ස්ටැලින්ග්‍රෑඩ් සහ අලුත්කඩේ


උපුල් ජෝශප් ප්‍රනාන්දු


 "විපක්‍ෂය සමහර වෙලාවට කියනවා මේවාට වහාම ක්‍රියාත්මක වෙන්න. අන්න අරය අහවල් සංස්ථාව කනවා. මහත්තයයි නෝනයි දෙන්නාම. ඒකයි ඒ දෙන්නට දඬුවම් කරන්න ඕනා කියලා බනිනවා. කෑගහනවා. ඒකට දඬුවම් දෙන්න හැදුවොත් මොන ප්‍රජාතන්ත්‍රවාදෙද බලන්නකෝ මූ කරන වැඩේ කියල ආපහු අනික් පැත්තට කතා කරනවා. මේක දැන් සෙල්ලමක් වෙලා. ඕනෑම වරදක් කරල බේරෙන්න ඕනා නම් ජනාධිපති අපේක්‍ෂකයෙක් වෙන්න ඕනා..."
රෝහිත භාෂණ කෘති එළිදැක්වීමේ උත්සවයේදී මහින්ද කළ මේ කතාව කියවාගෙන යන විට මහින්ද අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ගැන තුන් බියකින් පෙළෙන බව පැහැදිලිය.

පළමුවැනි බිය ඇය විපක්‍ෂයේ වීරවරියක් වේය යන බියය.
දෙවැනි බිය ඇය අනාගතයේ ජනාධිපති අපේක්‍ෂිකාවක් වේය යන බියය.

තෙවැන බිය ඇය තමාව දේශපාලන වශයෙන් පරාජය කරනු ඇතිය යන බියය.
මේ තුන් බිය නැති කර ගන්න මහින්ද පසුගිය සතියේ දේශපාලන තීන්දු දෙකක් ගත්තේය. එකක් නම් රනිල් වික්‍රමසිංහට සිය නායකත්වය වසර හයකින් දික්කර ගැනීමට ආශීර්වාදය සහ ආරක්‍ෂාව ලබා දීමය. දෙවැන්න මන්ත්‍රිවරුන්ට තීරු බදු රහිත වාහන විකුණන්න අවසර දීමය.
මේ තීන්දු දෙකෙන්ම ඔහු බලාපොරොත්තු වුණේ අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුව උසිගැන්වීමය. අගවිනිසුරුවරිය වෙනුවෙන් අධිකරණය පෙනී හිටින තත්ත්වයක් තුළ අධිකරණය බය කර ගන්න පාර්ලිමේන්තුවේ, විපක්‍ෂයේ සහාය අවශ්‍ය බව ඔහුට වැටහිණි. ඔහු පළමුවෙන්ම රනිල්ට නායකත්වය දීර්ඝ කර ගන්න ආරක්‍ෂාව දී ඔහුව සාක්කුවේ දමාගත්තේය. දෝෂාභියෝගයට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට අධිකරණය තීරණය කොට කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මන්ත්‍රිවරුන්ට අධිකරණය ඉදිරියේ උත්තර බඳින ලෙස නොතීසි නිකුත් කළ විට මහින්ද රනිල්ගේ සහාය පැතුවේය. රනිල් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී හිටපු අගවිනිසුරු සරත් සිල්වාගේ දෝෂාභියෝගය විභාග කිරීම වළක්වමින් අධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු කතානායක අනුර බණ්ඩාරනායක දුන් තීන්දුව ගිරවා වගේ කියවන්න පටන් ගත්තේය.

ඔහු මේ අනුරගේ තීන්දුව ගිරවා වගේ කියවන්න ගත්තේ පාර්ලිමේන්තුවට වඩා අධිකරණය උත්තරීතර යැයි ඔහුගේ මාමාද වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර්. පාර්ලිමේන්තුවේදී ලොව අන් රටවල පූර්වාදර්ශ ගෙනහැර පාමින් කළ ව්‍යක්ත දේශනය මුළුමනින්ම අමතක කරලාය. 1978 ව්‍යවස්ථාව සම්මත කරද්දී පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රිවරු අතරින් අද මෙම පාර්ලිමේන්තුවේ ඉන්නේ තමාද ඇතුළු මන්ත්‍රිවරු තුන්දෙනෙක් යැයි කියමින් ඔහු අනුරගේ තීන්දුව නිවැරැදි යැයි කීවේ 78 ව්‍යවස්ථාව හදපු ජේ.ආර්.කී කතාව මඟහැරලාය.

"අප අධිකරණයේ ස්වාධීනත්වය අඩු කරන යෝජනා පනත් මෙහි ගෙන එනවා නම් අප කරන්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්. එය ව්‍යවස්ථා විරෝධී වනවා පමණක් නොව භයානක, අනුවණ සර්වජන ඡන්ද බලය නැති කරන ක්‍රියාවක් වෙනවා. අපි මහජනතාවගේ පරමාධිපත්‍ය පිළිගන්නවා වගේම මහජනතාව ස්වෛරී විය යුතුයි. නමුත් මහජනතාව අධිකරණයේ ස්වාධීනත්වය බලාපොරොත්තු වෙනවා නම් එය සුරක්‍ෂිත කිරීමට අනෙක් බොහෝ රටවල කර ඇතිවාක් මෙන් බලය වෙන් කළ යුතුයි...."

ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය

ජේ.ආර්. මේ ප්‍රකාශයෙන් කිව්වේ අධිකරණයේ ස්වාධීනත්වය සර්වජන ඡන්ද බලය තරමටම වැදගත් කියාය. සර්වජන ඡන්ද බලය නැති කිරීම ජනතා පරමාධිපත්‍ය නැති කිරීමක් වනවා සේම අධිකරණ ස්වාධීනත්වය නැති වීම ජනතා පරමාධිපත්‍ය නැති වීමක් බව ජේ.ආර්. ව්‍යවස්ථාදායක සභා සැසියේදී පෙන්වා දී ඇත.
රනිල් ජේ.ආර්.ට වැඩිය අනුරව පූර්වාදර්ශයට ගැනීම ගැන පුදුම විය යුතු නැත. මන්ද ජේ.ආර්. කියන්නේ ආණ්ඩු පෙරළාපු ආණ්ඩු හදපු වාසනාවන්ත නායකයෙකි. අනුර කියන්නේ ආණ්ඩුවක් පෙරළාගන්න බැරිව ආණ්ඩුවක් හදා ගන්න බැරිව පක්‍ෂය පාවාදී ඇමැතිකමකට ආණ්ඩුවට ගිය අවාසනාවන්ත නායකයෙකි.
කෙසේ වුවත් අනුරගේ තීන්දුව ගැන රනිල් කළ ප්‍රකාශය පදනම් කරගෙන කතානායකවරයා පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කීවේය.
මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර විකිණීමේ වරප්‍රසාදය ලැබුණේ එසැණින්ය. ඒ අධිකරණයට එරෙහිව පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කතානායකවරයාගේත්, සභානායකවරයාගේත්, විපක්‍ෂ නායකවරයාගේත් ප්‍රකාශ පාර්ලිමේන්තුව ‍ෙදාහොත්මුදුන් දී පිළිගැනීමෙන් පසුවය.

"මොකක්ද මේ පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතරත්වය...?"
මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයට තුනෙන් දෙකේ බලයක් ලැබිලා තියෙන්නේ මහජනතාවගේ ජනවරමකින් නොව වරදානවලට විපක්‍ෂයේ මන්ත්‍රිවරු බාගෙනය. මෙය ජන වරම එහෙම්පිටින්ම විකෘති කිරීමකි. අගවිනිසුරුවරිය ඇතුළු විනිසුරුවන්ට එරෙහිව නඩු අහන්න යන්නේ මෙහෙව් පාර්ලිමේන්තුවය.
හෙට අනිද්දා වෙන කොට මර්වින් සිල්වා කැලණියේ නඩු ඇහුවොත් පුදුම වෙන්න දෙයක් නැත. මොකද කතානායකවරයාගෙයි, සභානායකගෙයි, විපක්‍ෂ නායකගෙයි තර්කයට අනුව මන්ත්‍රිවරු උත්තරීතරය. උත්තරීතරම හොරු ඉන්නෙත් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේය.
මින් පසු මන්ත්‍රිවරයකුට එරෙහිව අධිකරණය තීන්දුවක් දුන්නොත් එම විනිසුරුව ඉවත් කොට තමන් කැමැති විනිසුරුවෙක් පත්කරගෙන නඩුව යළි අහන්න උත්තරීතර පාර්ලිමේන්තුවට පුළුවන.

එපමණක් නොව මන්ත්‍රිවරයකුගේ වරදක් නිසා පීඩාවට පත් අයෙක් අධිකරණයට ගියහොත් අධිකරණයට වඩා පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියා අදාළ මන්ත්‍රිවරයා ගිහින් විනිසුරු පුටුවේ වාඩි වී නඩුව අසා තීන්දුව දුන්නත් පුදුම වෙන්න දෙයක් නැත. අනාගතයේ ඒ දිස්ත්‍රික්කයේ අදාළ ආසනයේ නඩු අසන්න ආණ්ඩුවෙයි විපක්‍ෂයෙයි මන්ත්‍රිවරුන්ගේ තේරීම් කමිටු පත් කළත් පුදුම වෙන්න දෙයක් නැත.
මේ ආණ්ඩුවයි විපක්‍ෂයයි එකතු වෙලා මේ රට තල්ලු කරගෙන යන්නේ එතැනටය. ඒ මහින්දගේ තුන්බිය නැති කරන්නටය.
හිට්ලර් කියන මනුස්සයා නිර්මාණය වූයේ නිකම්ම නොවේ. හිට්ලර්ව නිර්මාණය කළේ එරට පාර්ලිමේන්තුවෙන්ය. හිට්ලර් එරට පාර්ලිමේන්තුව ගිනි තියල ගිනි තැබීම කොමියුනිස්ට්වාදීන් මත පටවල උත්තරීතර පාර්ලිමේන්තු බලය ආරක්‍ෂා කර ගන්න තමාට ඒකාධිපති බලය පවරන පනතට සහාය දෙන්න යැයි පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂවලින් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේ උත්තරීතර බලය ආරක්‍ෂා කරගන්න කොමියුනිස්ට්වාදීන්ගෙන් කොටසක් හැර පක්‍ෂ විපක්‍ෂ හැමෝම ඡන්දය ප්‍රකාශ කළහ. ඒ හිට්ලර්ගේ ආරම්භයය.

හිට්ලර්ගේ විනාශය සෝවියට් දේශයට පාඩමක් උගන්වන්න යෑමය. හිට්ලර් හිතුවේ ඒක කජු කනවා වගේ ලෙහෙසි වැඩක් කියලාය. හිට්ලර්ට ස්ටැලින්ග්‍රෑඩ් අගනුවර දක්වා එන්නට ඉඩ දී සෝවියට් හමුදා සැඟවී සිටියෝය. හිට්ලර්ගේ හමුදා ස්ටැලින්ග්‍රෑඩ් අගනුවරට එන විට සීත සමය ළඟාවී තිබිණි. හිට්ලර්ගේ හමුදා අයිස් මඩ වතුරේ හිර වුණ පසු සෝවියට් හමුදා සීත සමයට ඔරොත්තු දෙන ලෙස සැරැසී හිට්ලර්ගේ හමුදාවට වටකර පහර දුන්හ. සෝවියට් හමුදාවේ උපාය වූයේ සීත සමය එන තෙක් හිට්ලර්ගේ හමුදාවට ඉදිරියට එන්න ඉඩ දීමය.

මහින්ද රාජපක්‍ෂ කියන්නේ හිට්ලර් කෙනෙක් නොවේ. ඒත් මෙරට විපක්‍ෂය මේ විදිහට මහින්දට කඩේ යන කොට මහින්ද හිට්ලර් කෙනෙක් වෙන්න හිතුවත් පුදුමයක් නොවේ. හැබැයි මහින්දට පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ඇල්ලුවා වගේ මේ අගවිනිසුරුවරිය ඉන්න තාක් කල් අධිකරණය අල්ලන එක ලේසි නැත.
මහින්ද අලුත්කඩේට යන්නේ හිට්ලර් ස්ටැලින්ග්‍රෑඩ් ගියා වගේය. මාර්තු මාසය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මහින්දගේ ආණ්ඩුවට එරෙහි අමෙරිකානු යෝජනාවේ නිර්දේශ මහින්දගේ ආණ්ඩුව ක්‍රියාත්මක කළාද නැද්ද යන්න හොයා බලන මාසයය. ඒක හරියටම හිට්ලර්ව සීත ඍතුවට ස්ටැලින්ග්‍රෑඩ් ගෙන්වා ගත්තා වගේය. මහින්ද මාර්තු මාසයේ අලුත්කඩේ හිර වුණොත් ඒක හිට්ලර් සීත ඍතුවේ ස්ටැලින්ග්‍රෑඩ් හිර වුණාට වඩා භයානකය.

 - Mawbima