අධිකරණයට තඩිබෑම

|  නිලන්ත ඉලංගමුව

ඊයේ උදෑසන කොළඹ අගනගරය ආසන්නයේදී අවිගත් කණ්ඩායමක් විසින් කොමාන්ඩෝ ආකාරයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කල ප්‍රහාරය පුදුමය උපදවන සිදුවීමක් නොවේ. සුදු වෑන් රථයකින් පැමිණි අවිගත් පිරිසක් ඔහුට පහරදෙනු ලැබීය. ඉන් අනතුරුව ලේකම්වරයා රෝහල් ගත කරනු ලැබූ අතර එහෙදී ඔහු බැලීම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට පමණක් සීමා කොට රෝහල අවට තම මිලිටරිය යෙදවීමට රාපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබුවේ අදාළ සිදුවීම  මාධ්‍යයෙන් ප්‍රචාරය වීම හැකි උපරිමයෙන් වැලැක්වීම සඳහා විය හැකිය. මේ ආකාරයේම ප්‍රහාරයක් හිටපු සන්ඩේ ලීඩර් පුවත් පතේ කතුවරයාට එල්ල වූ අතර එහිදී ඔහු කපා මරා දැමීමට අදාළ සන්නද්ධ කල්ලිය සමත් විය.

අදාළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද දිවයින පුරා නිතීඥවරුන් වර්ජනයේ යෙදෙති. මෙය මෙරට ඉතිහාසයේ සටහන් වන තවත් එක් ඛේදනීය දිනයකි. මෙය මන්නාරමේදී ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ හෙංචයියන් පිරිසක් විසින් මන්නාරමේ මහේස්ත්‍රාත් අධිකරණයට පහර දී අලාබ හානි සිදු කිරීමෙන් පසු ඇති වූ දෙවැනි අවස්ථාවයි. මන්නාරමේ පළමු සිදුවීම වාර්තා වූ කාලයේම යාපනයේ විනිසුරුවරියකටද ප්‍රහාර එල්ල වූ නමුත් එහි ස්ථාන ගත කොට ඇති මිලිටරියේ ආනිසංසයෙන් සිදුවීම යටපත් කිරීමට සමත් විය.

ආණ්ඩුව හෝ එහි ආධාරක පක්ෂ මඟින් අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ප්‍රහාරය සිදුකළ බවට ඇති වන සැකය පිළිගත් ක්‍රමවේදයක් යටතේ සිදුකරනු ලබන පරීක්ෂණයක් ඔස්සේ ඔප්පු කිරීමෙන් මිස  ආණ්ඩුව කෙරෙහි ජනතාව කෙරෙහි පවතින සැකය ඉවත් නොවේ. ආණ්ඩුවේ පරණ සින්දුව වන " ජාත්‍යන්තර කුමන්ත්‍රණ" හෝ විපක්ෂයේ ඇතැම් කල්ලි විසින් ආණ්ඩුව සහ එහි නායකත්වයේ ප්‍රතිරූපය නැති කිරීම සඳහා සිදුකරනු ලැබූ උත්සහයක් ලෙසට කිසිඳු සාක්ෂියක් නොමැතිව හෝ බලහත්කාරයෙන් සිදුකරනු ලබන පෙළඹවීම මඟින් නිපදවන සාක්ෂි මඟින් මෙවැනි සිදු වීම් හුවා දැක්වීම ජනතාවට පිළිගත හැකි කරුණු කීමක් ලෙස තව දුරටත් පවතී යයි විස්වාශ කිරීම මුලාවකි.

අධිකරණ සේවා කොමිසමේ ලේකම් වරයා විසින් අදාළ කොමිසමට දේශපාලන බලපෑම එල්ල වන බව සහ රජයට පක්ෂ මාධ්‍ය විසින් අදාළ කොමිසම සම්බන්ධයෙන් පදනම් රහිත චෝදනා ඉදිරිපත් කිරීම දන්වා නිවේදනයක් නිකුත් කොට ගත වූයේ සති දෙකකට ආසන්න කාලයක් පමණි. අදාළ නිවේදනය මඟින් ලේකම් වරයා සඳහන් කළේ මෙසේය."මේ වන විට අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත විවිධ තරාතිරම්වල පුද්ගලයින්ගෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් සහ තර්ජන එල්ල වෙමින් පවතින බව කණගාටුවෙන් වුව ද සඳහන් කළ යුතුය. සේවා අවශ්‍යතා මත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගත් තීරණවලදී එකී තීරණ සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත විවිධ බලපෑම් එල්ල කිරීමට උත්සාහ දරා ඇත. මෑතකදී එක්තරා විනිසුරුවරයෙකුට එරෙහිව කොමිෂන් සභාව විසින් විනයානුකූල පියවර ගත් අවස්ථාවේදී ද එකී තීරණය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත විවිධ ආකාරයේ බලපෑම් එල්ල විය."

මෙය ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර ඔහු සහභාගී වූ බොහොමයක් වැඩසටහන් වලදී ප්‍රධාන මාතෘකාව බවට " අධිකරණයේ ස්වාධීනත්වය" පත් විය.  එය ඔහු සතිපතා සිදුකරන කැබිනට් හමුවීම හෝ රටේ මාධ්‍යවල කතුවරුන් රැගෙනවිත් ඔවුන්ට උදෑසන කෑම වේලක් දෙමින් සිදුකරන හමුවීම් වල පමණක් නොව ප්‍රසිද්ධ රැස්වීම් වලදීද  ඔහුගේ වස්තු බීජය විය. " විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය කටයුතු කළ යුත්තේ ජනතා පරමාධිපත්‍යය සුරැකීමට මිස එකිනෙකාගේ බලය රැකීමට නොවන බව ඔහු කිව්වේය. ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීමට හෝ පාගා දැමීමට හෝ කිසිවකුටත් අයිතියක් නොමැති පැවසූ ඔහු රට සංවර්ධනය කිරීමේදී ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කළ යුතු බවත් කීය. තම මෙගා සංවර්ධන ව්‍යපෘති වලට සමාජ සාධාරණීකරණයක් ඇති කිරීම් ඔහුගේ මුලික උපාය විය. ඒ සඳහා බාධාවක් වන සියලුම් ආයතන තමන්ට අවශ්‍ය ආකාරයන් නැටවීම ඔහුගේ අපේක්ෂණය වේ. එය ඔහුට කළ නොහැකිනම් පළමුව තමාද වීෂය කරගනිමින්, පොදු මතය ගෙන තමන්ගේ මීළඟ ඉල්ලකයට එරෙහි නීච මතයක් සමාජය ඉදිරියේ නිර්මාණය කරනු ලබයි. එමඟින් සතුරා මර්ධනය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගැනීම පහසු වේ.

ලේකම් මංජුල තිලකරත්නට පහරදීම තනි සිදුවීමක් නොවේ. මෙය සමස්ත සමාජයේ කඩා වැටීමේ තවත් එක සිදුවීමක් පමණි. එනම් ආණ්ඩුවට සම්බන්ධ අපරාධකරුවන් විසින් සමස්ත සමාජය මර්ධනය කරමින් ගෙන යන වැඩපිළිවෙලයි. විල්ගමුව ග්‍රාම සේවා වසම භාරව කටයුතු කරන තෙන්නකෝන් නැමැත්තා ස්ත්‍රී දුෂකයෙක් බවට පැමිණිලි රාශියක් ලැබී තිබේ. ඔහු මෑතකදී හමුදා ක්‍රියාන්විතයේ යෙදී මියගිය සොල්දාදුවෙකුගේ බිරිඳක් මෙන්ම තිදරු මවක් අපහරණය ලක් කරනු ලැබුවේ ඇය තම සැමියාට අයත් විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අදාළ ග්‍රාම නිලධාරියාගෙන් ලේඛනයක් ඉල්ලීමට ගිය අවස්ථාවේදීය. මෙය සමස්ථ රටේ පවතින රෝගී තත්වයයි. ශ්‍රී ලංකාව වූ කලී රෝගී සමාජයකි. ඊට භෞතික ප්‍රතිකාර පමණක් ලබා දීම ප්‍රමාණවත් නොවේ.

කොටි සංවිධානය සමඟ ආරම්භ කළ යුද්ධය ව්‍යාජයක් ලෙස තබා ගනිමින් රාජ්‍ය ආයතන සියල්ලම තම අවශ්‍යතාවය මත නැටවීමට පාලක ආණ්ඩුව සමත් විය. එසේම අදාළ යුධ ජයග්‍රහණයෙන් පසුව තම නීති විරෝධී කටයුතුවලින් සමාජය මර්ධනය කිරීම සඳහා ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට ආණ්ඩුව සමත් විය. මර්ධනය පොදු පාලන ක්‍රමවේදය පවට පත් වී මංකොල්ලකෑම තම පුද්ගලික අවශ්‍යතාව බවට පත් කරගත්තේය. තම මිලිටරි ආධිපත්‍ය නොමැත්තේ නම් ආණ්ඩුවට සාමාන්‍ය පාලනයක් සහිත බලයක් ගොඩ නැගිය හැකියි ප්‍රකාශ කිරීම පවා  අසීරුය. මිලිටරි ආධිපත්‍ය  වූ කලී ලංකාවේ පාලන ක්‍රමය බවට පත් වී තිබේ. එය සාධාරණීකරණය කිරීම සඳහා පුද්ගලික නිදහස පාගා දමන  අන්තවාදී කල්ලි කිහිපයක් ආණ්ඩුව විසින් ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරනු ලබයි. ඇලෙක්සැන්ඩර් පොප් වරක් සඳහන් කළ ආකාරයෙන්, වැරදි වලින් නිදහස් වීමට නොහැකි නොවටිනා දේවල් වලින් ඈත් වීමටද නොහැකි ආකාරයෙන් ලංකාවේ තත්වය පත් වී තිබේ.