අග විනිසුරුවරියට එරෙහි චෝදනාවලින් විමර්ශනය කළ පළමු චෝදනා පහෙන් තුනක් ම ඔප්පු වුණා

අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනාව විමර්ශනයේ දී ඇයට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 14න් විමර්ශනය කළ පළමු චෝදනා පහෙන් චෝදනා තුනක් ම ඔප්පු වූ බව පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවේ සාමාජික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 2හි පැවැති අග විනිසුරුවරිය එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම පිණිස කරන ලද යෝජනාව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලදපාර්ලිමේන්තු විශේෂ කාරකසභාවේ කමිටු සාමාජිකයන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.

චෝදනා 14ක් ඉදිරිපත් වූ අතර පළමු චෝදනා පහ විමර්ශනය සිදු කළ බවද අමාත්‍යවරයා පැවසී ය.

පළමු, සිව්වන සහ පස්වන චෝදනා ඔප්පු වී ඇති බව ද සදහන් කළ අමාත්‍යවරයා, දෙවන සහ තුන්වන චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉන් ඇය නිදහස් කළ බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙහිදී අදහස් දැක් වූ කාරකසභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ, විමර්ශන කාර්යයයේදී කාලය අවශ්‍ය බව ඉල්ලීමක් කළ බවත් එම කාලය ලබාදුන් බවත් ය. පළමු හා දෙවන චෝදනා විමර්ශනයට ගැනීමේ දී  ඉදිරිකටයුතු සඳහා විශ්වාසයක් නොමැති බව පවසමින් පිටව ගිය බව ද සාක්ෂි කරුවන් 16ක් කැඳවා සාක්ෂි විමසූ බවද පැවසී ය.

අප විසින් නිරාවරණය කරගත් කරුණු හා සාක්ෂි සමඟ ද පාර්ලිමේන්තුවට සුදුසු යැයි සලකා වාර්තාව ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතය ඊළඟ මාසයේ සිදු වේවි.

කමිටු සාමාජික අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම ක්‍රමවේදය ඉතා පැහැදිලිව සිදු වූ බව පැවසී ය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ අග විනිසුරුවරියගේ පාර්ශවය කාලය ඉල්ලා සිටිය බවත් ඒ පිළිබඳව ලිපියකින් ඒවා තිබුණා. ඒ පිළිතුරු අපි බාර ගත්තා.

මෙම විමර්ශනය පිළිබඳව ඕනෑම අයෙකුට අභියෝහ කළ හැකි බවත් එයට කාරක සභාව හැටියට මුහුණ දීමට සූදානම් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රවෘත්ති සාකච්චාවේදී පැවැසීය.

මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා යන මහත්වරු ද සහභාගී වී අදහස් දක්වා සිටියහ.