‘‘කොටින්ගේ කළු සල්ලි සුදු කරන ප‍්‍රධාන මධ්‍යස්ථානය ලංකාවයි’’

මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී 2012-11-06 වන දින කරන ලද කතාව.

ගරු කතානායකතුමනි,

1776 දී ඇමරිකානු විප්ලවයේ ප‍්‍රධාන දේශපාලන න්‍යායාචාර්යවරයෙක් හැටියට සැලකෙන ටොම් පේන් නමැත්තා කියා සිටියේ, ශිෂ්ඨසම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතු බවටත්, නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතු තැනක ඔටුනු පැළඳවිය යුත්තේ නීතියට මිස රජෙකුට නොවන බවත්ය. නමුත් ආසියාවේ පැරණිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රට හැටියට සැලකිය හැකි අප රට තුළ අද නීතියේ ආධිපත්‍ය සීඝ‍්‍රයෙන් බිඳ වැටෙන අතර, එයට හේතුව වී ඇත්තේ රාජකීය උෂ්ණයෙන් පෙළෙන පාලකයන් නීතියේ ඔටුන්න පැහැරගෙන ඔවුන්ගේ හිසේ පළඳා ගැනීමට දරන උත්සාහය නිසාය. මේ තත්ත්වය කොයිතරම් බරපතලද කියතොත්, අවනීතියේ සාටකය අද මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙල මිරිකා අධිකරණයේ ස්වාධීනත්වයත් විනාශ කරන්නටත් උත්සාහ කරනවා.

සහෝදර පාලනයට සහයෝගය දෙනවා නම් ඔවුන් කුමන අපරාධයක් කළත් නීතිය කි‍්‍රයාත්මක නොවන අතර, මේ පාලනයට විරුද්ධවන, විවේචනය කරන අයට වරදක් නොකළත් විවිධ චෝදනාවලට මුහුණපෑමට සිදුවීම රාජපක්‍ෂ පාලනයේ මූලික පදනමයි. As Tisranee Gunasekere writes in her uncensored article of last Sunday - "The fundamental law of Rajapaksa Rule: Those who support the siblings will thrive, even if they wallow in crime; those who oppose the siblings will suffer, even if they commit no wrong." 

මෙම රාජපක්‍ෂ මූලධර්මයට අනුව, අද අප රටේ වරෙන්තු නිකුත් කර ඇති සුදර්මන් රදලියගොඩ වැනි රජයට කඬේ යන ජනමාධ්‍යවේදීන් සිට ජාත්‍යන්තර මට්ටමේ වරෙන්තු නිකුත් කර ඇති කේ.පී. පද්මනාදන් වැනි අයට නිදහසේ, නිදැල්ලේ රජයේ ඉහළම අයගේ සහයෝගය සහ ආරක්‍ෂාව ඇතිව ජීවත්වීමේ හැකියාව ලබාදී ඇත.

ශන්මුගම් කුමාරන් ධර්මලිංගම් නොහොත් සෙල්වරාසා පද්මනාදන් නොහොත් කුමාරන් පද්මනාදන් නොහොත් කේ.පී. (පසුගිය වසර 15 තුළදී මොහු බොරු නම් 23 කින් සහ විවිධ වෙස්වලා ගැනීම්වලින් කටයුතු කර තිබෙනවා) ලෝකයේ සිටින භයානකම අපරාධකරුවෙක් හැටියට Interpol සංවිධානය නම් කර තිබුණු අතර, 2001 දී රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා කරන ලද ඉල්ලීමකින් පසුව CIA සහ MI5 සංවිධානද මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පසුපස සිටියේය. ඒ වගේම, ඉන්දියාවේ බලධාරීන් විසින්ද 1991 දී රජිව් ගාන්ධි ඝාතනයටත් ඉන්දියාවේ ත‍්‍රස්තවාදී පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්ද වරෙන්තු නිකුත් කරන ලද අපරාධකරුවෙකි.
(Interpol සංවිධානය විසින් නිකුත් කරන ලද වරෙන්තුවේ පිටපතක් මම සභාගත කරමි.)

මෙවැනි පසුබිමක් තුළ පසුගිය ඔක්තෝබර් මාසයේ 17 වැනිදා ජාතික ආරක්‍ෂක මධ්‍යස්ථානය විසින් කියා සිටියේ කේ.පී.ට විරුද්ධව කිසිම පැමිණිල්ලක් හෝ සාක්කියක් නැති බැවින් කිසිම නීතිමය පියවරක් ඔහුට විරුද්ධව නොගන්නා බවයි. ලංකාව තුළ රණවිරුවන් දහදහස් ගණනාවක් අබ්බගාතයන් බවට පත් කිරීමටත්, ජීවිතක්‍ෂයට පත් කිරීමටත්, අවි ආයුධ මිලදී ගැනීමේ භාරව හිටපු ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රධාන කි‍්‍රයාකරු මේ ආකාරයට නිර්දෝෂ කිරීම සම්බන්ධයෙන් මේ රටේ ජනතාව පමණක් නොව, මුළුමහත් ලෝකයම විශ්මයට පත්වෙලා තියෙනවා. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අවුරුදු 12 ක් වයසැති පුතා පවා අමුඅමුවේ ඝාතනය කළ මේ රජය, රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, ලක්‍ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා වැනි දේශපාලනඥයන් පමණක් නොව මහ බැංකුව වැනි ප‍්‍රසිද්ධ ස්ථානවල බෝම්බ ප‍්‍රහාර එල්ල කරමින් සාමාන්‍ය වැසියන් සිය ගණනාවකගේ ජීවිතවලට වගකිවයුතු කේ.පී. පද්මනාදන්ට චෝදනා හෝ පැමිණිනි නැතැයි කීම මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන නින්දාවකි.

The very regime which cold-bloodedly executed the 12 year old son of Prabhakaran for nothing but the sins of his father is now saying that KP who is wanted for the muder of Rajiv Gandhi and many other VVIP's has no complaints or charges against him. This is an obnoxious insult to the intelligence of our people.

ගරු කතානායකතුමනි,

අද මේ රජය විසින් කේ.පී.ට සුදු හුණු ගාලා නිදහස් කර ඇතත්, 2009 දී ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මොහු බරපතළ චෝදනා සහිත අපරාධකාරයෙක් බවට මේ රජය විසින්ම පිළිගන්නා ලදී.

2009 අගෝස්තු 07 වැනිදා GMT 03.59 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ මොහු අත්අඩංගුවට ගත් බවටත්, මොහු රජිව් ගාන්ධි මැතිතුමා ඇතුළු VVIPලා විශාල ප‍්‍රමාණයක් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණකරුවෙක් බවත්ට සඳහන් කරන ලදී. එපමණක් නොව, ඇමරිකානු ඩොලර් බිලියන ගණනක මුදල්වලට වගකියන බවට ජනාධිපති ලේකම් කාර්යාලය එදා ප‍්‍රකාශ කරන ලදී.
(එය සභාගත කරනවා)

ඒ වගේම, 2009 අගෝස්තු 07 වන දින උදේ 10.18 ට ආරක්‍ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වූ ප‍්‍රකාශයෙන්ද කියා සිටින්නේ, මොහු ජාත්‍යන්තර පොලිසියෙන් සොයන මහා අපරාධකාරයෙක් බවත්, මොහු රටවල් කිහිපයකම ත‍්‍රස්තවාදී කටයුතුවල නිරත වී ඇති බවත්ය.
(එය සභාගත කරනවා)

එමෙන්ම, මොහු කෝටි ප‍්‍රකෝටි ගණනාවක මුදල්වලට වගකියන භයානක ත‍්‍රස්තවාදියෙක් ලෙස රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේද එදිනම ප‍්‍රකාශ කර ඇත.
(එය සභාගත කරනවා)

ගරු කතානායකතුමනි,

එසේ නම්, මීට වසර 03 කට ප‍්‍රථම බරපතළ අපරාධකරුවෙක් ලෙස රජය විසින්ම හඳුන්වාදුන් කේ.පී.ට විරුද්ධව කිසිම පැමිණිල්ලක් හෝ චෝදනාවක් නැති බවට ප‍්‍රකාශ කරන්නේ කුමන පදනමක් මතද යන්න රජය රටට පැහැදිළි කළ යුතුයි.

එක පැත්තකින් අප රටේ මානව අයිතීන් උල්ලංඝණය කිරීම් සහ මේ රජයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කටයුතු පෙන්වා දෙන බොහෝ රටවල් ත‍්‍රස්තවාදී හිතවාදීන්, එල්.ටී.ටී.ඊ. හිතවාදීන් කියා ලේබල් අලවන මේ ආණ්ඩුව, ඒ රටවල් විසින්ම එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් වෙනුවෙන් ඉල්ලා සිටින මේ ත‍්‍රස්තවාදියා ආරක්‍ෂා කරන්නේ කුමන හේතුවක් මතද යන්නත් රජය රටටත්, ලෝකයටත් පැහැදිලි කරන්න  ඕනෙ.

ජාත්‍යන්තර වශයෙන් වරෙන්තු කර ඇති මෙවැනි අපරාධකාරයෙක් ආරක්‍ෂා කිරීම තුළින් අපි අපේ ජාත්‍යන්තර වගකීම් සහ අපි එකඟ වී ඇති ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරනවා විතරක් නොව, අපගේ මිතුරු රටවල් සමග මේ තුළින් බරපතළ ප‍්‍රශ්නද මතු කර ගන්නවා ඇත.

2001 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡුා අරඹන ලද අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ.ය විසින් ඔහුද සාම නියෝජිතයෙක් හැටියට නම් කළත්, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් මෙවැනි ජාත්‍යන්තර වශයෙන් නම් කර ඇති අපරාධකරුවෙක් සාම සාකච්ඡුාවට සහභාගි කර ගැනීමට නොහැකි බව වගකිවයුතු නායකයෙකු හැටියට නෝර්වේ පාර්ශ්වයට දන්වන ලදී.
(2003 දී හින්දු පුවත්පතේ පළ වූ කතුවැකිය සභාගත කරමි.)

මේ රටේ නීතිය අනුව මොහුට පැමිණිලි හෝ චෝදනා නැතැයි කියන මෙම රජයට අවශ්‍ය නම් ඔහු ජාත්‍යන්තර පොලිසියට එහෙම නැතිනම් ඉන්දියාවට භාරදීම අපගේ වගකීමයි. නමුත් එසේ නොකර ජාත්‍යන්තර ප‍්‍රජාවද අපත් සමග තරහ කර ගනිමින් මොවැනි පුද්ගලයෙක් ආරක්‍ෂා කරන්නේ කුමන වාසියකට දැයි අපි සොයා බලන්න  ඕනෙ.

2009 අගෝස්තු 07 වැනිදා තොරතුරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ පද්මනාදන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නව නායකයා වශයෙන් ඔහුම පත් වූ බවත්, එල්.ටී.ටී.ඊ.යේ විවිධ කණ්ඩායම් අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිටරට බැංකු ගිණුම්වල ඇති ඩොලර් මිලියන ගණනක මුදල් ඩැහැ ගැනීමට සටන් වදින බවත්ය.

Jane's Intelligence Review: නමැති ආරක්‍ෂක සඟරාව සඳහන් කරන අන්දමට, 2007 වර්ෂයේදී පමණක් එල්.ටී.ටී.ඊ. සංවිධානය නීති විරෝධී ව්‍යාපාර තුළිනුත්, වෙනත් මුදල් එකතු කිරීම් තුළිනුත් ඩොලර් මිලියන 300 කට ආසන්න ප‍්‍රමාණයක් එකතු කර ගෙන ඇති බවයි. ඊට අමතරව කේ.පී. විසින් පවත්වාගෙන යන ලද රහස් බැංකු ගිණුම් හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සියලූම අවි ආයුධ සපයන බවටත් මෙහි සඳහන් වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේද 2009 අගෝස්තු 07 වැනිදා කියා සිටියේ, එල්.ටී.ටී.ඊ. මුදල් එකතු කිරීම හරහා මොහු ඩොලර් බිලියන ගණනාවකට වගකියන බවයි. KP was reportedly earning billions of US dollers per month from LTTE fund raising activities.

එමෙන්ම, මෙම රහස් ගිණුම් සම්බන්ධයෙන් ප‍්‍රභාකරන් ඇරුනම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තොරතුරු තිබුණේ කේ.පී.ට විතරයි.

2008 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය වූවායින් පසුව ඒ තොරතුරු දන්නා එකම පුද්ගලයා කේ.පී. හැටියට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සියලූම වත්කම් සොයා දෙන්නට පුළුවන් එකම පුද්ගලයා කේ.පී. බව රහසක් නෙවෙයි. ඒ අනුව රජය මොහු විසින් ප‍්‍රශ්න කරද්දී එල්.ටී.ටී.ඊ.යේ වත්කම් සම්බන්ධයෙන් ලබාදුන් සියලූ තොරතුරු මේ සභාවට ලබාදිය යුතුව තිබුණා.

ගරු කතානායකතුමනි,

යුද්ධය අවසන්වීමෙන් පසුව ලංකාව කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් බවට පත්ව තියෙනවා. අද කොළඹ කොටස් වෙළෙඳපොළ පවා අප විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා පෙන්වා දී ඇති ආකාරයට ලොන්ඩරියක් සහිත කැසිනෝ එකක තත්ත්වයට පත්ව තියෙනවා. කළු සල්ලි සුදු කරන ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවටද ලෝකයේ ප‍්‍රසිද්ධියක් ලබා ඇත. වසර 03 - 04 ක් ඇතුළත කුඩා දැන්වීම් ආයතන කරගෙන ගිය සුළු ව්‍යාපාරිකයන් පිරිසක් අද කෝටි ප‍්‍රකෝටිපතියන් බවට පත්ව ඇත්තේ, එල්.ටී.ටී.ඊ.යේ කේ.පී.ගෙ කළු සල්ලි ආයෝජනය කිරීම තුළින් බවට සැකයක් මතුව තියෙනවා.

වෙන කිසිදු ආදායමක් නැති නාවික හමුදා නිලධාරිවරු, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු කොටස් වෙළෙඳ පොළේ යම් යම් සමාගම්වල ප‍්‍රධාන කොටස්කරුවන් හැටියට සඳහන් වෙනවා. මේ මුදල් එල්.ටී.ටී.ඊ.යේ මුදල් නොවේද යන්න කියලා මම අහනවා. කොටස් වෙළෙඳ පොළේ ඇති Panasian Power PLC සහ Ascot Holdings PLC සමාගම් උදාහරණයක් හැටියට මම ගන්නවා. එහි ප‍්‍රධාන පෙළේ කොටස්කරුවන් හැටියට එල්.එන්. රාජපක්‍ෂ, වයි.කේ. රාජපක්‍ෂ වැනි නම් තියෙනවා. මේ අය කවුද? නාවික හමුදා නිලධාරීන්ට එහෙම නැතිනම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට මෙවැනි මුදල් ලබාගෙන තියෙන්නේ කොහෙන්ද?
(සමාගම් වාර්තා පිටපත් සභාගත කරනවා)

එමෙන්ම, අද කොළඹ නගරයේ මහ පරිමාණයේ ගොඩනැගිලි ඉදි කරන බවට රජය පම්පෝරි ගැසුවත් මේ සියල්ලම කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් බවට අද රහසක් නොවෙයි. ඊයේ පෙරේදා අටවා ගත් ජාත්‍යන්තර සමාගම්වල මුවාවෙන් සැක සහිත අතීතයන් තියෙන ජාත්‍යන්තර ජාවාරම්කරුවන් ඉදිරියට දාලා අද කොළඹ ඉන්න ප‍්‍රධානීන්ගේ කළු සල්ලි සුදු කරනවා.

බොලිවුඞ් කළු සල්ලිත්, එල්.ටී.ටී.ඊ. කළු සල්ලිත්, චීන ණය සමග එන කොමිස් කුට්ටිත් එකතු කරලා අද කොළඹ ආයෝජනය කරන බවට රටේ මතයක් ඇති වී තියෙනවා. පසුගිය දිනෙක ඉන්දියාවේ සුප‍්‍රසිද්ධ නළුවෙක් හදිසියේම තමන්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් කොළඹට ඇවිල්ලා මේ රටේ ප‍්‍රධාන පිය-පුතු සමාගමක් සමග කළ සාකච්ඡුාවකින් පසුව ‘කි‍්‍රෂ්’ නමැති සමාගමකට කොළඹ ඉඩම් ලබාදීමට තීන්දු කළා.

මේ අනුව, අද එල්.ටී.ටී.ඊ. මුදල් ලංකාව තුළම ආයෝජනය කරමින් සිටින මාෆියාවක් ඇති බව අපට පැහැදිලියි. අද මුළු රටම ජාවාරම්කරුවන්ගේ තිත් පොළක් කර ඇති මෙම මාෆියාවේ ‘God Father’ කවුද කියන එක අපි ළඟදීම රටට හෙළිදරව් කරනවා.