උපුල් ජෝශප් ප්‍රනාන්දු 'රාජපක්ෂ සංස්ථාව නමැති බුල්ඩෝසරය නවතාලීමට සමත් එකම බලවේගය වන්නේ ජාතික ආර්ථිකයට එල්ල වන බලපෑම්ය. විදේශ ණය වාරික ගෙවීමට කාලය එළැඹෙද්දී 2013 වසර තීරණාත්මක එකක් වනු ඇත. මේ නිසා ඉන්දියාව සහ අමෙරිකාව සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාට සිදු වනු ඇත. හේතුව ශ්‍රී ලංකාව වෙත ආර්ථික වශයෙන් බලපෑම් කිරීමට එම රටවල් දෙකට හැකියාව තිබීමය. ජනාධිපතිවරයාගේ උප්පරවැට්ටි සහ ඔහු සතු අවදානම් සහිත පහසුවෙන් ගොදුරු විය හැකි මර්මස්ථාන පිළිබඳ රටවල් දෙකටම අවබෝධයක් තිබෙනවා විය හැකිය. ඔවුහු තම තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට උනන්දු වනු නිසැකය. ඔවුන් ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙලෙසද? එම ප්‍රශ්නයට උත්තරය ලැබෙන තෙක් බලා සිටීම වටී.....' - කර්නල් හරිහරන් ලංකාවේ ඉන්දීය සාම සාධක හමුදා බුද්ධි අංශ ප්‍රධානී දකුණු ආසියාව පිළිබඳ හමුදා බුද්ධි අංශ විශේෂඥ හිටපු ඉන්දීය හමුදා බුද්ධි නිලධාරි කර්නල් හරිහරන් කියන්නේ ලංකාව සම්බන්ධ ඉන්දීය ප්‍රතිපත්තිය හදන විද්වතුන් අතර ප්‍රධාන චරිතයකි. ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවේ සිටි කාලයේ බුද්ධි අංශ ප්‍රධානී ලෙස ඔහු සේවය කළේය. ඔහු ලියන බොහෝ ලිපිවල ලංකාව ගැන ඉන්දියාව හිතන විදිහ කියවන්න පුළුවන. ඉහත කී ලිපිය ඔහු ලීවේ ශිරාණි බණ්ඩාරනායක ඇතුළු නීතිඥයන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කොට එළියට ආවාට පසුවය. ඒත් හරිහරන් කීවේ මහින්ද කෙසේ හෝ ශිරාණි බණ්ඩාරනායක ඉවත් කොට නව අගවිනිසුරුවරයෙක් පත්කොට අධිකරණය තම පාලනය යටතට ගන්නා බවය. එය නතර කරන්න මොනම ජගතෙකුටවත් බැරි බව ඔහු පෙන්වා දුන්නේය. මහින්දව නතර කරවන්න පුළුවන්, මහින්දව හොලවන්න පුළුවන් ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටුණොත් පමණක් බව ඔහු අවසාන විග්‍රහයෙන් පෙන්වා දී තිබිණි. ඔහු එහෙම කීවේ දෝෂාභියෝගය මැදදීය. දෝෂාභියෝගය අවසානයේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තු ප්‍රකාශිකා කී කතාව කියවන්න ඕනෑ හරිහරන්ගේ විග්‍රහය ඔළුවේ තියාගෙනය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව දෝෂාභියෝගය හෙළා දකිමින් කීවේ අනාගතයේදී ලංකාව විදේශ ආයෝජන අහිමිවීමේ අවදානමකට ලක් විය හැකි යැයි කියාය. ඕනෑම රටක විදේශ ආයෝජනයන් සඳහා පළමු කොන්දේසියක් නම් එරට නිදහස් අධිකරණ ක්‍රියාවලියක් පැවැතීමය. විදේශ ආයෝජන ගිවිසුම් සඳහා රැකවරණය සලසන්නේ නිදහස් අධිකරණයක පැවැත්මය. හෙට විදේශ ව්‍යාපාරයක් රජයට පවරා ගතහොත් එයට එරෙහිව යන්න තියෙන එකම තැන අධිකරණයය. එම නිසා අධිකරණ නිදහස විදේශ ආයෝජන සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. විදේශ ආයෝජන අහිමි වුණොත් රට වැටෙන්නේ බලාගෙන සිටියදීය. ඊළඟට මේ මාර්තු මාසයේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය මුදලය. එම ණය මුදල ඉල්ලා ඇත්තේ 2013 අය - වැයෙන් වෙන් කළ රජයේ වියදම් සඳහා වැය කරන්නටය. ඒ කියන්නේ අමාත්‍යංශවල, රාජ්‍ය ආයතනවල වියදම්ය. මෙම ණය මුදල නොලැබුණොත් රාජ්‍ය ආයතනය එකවරම කඩාගෙන වැටෙයි. හේතුව අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන වියදම් පවත්වා ගන්නට මුදල් නොමැතිකම නිසාය. එක්කෝ මූල්‍ය අරමුදලට මෙම ණය මුදල නොදී සිටිය හැකිය. නැතිනම් ණය මුදල දීමට ජනතාව මත බර පටවන කොන්දේසි දමන්න පුළුවන. මේ දෙකෙත් කොයික වුණත් වැටෙන්නේ රටය. 'ඒ කියන්නේ ආපසු 70 - 77 කාලයේ වගේ මඤ්ෙඤාක්කා කන්න වෙන කාලයක් එයිද......?' මෙහෙම ගියොත් කන්න වෙන්නේ මඤ්ෙඤාක්කා නොව පස්ය. සීනි තැනිව තේ බොන්නම් - මිරිස් නැතිව හොදි කන්නම් මැතිනි අපිට කියනවා නම් - පිදුරු වුණත් අපි කන්නම් ඒ කාලයේ ආණ්ඩුවේ හෙංචයියෝ පෙළපාළි ගියේ ඕවා කිය කියාය. රට වෙනුවෙන් වහ කන්නම් - නොකා නොබී අපි ඉන්නම් ජනපතිඳුන් කියනවානම් - පිදුරු වුණත් අපි කන්නම් හෙට අනිද්දා වෙනකොට රට වටේම බඩගින්න ඇවිළෙන කොට දේශප්‍රේමීන් මෙහෙම කිය කියා පෙළපාළි ගියත් පුදුම වෙන්න දෙයක් නැත. බඩගින්න ගෙට ඇතුළු වෙනකොට ආදරය පස්ස ෙදාරෙන් පලා යනවා යැයි අලුත බැඳපු පෙම්වතුන් අතර කතාවක් තිබේ. බඩගින්න රටේ හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිළෙන කොට දේශප්‍රේමය පස්ස ෙදාරෙන් පලා යන්නේ කාටත් නොකියාය. 70 - 77 මැතිනියගේ ආණ්ඩුවට වුණෙත් ඒකය. බඩගින්න ඇවිළෙද්දී සමාජවාදය පස්සා ෙදාරෙන්ම පැනලා ගියේය. හැම ගින්නකටම වැඩිය බඩගින්න ලොකු යැයි කතාවක් තිබේ. 1999 ප්රභාකරන්ගේ බෝම්බයෙන් ඇසක් අහිමි වූ චන්ද්‍රිකාට ඡන්දය දෙන්න පෝලිමේ ගිය කාන්තාවෝ 2001දී බඩගින්න දැනෙන කොට චන්ද්‍රිකාව එළවන්න කොස්ස අතට ගත්හ. එතකොට මොන තරම් රාජ්‍ය බලය පාවිච්චි කළත් ජනතා බලය විසින් රාජ්‍ය බලය යට කරන්නේ බුල්ඩෝසරයක් වගේය. 'මහින්ද හරියට බුල්ඩෝසරයක් වගේ තමන්ගේ ඉදිරියට එන ඕනෑම බාධකයක් යට කරගෙන යනවා.......' මාධ්‍යවේදී වික්ටර් අයිවන් විදේශ මාධ්‍යයකට පවසා තිබුණේ ශිරාණි බණ්ඩාරනායකව ඉවත් කිරීමෙන් පසුවය. මහින්ද තමාට එරෙහි බාධක විනාශ කරන්න පාවිච්චි කරන මේ බුල්ඩෝසරයට ෆොන්සේකා යට විය. විශ්වවිද්‍යාල යට විය. අගවිනිසුරුවරිය පමණක් නොව අධිකරණයම යට විය. දැන් මහින්ද බලාගෙන ඉන්නේ ඊළඟට බෙල්ල දෙන්න එන්නේ කවුද කියා විය යුතුය. හරිහරන්ගේ විග්රහයට අනුව රටේ ආර්ථිකය කඩා වට්ටවන්න ඉන්දියාවට සහ අමෙරිකාවට පුළුවන් වුණොත් මේ බුල්ඩෝසරය නොහොත් ගල්රෝලට බෙල්ල දෙන්න එන්නෙ පාන් කියාගන්න බැරි මහජනතාවය. ලංකාවේ මානව හිමිකම් ගැන අමෙරිකාව කතා කරද්දී, 13 ප්ලස් ගැන ඉන්දියාව කතා කරද්දී මහින්දගේ ආණ්ඩුව ගැහුවේ දේශප්‍රේමී බයිලාවය. 'මානව හිමිකම් ගැන, යුද අපරාධ ගැන, 13 ප්ලස් ගැන ආණ්ඩුවට බලපෑම් කරන කොට ආණ්ඩුව දේශප්‍රේමය අවුළලා ශක්තිමත් වෙනවා.......' පසුගිය කාලයේ ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් ජාත්‍යන්තර මාධ්‍යයන්ට පවසා තිබුණි. අමෙරිකාව සහ ඉන්දියාව පසුගිය කාලයේ ලංකාවේ ආර්ථිකයට අත තිබ්බෙ නැත්තේ ආණ්ඩුවේ වැරැදිවලට ජනතාව පළි නැහැ කියන මතය ඔළුවේ තියාගෙනය. අනෙක ඔවුන් හිතුවේ වසර 30ක යුද්ධයෙන් පීඩා විඳි රටකට හැදෙන්න අවස්ථාවක් දිය යුතු යැයි කියාය. ආර්ථික වශයෙන් ගොඩ එන විට මහින්දගේ ආණ්ඩුව මානව හිමිකම් වැරැදි හදාගනු ඇතැයි සිතා ඔවුහු හිත හදා ගත්හ. ලංකාවට ණය නොදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මානව හිමිකම් සංවිධාන බලපෑම් කරද්දී ඉන්දියාව අමෙරිකාවත් ෂේප් කරගෙන ලංකාවට ණය මුදල ලැබෙන තැනට වැඩේ කළේ ඒ නිසාය. ඒත් දැන් අමෙරිකාව සහ ඉන්දියාව හිතන්නේ යුද්ධ ජයග්රහණයෙන් වසර තුනක් ගිහිල්ලත් මහින්දගේ ආණ්ඩුවට හැදෙන්න වුවමනාවක් නැති බවය. මානව හිමිකම්, යුද අපරාධ, 13 ප්ලස් ගැන බණ දේශනා කොට දේශප්‍රේමය අවුළා ආණ්ඩුව ශක්තිමත් කරනවා වෙනුවට ආණ්ඩුවේ ආර්ථිකය කඩා වට්ටවා ජනතාවගේ බඩට දන්වලා ජනතාවගේ බඩගින්නෙන් ආණ්ඩුව රත් කරවන අලුත් ගේම් ප්ලෑන් එකකට යන්න අමෙරිකාව සහ ඉන්දියාව හිතනවා විය හැකිය. හරිහරන්ගේ විග්‍රහය කියන්නේ ඒ කතාවය. මේ බුල්ඩෝසරය මහින්ද චීනයෙන් ආනයනය කළ එකක් නොවේ. මේ බුල්ඩෝසරය දුවන්නේ ජනතාවගේ ඡන්දවලින් නොහොත් තෙල්වලිනි. බුල්ඩෝසරයට තෙල් ගහන්නේ ජනතාවය. තෙල් ඉවර වුණ දවසට බුල්ඩෝසරයේ රෝද කැරකෙන්නේ නැත. ජනතාව බුල්ඩෝසරයට බෙල්ල තියන්න එන දවසට වෙන්නේ ඒකය. 1977දී මහජනතාව බණ්ඩාරනායක මැතිනියගේ බුල්ඩෝසරය බෙල්ල තියල නතර කරන කොට මහින්ද හිටියේ සමාජවාදයට ජය වේවා යැයි කෑ මොර දෙමින්ය. 'මේ කාලයේ මුළු ආසියාකරයේම රාජ්‍යයන් කුමන්ත්රණවලින් පෙරළෙන බව පේනවා. කුමන්ත්රණකාරී පුද්ගලයන් අධිරාජ්‍යවාදී ගැත්තන් අපේ රට තුළත් සිටින්නට බැරිකමක් නැහැ. අප යම් යම් සමාජවාදී පියවරවල් ගන්නා විට ඒවාට විරුද්ධව නොයෙක් කුමන්ත්‍රණ ඇති වෙනවා. ඔවුන්ගෙන් රජය ආරක්ෂා කර ගත යුතුව තිබෙනවා. ඒක ජනතාව වෙනුවෙන් ගරු අගමැතිනියට පැවැරී තිබෙන වගකීමක්. එම නිසා ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගරු අගමැතිනිය හදිසි නීතිය තබා ගත යුතු යැයි මා විශ්වාස කරනවා......' මහින්ද රාජපක්ෂ 1976 අය - වැය විවාදය පාර්ලිමේන්තු හැන්සාඩ් 25.11.1975 මේ මහින්ද එකල පාර්ලිමේන්තුවේදී කළ කතාවක්ය. මහින්ද පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1970 දීය. 1977දී ඔවුත් ඔහුගේ ආණ්ඩුවත් අන්ත පරාජයකට පත් විය. මහින්දට මන්ත්රිකමද නැති විය. ඒ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සමාජවාදය වෙනුවෙන් කිය කියා ඒ ආණ්ඩුවේ බුල්ඩෝසරය ජනතාවගේම බෙල්ලට තියන්න ගිහිල්ලාය. 'ඉතිහාසය ආපහු රිපීට් වෙයිද.....' ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි දැනට මාසයකට පමණ පෙර හියුමන් රයිට්ස් වොච් සංවිධානය ලංකා ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබිණි. 'අත්තනෝමතිකව බලය පාවිච්චි කරන්න පාලකයන්ට ශක්තිය දෙන්න එපා. පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව ජාත්‍යන්තරය දඬුවම් දෙන්න තීරණය කළොත් එයින් විඳවන්නේ පාලකයන් නොව ලංකාවාසී ජනතාවය........' |
Home UpulJoshepFernando රාජපක්ෂ බුල්ඩෝසරය
රාජපක්ෂ බුල්ඩෝසරය
By Sri Lanka Guardian • January 24, 2013 • feature interviews opinion UpulJoshepFernando • Comments : 0