප්‍රජාතන්ත්‍ර වාදය කියනෙත් තවත් පාලක පංතියකට බලය ලබා ගන්න තිබෙන ක්‍රමයක් කියන එක, ඒක බටහිර අර්ථයෙන්ම ක්‍රියාත්මක වෙන්නැහැනේ මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපේ වගේ රටවල් වල ක්‍රියාත්මක වන්නේ පිටතින් හදුන්ව දීපු දෙයක් හැටියටනේ. මේ රටවල් වල  දීර්ග ඉතිහාස අරගල වලින් ඇති වූ දෙයක් නොවෙයි නේ. ඇත්තටම අපේ සමාජ වලට එක භාහිරින් පැමිණි දෙයක්. ඒක අද විවිධ ස්වරුප අරන් තිබෙනව ලාංකීය සමාජය ඇතුලේ, සමහර වෙලාවට මිනිස්සු ඒක බරක් විදිහට කල්පනා කරන්න පුළුවන්, මිනිස්සු එකෙන් ගැලවිලා යන්න පුළුවන්.   මං නිතර කියන දෙයක් තමයි,    සත්‍ය ලෙසම අපේ රටේ පුරවැසියෝ නැහැනේ අපේ රටේ ඉන්නේ චන්ද දායකයෝ. අපේ රටේ මිනිස්සුට   රාජ්‍ය සහ පුරවැසිය අතර තිබෙන සම්බන්දය පිළිබද පුළුල් හැගීමක් නැහැ. අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ චන්දයක් තියෙන  කාලෙට චන්දෙ ගිහිල්ල දැන්මන් පස්සේ තමන්ගේ රාජකාරිය ඉවරයි කියල. ඊට පස්සේ දේශපාලනඥයින්ට ඕන ඕන විදිහට රට  පාලනය කරගෙන යන්න පුළුවන්.  ඒක තමයි අපේ රටේ තිබෙන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණය. ඒක අපේ රටේ විතරක් නෙවේ ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය තිබෙන ඕනෑම තුන්වෙනි ලෝකයේ රටවල් වල ඔය තත්වය දකින්න පුළුවන්. මං කලින් කිව වගේ අපේ රටේ පුරවැසිය සහ රාජ්‍ය අතර තිබෙන සම්බන්දය ඉතාම  දුර්වලයි,  අපේ මැදිහත් විම මදි. රාජ්‍ය ගොඩනගන්නේ පුරවැසියෝ නම් පුරවැසියාගේ භූමිකාවත් ඉතාම වැදගත්, අපි කොයි මට්ටමෙන්ද රාජ්‍යත් සමග ගනුදෙනු කරන්නේ සමහර අය විවිධ මට්ටමට ගනුදෙනු කරන්න පුළුවන්, උදාහරණයක් කිවොත්  පවතින ආණ්ඩුවට විරුද්ද වෙලා විවේචනාත්මකව සම්බන්ද වෙන්න පුළුවන්. ඒ වැනි තත්වයක් සමාජයේ තිබෙනව, අවසාන විග්‍රහයේදී,  අපේ රටේ ජනතාවට සමාජ අසාදාරනයක් නොවි තමන්ට වඩාත් සුරක්ෂිත ජිවිතයක් ගත කරන්න පුළුවන් වාතාවරණයක් රට තුල තියෙනවද එක හදා ගන්න පුළුවන්ද සමාජ සදාරනත්වයක්  ඇතිවෙනවද කියන ප්‍රශ්නය තමයි  තිබෙන මුලික කාරණාව. ඒක නිකන් ඉබේ පාත් වෙන්නේ නැහැ ඒ සදහා මුලික වශයෙන් පුරවැසියන් හැටියට යම් කිසි  මැදිහත්විමක් කිරීම අවශ්‍යයි.ඒක ප්‍රමාණවත් විදිහට අපේ රටේ වෙනවද කියන ප්‍රශ්නය තිබෙනව.

ලංකා ගාර්ඩියන් - අවසාන වශයෙන් ආචාර්ය තුමනි පුද්ගල පාලන උපක්ක්‍රම කියල අප හදුන්වන නිතිය, ආගම, අභිචාර මේ කියන සියල්ල තුලින් වර්තමානය වෙද්දී පුද්ගලයා පාලනය කිරීමට නොහැකි වෙල තිබෙනව. එහෙම නැත්නම් මේ සියල්ල පුද්ගලයා පරයා දුෂණය වී තිබෙනවා, මේ තත්වය තුල කුමක්ද ඔබට යෝජනා කරන්න පුළුවන් වගකීම් සහගත පුද්ගල සමුහ වලට සහ පුද්ගල සංස්ථාවන්ට.
ආචාර්ය ප්‍රේමලාල් -  ඔතන තිබෙන ගැටලුව තමයි , මිනිස්සු කිසියම් පර්යායක් සකස්කරගෙන හිටිය විවිධ  සමාජ අගනාකම් පද්දතින්  ඇතුලේ. ඒ අගනා කම් මුලික වශයෙන් දෙදරා යන්න ගන්නව නව ලිබරල් ආර්ථික ක්‍රමය ඇවිල්ල මිනිස්සුන්ට මුලික වශයෙන් භෞතික සන්තර්පණය ඊට පස්සේ පරිභෝජනවාදය, මේ වගේ දේවල් එක්ක ඒවා මතු වුණායින් පස්සේ අද සෑම තැනම සිදුවෙලා තිබෙන දේ තමයි ආගම වුනත් මුලික වශයෙන් වෙළද පොලේ විකුනන්න පුළුවන් තත්වයකට පත්වී  තිබිම. අද විකිනෙන් නැති දෙයක් නැහැ. ඉතින් මේවා මුදල් උපාය ගන්නා වෙළද පොළ භාණ්ඩ වුණායින් පස්සේ එම ආයතන කෙරෙහි මිනිසුන් තුල තිබෙන විශ්වාශය බිද වැටිල යනව. ඒ බිද වටුනයින් පස්සේ තමයි එතන යම් කිසි විදිහකට අරාජිකත්වයක් ඇතිවෙන්නේ, ඒ කියන්නේ විශ්වාසය බිද වැටිම. ප්‍රශ්නය තිබෙන්නේ යුරෝපයේත් ඔය තත්වය තිබ්බා කාර්මික විප්ලවයෙන් පස්සේ, එතකොට යුරෝපයේත් තිබුණු සම්ප්‍රදායික වැඩවසම් සමාජ ව්‍යුහය මුලික වශයෙන් වෙනස් වෙන්න ගන්නකොට කාර්මීකරණය තුල මිනිසුන් කර්මාන්ත ශාලා වලට ඇදිල එන්න පටන් ගත්තා, ගෘහස්ත කර්මාන්තය බිද වැටුනා, නගර බිහිවුන  මේ වගේ විශාල සමාජ පරිවර්තනයක් ඇති වුණා. ඒ පරිවර්තනය ඇතුලේ විශාල සමාජ ප්‍රශ්න මතුවෙන්න ගත්තා. මේත්   සමගම  නීතියේ විකාශනය හරහ 'නීතියේ ආධිපත්‍ය' වැනි සංකල්ප බිහිවිම, ඒ  අනුව සම්ප්‍රදායික අගනාකම්  සමග තිබුණු සමාජය නීතියත් සමග සමාජ පර්යාය සකස් වෙනව.

                              අපේ  රටෙත් මේ ප්‍රශ්නය තිබෙනව, ආගමික අගනාකම් තිබෙනව, තව පැත්තකින් නිතිය පිළිබද බැදීම් සහ ගරු කිරීම්, ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නැති තත්වයන් තිබෙනව. අද අපේ මිනිස්සු දන්නැහැ මොකක්ද හරි මොකක්ද වැරදි කියල 'දේශපාලනඥයින්ට ඕන ඕන විදිහට රට  පාලනය කරගෙන යන්න පුළුවන්.' 'ප්‍රජාතන්ත්‍ර වාදය කියනෙත් තවත් පාලක පංතියකට බලය ලබා ගන්න තිබෙන ක්‍රමයක් , ඒක බටහිර අර්ථයෙන්ම ක්‍රියාත්මක වෙන්නැහැ මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපේ වගේ රටවල් වල ක්‍රියාත්මක වන්නේ පිටතින් හදුන්ව දීපු දෙයක් හැටියට. මේ රටවල් වල  දීර්ග ඉතිහාස අරගල වලින් ඇති වූ දෙයක් නොවෙයි . ඇත්තටම අපේ සමාජ වලට එක භාහිරින් පැමිණි දෙයක්.'
                                        අපේ  රටෙත් මේ ප්‍රශ්නය තිබෙනව.  ආගමික අගනාකම් තිබෙනව, තව පැත්තකින් නිතිය පිළිබද බැදීම් සහ ගරු කිරීම්, ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නැති තත්වයන් තිබෙනව.  අද අපේ  සමාජයේ තිබෙන ප්‍රශ්නයක් තමයි  මිනිස්සු දන්නැහැමොකක්ද හරි මොකක්ද වැරදි කියල. ඒ පිළිබද විච්කිච්චාවක් සමාජය ඇතුලේ තියෙනව. සමහර අය නීතිය අතට ගන්නවා.
                              ඇත්තටම මගෙන් විසදුමක් ඇහුවට මට විසදුමක් යෝජනා කරන්න බැහැ,සමාජ විද්‍යාඥයින්ට කරන්න පුළුවන් තිබෙන තත්වය පෙන්වා දීම පමණයි.සමාජයක තිබෙන ප්‍රශ්න ඒවා ඇති වෙන හේතු පෙන්වා දෙන්න පුළුවන්. අපට මේ ප්‍රශ්නයට මේ විසදුම කියල පෙන්වා දීම අපහසුයි. යම් කිසි සමාජයක සමාජ ප්‍රශ්න හදුනා, ඒවා අවබෝධ කර ගැනීම, ඒ සමාජයේ ස්භාවය ගැන අපට කියන්න පුළුවන්. මම කියන්නැහැ ලාංකීය සමාජය ඉතාම සෞඛ්‍ය සම්පන්නයි කියල, මොකද අපේ සමාජයේ යම් යම් ප්‍රශ්න තිබෙනව. සමාජයේ මිනිස් ගාතන වැඩි වෙල තිබෙනව, සියදිවිනසා ගැනීම් වැඩි, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යම් ආකාරයට වැඩි වෙල තිබෙනව, ළමා අපචාර වැඩි වෙලා තිබෙනව, රටේ දික්කසාද වීම් වැඩි වෙලා තිබෙනව, රටේ අපරාද යම් ආකාරයකට වැඩිවෙලා තිබෙනව,  වාහන අනතුරු වැඩි වෙල තිබෙනව. සමහර අය කියන්න පුළුවන් සමාජයක් වෙනස් විමේදී මේ වගේ දේවල් වෙනවයි කියල. හැබැයි මේවට විසදුම් සැපයුවේ නැත්නම් මේවා සමාජ දේහය වසාගෙන ව්‍යාදී ගත තත්වයකට යන්න පුළුවන්. ඒ ව්‍යාදී  තත්වය තමයි සමාජවිද්‍යාඥයින් හැටියට කරන්න පුළුවන්. එහෙම නැතිව මේ මේ විසදුම ලබා දෙන්න යැයි යෝජන කිරීම අපහසුයි. නමුත් මම කැමති මේ ප්‍රශ්නයේ තිබෙන ගැඹුර පහදා දෙන්න අඩුගානේ ප්‍රශ්නය තේරුම් ගන්නව කියන්නෙම ඒ ප්‍රශ්නයට විසදුම් වලට යෑමට අවකාශය විවර කර ගැනීමක්. ඒ දේය තමයි අපට කරන්න පුළුවන්.   මං හිතන්නේ රටේ ආර්ථික සංවර්ධනයම බැලුවට වැඩක් නැහැ සමාජීය වශයෙන් රට පරිහානියට යනවනම්. එම  නිසා මේ පැත්තත් අප බැලිය යුතුයි. ඒ අනුව මේ සියලුම දේවල් සමබරකරගෙන පවත්වාගෙන යාමෙන් තමයි රටක දියුණුව කරා යන්න පුළුවන්. අපේ රටේ ප්‍රශ්න තිබෙනව.  දුගී දුප්පත් භාවය තිබෙනව, රටේ මිනිස්සු රැකි රක්ෂා හොයාගෙන විදෙස කරා යනව මේ වගේ ප්‍රශ්න තියෙනව. මොකද රට ආර්ථික වශයෙන් ස්වයන් පෝෂිත නම් බෝට්ටු වල නැගල වෙන රට වලට යන්න අවශ්‍ය වෙන්නැහැනේ මිනිස්සුන්ට පුළුවන් මේ රටේ ජිවත් වෙන්න, යමෙක්ට කියන්න පුළුවන් මේක දේශපාලන ප්‍රශ්නයක්  කියල. නමුත් මේවා  අපි ගැබුරින් සිතිය යුතු ප්‍රශ්න, ඇයි මිනිස්සු මෙහෙම යන්නේ කියන ප්‍රශ්නය. මොකද තමන්ට යම් අවකාශයක් නැත්නම් සමාජය ඇතුලේ මිනිස්සු රට හැර දාලා යනව. ඒ සමාජය සෞඛය සම්පන්න නම් ඒ දේවල් සිදුවෙන්න බැහැ. උදාහරණයකට එංගලන්තේ ඉදල මිනිස්සු සංක්‍රමණය වෙන්නැහැනේ විශාල ලෙස, එහෙම සංක්‍රමණය වෙනව නමුත් ඒ පරමාර්ථ අතර වෙනස් කම් තියෙනවනේ. අපේ රටේ ආර්ථිකය රැදිලා තිබෙන්නේ රටෙන් බැහැරව ගිය පිරිස එවන මුදල් වලින්නේ. එතකොට ඒ අයගෙන් ඇතිවී තිබෙන සමාජ ප්‍රශ්න, මැද පෙරදිග යෑම නිසා හෝ වෙනත් විදෙස  රැකියා සදහා යෑම හේතුවෙන් ඇතිවී තිබෙන ප්‍රශ්න. මේවත් සමග අපේ සමාජයේ විශාල හැලහප්පිමක් ඇතිවෙල තිබෙනව. පවුල් ව්‍යුහයේ යම් කිසි දෙදරා යමක් ඇතිවෙලා තිබෙනව.  ඒ දෙදරා යාමේ ප්‍රතිපල තමයි අපට දකින්න පුළුවන් වෙන්නේ. ඒක පාසල තුල, පාරේ ගමන් කිරීම ඇතුලේ, වාහනයක්  පදවාගෙන යාම ඇතුලේ, රැකියා කරන ස්ථානයේ, හැසිරිම ඇතුලේ  මේ සෑම තැනටම මේක  බලපා තිබෙනව.  ඒ වගේම   ඔවුන්ගේ මානසිකත්වය ගොඩනැගීමේ දී, බිදුණු පවුල් වලින් පැමිණෙන අය අපරාද කරා යන්න පුළුවන් නැත්නම් අපරාද චර්යාව ඒ අයගේ වැඩිවෙන්න පුළුවන්. මේ වගේ විශාල සමාජ අර්බුද දකින්න පුළුවන්. ඇත්තටම රටේ තිබෙන සමාජ ප්‍රශ්න දැන් තමයි මතු වෙල තිබෙන්නේ, මොකද යුද්දය තිබෙන කාලේ සම්පුර්ණයෙන්ම ඒවා යුද්දය විසින් අධිනිස්චය කරල තිබුනේ. යම් විදිහකට මේ ප්‍රශ්න මතුවීමක් අද තිබෙනව. මේවට වහ වහ පිළියම් යෙදිම අවශ්‍යයි. ඒක තමයි රටේ ප්‍රතිපත්ති සම්පාදකයෝ, රටේ ඉන්න  අනෙක්  නායකයන්  කල යුත්තේ එක. එහෙම නැතුව බුමුතුරුණු  ඇතුලේ ඒවා දන්න බැහැ. එහෙම දන්මොත් සමාජයේ දිනෙන් දින එය වර්දනය වී සමාජය බිද වැටෙන්න පුළුවන්.  කොපමණ දේවල් කලත් මිනිහෙකුට පාරේ බැහැල යන්න බැරි මට්ටමක් එනවනම්, නිතිය සහ පර්යාය බිද වැටෙනවානම්, රටේ පොලිසිය අදිකරණය සහ නිතිය ක්‍රියාත්මක කරන්න ඉන්න  අයට එහා ගිහින් වෙනත් අය ඒවා අරගෙන ක්‍රියාත්මක වෙනවනම් ඒක  ප්‍රශ්නයක්.  ඒ වගේම මේවා ක්‍රියාත්මක කරන්න තිබෙන ආයතන බිද වටිලනම්, මේවා ක්‍රියාත්මක කිරීමට තිබෙන ආයතන වලින් සදාරණයක් ඉෂ්ඨ  වෙන්නැහැ කියල මිනිස්සුන්ට තේරෙනවානම් ඒවා විශාල ප්‍රශ්න. එම නිසා මේව පිළිබද මිනිස්සුන්ට දැඩි විශ්වාසයක් ඇතිවෙන ලෙස කටයුතු කිරීම අවශ්‍යයි. මෙන්න මේ කාරණා තුල තමයි සමාජ ප්‍රගමනය රැදී තිබෙන්නේ. එහෙම ගැටළු මතු වෙල තිබෙනව,  මගේ නම් අදහස ගෙවූනු වසර තිහ ඇතුලේ  මේ ගැටළු තිබුනා  නමුත් දැන් තමයි මතු වෙල පෙන්නේ එක පැත්තකින් යුද්දය අවසන් වීම ලොකු දෙයක්,  යුද්දය තිබුනන් මේක කඩාගෙන  වැටෙනකන් දන්නේනැහැ.
සමන් (slglanka2013@gmail.com)