අගවිනිසුරුවරිය, ජනපතිට ඇමතු කතාව බොරුවක් !

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දුරකථනය ඔස්සේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඇමතුමක් ලබාදෙමින්, ලබන අපේ‍්‍රල් දක්වා සිය තනතුර රැක දෙන්නැයි ඉල්ලීමක් කර ඇති බවට මෙරට වෙබ් අඩවියක පලවී ඇති වාර්තාව මුළුමනින්ම, පදනම් විරහිත අසත්‍ය කාරණයක් බව නීතිඥ සාලිය පිරිස් මහතා අවධාරණය කර සිටියි.

''අගවිනිසුරු ජනපති අමතා අපේ‍්‍රල් දක්වා කල් ඉල්ලයි'' යන ශීර්ෂයෙන් යුතුව ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක පලවී ඇති එම වාර්තාව සම්බන්ධයෙන්, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය වෙනුවෙන් පෙනීසිටි සාලිය පිරිස් මහතාගෙන් 'මිරර්' කල විමසීමකදී ඔහු එබව සදහන් කළේය.

කෙසේවුවද, පසුගිය 06 දා රාත්‍රියේ අගවිනිසුරුවරියගේ නීතීඥයකු වන නීලකන්දන් මහතා අමතා ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අගවිනිසුරුවරියට ඉල්ලා අස්කර ගැනීමට මැදිහත්වන්නැයි ඉල්ලා ඇතිබව 'ලංකා ට්රුත් ' වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.

තමන් දෝෂාභියෝග චෝදනා කියවූයේ ඒ මොහොතේ බව පවසා ඇති ජනාධිපතිවරයා, එවා දෝෂාභියෝග ගෙනඒමට තරම් ප්‍රමාණවත් නොවන ඒවා යැයි දැනගත් බව කියා තිබේ. එසේ වුවද ඒවා විභාග කිරීමේ ක්‍රියාවලියක් ඇරඹී ඇති බැවින් ආපසු හැරිය නොහැකි බවත් එබැවින් අගවිනිසුරුවරියට ඉල්ලා අස්වන ලෙස පවසන ලෙසත් නීතීඥයා ගෙන් ඉල්ලා ඇත.

එසේ කරන්නේනම් ඇයට හා සැමියාට එරෙහිව ඇති නඩු අස්කර ගැනීමට කටයුතු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් දන්වා ඇතිබව 'ලංකා ට්රුත් ' වෙබ් අඩවි වාර්තාවේ සදහන් වේ.

- Sri Lanka Mirror