වක්‍රාකාර රූපාන්තරණය


         ළමයින් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන සුප්‍රකට සම්මාන උත්සවයක ප්‍රචාරය කිරීම සඳහා ආදර්ශවත් ගීතයක් නිර්මාණය කිරීමට යමුනා මාලනියට ආරාධනාවක් ලැබුණි. උත්සවය සංවිධානය කරන ව්‍යාපාරයේ සභාපතිවරයාගේ ඉල්ලීම වන්නේ සංදේශ කාව්‍ය ජනකවි ආදී හරබර තැන් ද ස්පර්ශ කරන ලෙසයි. රහල් හිමියන් සමුදුරු ගොස් විරිතට පබඳින ලද සැළලිහිණි සන්දේශයේ කවියක් ඈට සිහිපත් වන්නේ ය.

“පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණීය විටින් විට

                                  සැළලිහිණිය වදු කැලණිය පුරවරට"
                                  (සැළලිහිණි සන්දේශය)

විභීෂණ දෙව් වෙත සන්දේශය රැගත් සැළයා වදින්නේ කිසිදා පැරණි නොවන කැලණියට යි. රාවණ යුගයේ සිට අද දක්වාත් කැලණිය පැරණි වී නැත. භෞතික කැලණියත් සංකල්පමය කැලණියත් තාමත් අලුත් වෙමින් පවතී. පැරණි නොවන්නේ කැලණිය පමණක් ද? රාවණට එහා ගිය මානව ඉතිහාසයේ ඉපැරණි ම සංකල්පයක් වන ප්‍රේමය යළි යළිත් පැරණි නොවී රමණීය වන්නේ පමණක් නොව අමරණීය ද වන්නේ ය.
ප්‍රේමය ඇතිවන්නේ කළල අවස්ථාවේ සිට ය. එහෙත් වඩා ඉස්මතු වන්නේ තුරුණු ප්‍රේමය ය. බොහෝ ගී, කවි ලියැවෙන්නේ තුරුණු ප්‍රේමවන්තියනට ය. එය සිරුරු පිරිපුන් යෞවනත්වයේ පෙලඹවීම විය හැකි ය. යුවතියක ප්‍රේමවන්තියක ලෙස ගත කරන කාලයට වඩා වැඩි කාලයක් ගත කරන්නේ බිරියක ලෙස ය. පෙම්වතියට වඩා බිරියගේ බැඳීම් වැඩි ය. අපේ ගීත සාහිත්‍යයේ බිරියට ලියූ ගීත අල්ප ය. එහෙත් පැරණි නොවන්නේත් යළි යළි රමණීය වන්නේත් අඹුසැමි ප්‍රේමයම නොවේ ද?
දිනක් යමුනා මාලනිය සිය කාර්යාලයෙන් එළියට බැස යම් කටයුත්තක් සඳහා පාර දිගේ ඇවිද ගොස් කහ ඉරෙන් පාර මාරු වන්නීය. ඇයට ඉදිරියෙන් වියපත් යුවළක් ද පාර මාරු වන්නේ ය. වියපත් සැමියා එක් අතකින් ඉණෙන් පහළට එල්ලා වැටෙන කලිසම ඔසවා ගනිමින් අනෙක් අතින් සිය බිරිය අල්ලාගෙන පාර මාරු වන්නේ ය. පෙම්වතා පෙම්වතියගේ ආරක්ෂකයා ය. බිරියගේත් දරුවන්ගේත් ආරක්ෂකයා ස්වාමි පුරුෂයා ය. මේ හැඩි දැඩි ආරක්ෂකයා දැන් වියපත් ය. වගකීම් මාරු වී ඇත. දැන් ආරක්ෂකයා බිරිය ය. බිරිය ඔහුව අතින් අල්ලාගෙන පාර මාරු කළා ය.

“නොම වේ පැරණී - යළි වේ රමණී
දරු පෙම නොනිමී - අඹු සැමි පෙමිනී
නොව පැරණිය වන රමණිය විටින් විට
මේ රමණිය නොව පැරණිය විටින් විට”


මේ යුවල ඇතැම් විට විශ්‍රාම පඩිපත ගැනීමට හෝ බෙහෙත් තුණ්ඩුව ලියා ගැනීමට ගියා විය හැකි ය. වාරු තිබෙන තුරු ඔහු උපයාගත් ධනයෙන් බිරියත් දරුවනුත් පෝෂණය කළේ ය. ඔහු ගෙන එන දේ ඇය අතින් ලිප මත රසකර ඉදෙන්නට ඇත. බත ඉගෙන තුරු ඇතැම් දිනෙක රණ්ඩු අල්ලන්නට ද ඇත. ඒ දුම්කොළ නැට්ටකට ද විය හැකි ය. අදත් ඈ අතින් ඉදෙන බත එදා තරම්ම රසවත්ය. වැව් ගම්මානවල වැව් හිඳෙන කාලයට කලු කරලා රසට උයන ඕලු බත් සුවඳ ගම් තුලානය දෙවනත් කරන්නේ ය. ඒ අතීතය කොතරම් නම් සුන්දර ද?

“සොර බොර සොඳ සොඳ ඕලු නෙළුම් ඇති
ඒවා නෙළන්නට සොඳ සොඳ ලියෝ එති
කළු කරලා රස කරලා උයා දෙති
ඕලු හාලෙ බත් කන්නට මාළු නැති”

(ජනකවියකි)

ඕලු හාලෙ බතට එදා අඩු වූයේ මාළු පමණි. මාළු නැතත් බිරියගේ අතින් ඉඳුණු ඕලු හාලෙ බත් දරු පැටවුන් රසකර කර තලුමරණ අයුරු දකින විට ම කුස ද සිත ද පිරී යන්නේ ය. ඇගේ දෑත එදා දිගු කළේ රසවත් ඕලු බත් මැටිකෝප්පයකි. අද පය තැබීමට වාරුව ඇගේ ඒ දෑතම ය.
යමුනා මාලිනිය එදා දුටු යුවළ රැගෙන ඈත වැව් ගම්මාන සංස්කෘතියේ පරිකල්පනීය ලෝකයක සැරිසරයි.
“සොඳ සොඳ ඕලු සොරබොර වැවේ ඇති
ඒව නෙළන්නට සොඳ සොඳ ළමෝ යති
කළු කරලා රස කරලා උයා ඇති
ඕලු බතට අද අපෙ පොඩි එවුන් නැති”


කුස පිරෙන්නට තරම් රසවත් ඕලු බතක් අදත් මුළුතැන් ගෙයි ඉදෙයි. ඒත් හිත පිරෙන්නට දරුවන් නිවසේ නැත. ලෝකය කැරකෙනවා වේගය වැඩිය. ඒ වේගයට දෝ පැටවුන් නිවසින් කෙමෙන් විසි වී ඇත. එදා පෙම්වතුන් ස්වාමි - භාර්යා තනතුරු ලබා මව් පිය පදවි ලබා ඇත. ඒ දරුවන් ද මේ චක්‍රාකාර රූපාන්තරණයේ මව්පිය පදවි දක්වා ගමන් කර ඇත. උන් දැන් උන්ගේ ලෝක ගැන සිත යොමු කළ යුතුව ඇත...

“ළමුන් රජුන් වී උන්ගෙත් වටේ පැටව්
ගොහින් ඉතිං දුර දීපංකරේ වසව්”


බැඳීම් අඩු නම් එහා වැටේ උන්න ද දුර දීපංකරේ වැනි ය. එහෙත් ළමුන් රජුන් කිරීමට එදා නොවිඳි දුකක් නැත. උන් වෙනුවෙන් නොකළ කැප කිරීමක් නැත. එහෙත් උන් මාපියනට ණය ගැති නැත. උන් ණය නම් මාපියන් ද තමන්ගේ මාපියන්ට ණය ගැති විය යුතු ය. මක්නිසා ද “දෙගුරුන්ටත් වඩා - දරුවන්ටමයි දනෝ සෙනෙහස” යයි රණස්ගල්ලේ තෙරුණුවෝ පවසා ඇත. එහෙත් උන්වහන්සේම මෙසේ ද පවසත්.

“අමා රසයට වැඩි රසයෙක්
නොමැත සුරන් බුදිනා
ඊටත් වැඩි රසෙකි - තමා දරුවන්
ඇණූ සු බොජුන්”

(ලෝකෝපකාරය)

එහෙත් අද ඒ සියලු දෙන දුර දීපංකරේ ය. අද මොන දේ වුණත් ළඟ ඉන්නේ ඈම පමණි. අදටත් බත් පත ලැබෙන්නේ ඇගේ අතිනි. පාර මාරුවන වාරුව ද ඇයම ය.

“ළඟින් ඉඳන් මට සලකයි
මගේ බිසව්
පැරණි නොවේ සොඳ අඹු සැමි
පෙමේ ඉසව්”


රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට සුනිල් එදිරිසිංහයන් යමුනා මාලනිය 1996 දී සිත්තම් කළ මේ පද පෙළ ගයන්නේ ය. රෝහණ වීරසිංහයන්ගේ තනු රචනය තුළ ජයමංගල ගාථා නාද මාලාව කීප අවස්ථාවක ම ඉස්මතු වන්නේ ය. ඔහු මේ ජය මංගල පතන්නේ එදා අත් අල්ලන් කහඉර මාරු වූ වියපත් යුවළට ම යයි මට හැඟේ. පැරණි නොවන අඹු සැමි ප්‍රේමයට ජය මංගලම්!


බුද්ධික සමන් ගුණවර්ධන