‘‘කුඩු කාරයන්, ගංජා කාරයන් අධිකරණයට ඉදිරිපත් කර මේ ප‍්‍රශ්නයෙන් ගැලවෙන්න හදන්න එපා’’ - මංගල

අධිකරණ සේවා කොමිෂමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පසුගියදා මැර පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන්, ‘එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන අංශ ප‍්‍රධානි’ මංගල සරමවීර මහතා විසින් කොළඹ අද (2012-10-09) පැවැති පුවත්පත් සාකච්ඡාවේදී දැක් වූ අදහස්. එය කිසිදු සංශෝධනයකින් තොරව සම්පූර්ණයෙන් පහත පළවේ.

‘‘කුඩු කාරයන්, ගංජා කාරයන් අධිකරණයට ඉදිරිපත් කර මේ ප‍්‍රශ්නයෙන් ගැලවෙන්න හදන්න එපා’’ - මංගල


ඊයේ (08) උදේ අලූත් කඬේදී නීතීඥවරු සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක් පවත්වමින් ‘‘අධිකරණයේ මලගම’’ යනුවෙන් නම් කර තිබූ මිනි පෙට්ටියකට ගිනි තැබීමෙන්, අද අපේ රටේ අධිකරණය මුහුණ පා ඇති බලවත් තර්ජනය සංකේතවත් කරන ලදී.

කාලයක් තිස්සේ අධිකරණයේ ස්වාධීන්වයට එරෙහිව රාජපක්‍ෂ රජය විසින් ගෙන ගිය අප‍්‍රකාශිත යුද්ධය ප‍්‍රකාශිත මෙහෙයුමක් බවට පත් වී ඇත්තේ, ඉරිදා (07 වැනිදා) උදේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට නාඳුනන මැර පිරිසක් විසින් කරන ලද ඝාතන උත්සාහයත් සමගය.

තිලකරත්න මහතා එම ප‍්‍රහාරකයන් ඉදිරියේ හඬනඟා කෑ ගැසුවේ නැත්නම්, අවිආයුධ සමග පැමිණි එම මැර කණ්ඩායම විසින් ඔහු පැහැරගෙන ඝාතනයට කිරීමට උපදෙස් ලැබී තිබුණු බවට අපට තොරතුරු ලැබී තිබේ.

විශේෂයෙන්ම, මේ ප‍්‍රදේශය (ගල්කිස්ස-රත්මලාන) තුළම මීට වසර 03 කට ප‍්‍රථම ලසන්ත වික‍්‍රමතුංග මහතාව නාඳුනන පිරිසක් විසින් මහදවාලේ අධි ආරක්‍ෂක කලාපයකදී ඝාතනය කරපු ආකාරය මේ අවස්ථාවේදී අපි සිහිපත් කළ යුතුය. එදා ලසන්ත වික‍්‍රමතුංග මහතා රාජපක්‍ෂ රජය විසින් ජනමාධ්‍ය මෙල්ල කර ගැනීමට දියත් කර තිබූ මෙහෙයුමට බාධකයක් වූ ආකාරයටම, අද මේ රටේ අධිකරණයට එරෙහිව ගෙන යන ‘සීතල යුද්ධයේදී’ අධිකරණ සේවා කොමිෂමේ ලේකම් තිලකරත්න මහතාද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නිර්භයව නැඟී සිටීම රජයට බාධකයක්ව තිබුණි.

රාජපක්‍ෂ පාලනයේ ඒකාධිපති සිහිනය සැබෑ කරවීමේ වැඩ පිළිවෙලට අද ඉතුරු වී තියෙන එකම බාධකය අප රටේ ස්වාධීන අධිකරණයයි. මුදල් බලයෙන් සහ භීෂණයෙන් එක්රැුස් කර ගත් තුනෙන් දෙකේ බලය හරහා අද අප පාර්ලිමේන්තුව රාජපක්‍ෂලාට අත උස්සන ‘සිග්නල් කණු’ බහුතරයක් සිටින නිල මුද්‍රාවක් බවට පත් කරගෙන ඇත. රාජ්‍ය සේවය සහ පොලිසිය 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව රාජපක්‍ෂ පවුලේ කුලී සේවයක තත්ත්වයකට පත් කර ඇත.

එපමණක් නොව, රාජ්‍ය භීෂණය නිසාම අද මේ රටේ සියලූම ජනමාධ්‍යයන් රාජපක්‍ෂ න්‍යාය පත‍්‍රයට හීලෑ වූ, රාජපක්‍ෂලාට එරෙහි සියලූ තොරතුරු ස්වයංවාරණයට ලක් කර ගන්නා ආයතන බවට පත් වී ඇත. 18 වැනි සංශෝධනයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් පත් කිරීමේ බලයද, අගවිනිසුරුවරයා පත් කිරීමේ බලයද ජනාධිපතිවරයා විසින් උදුරා ගත්තායින් පසුව අධිකරණයද රාජපක්‍ෂ න්‍යාය පත‍්‍රයට හීලෑ වූ ආයතනයක් බවට පත් කළ හැකි බවට රජය සිතුවත්, එය ඒ ආකාරයට කර ගැනීමට බැරිවීම මේ වර්තමාන තත්ත්වයට හේතු සාධක වී ඇත.

රටේ වාසනාවකට තනතුරු තානාන්තරවලට තමන්ගේ හෘද සාක්‍ෂිය පාවා නොදෙන පිරිසක් අධිකරණය භාරව සිටීම ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හැටියට අප සියලූදෙනාමට ආඩම්බර විය හැකි කරුණකි. දිනෙන් දින එල්ල වූ බරපතල බලපෑම් උඩ තිලකරත්න මහතාට පසුගිය 18 වැනිදා අධිකරණයට එල්ල වී ඇති බරපතල බලපෑම් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක්ද කිරීමට සිදුවිය.

එපමණක් නොව, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනාට ජීවිත තර්ජන තියෙන බවටද එතුමා විසින් හෙළිදරව් කරන ලදී.

ඒ අවස්ථාවේදීද ඔහුටත් තර්ජනයට ලක් වී ඇති අනෙකුත් පුද්ගලයන්ටත් අවශ්‍ය ආරක්‍ෂාව සපයනවා වෙනුවට අධිකරණ සේවා කොමිෂමේ සාමාජිකයන්ට රාජ්‍ය මාධ්‍ය විසින් මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සේවයේ අසික්කිත සභාපතිවරයා අධිකරණයට ඉතා පහත් අන්දමින් පහරදුන් ආකාරය මෙහි එක් නිදසුනකි. එපමණක් නොව, ඩලස් අලහප්පෙරුමගේ සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන අයගේ නිෂ්පාදනයක් යැයි කියන ‘ශී‍්‍ර ලංකා ලීක්ස්’ වෙබ් අඩවියේද තිලකරත්න මහතාට ඉතාමත් නින්දිත ලෙස පහරදී තිබුණි.

මේ මඩ ගැසීම්වලින් අනතුරුව එක් අවස්ථාවකදී ජනාධිපතිවරයා විසින්ම මෙම ලේකම්වරයා සම්බන්ධයෙන් මාධ්‍ය ප‍්‍රධානී හමුවකදී විවිධ චෝදනා එල්ල කර ඇත.

ඉරිදා අධිකරණ සේවා කොමිෂමේ ලේකම්ට සිදු වූ මැර ප‍්‍රහාරය නැත්නම් ඝාතන උත්සාහය එතුමාට විරුද්ධව කරන ලද ප‍්‍රහාරයක් පමණක් නොව, අධිකරණයට එල්ල වූ බරපතළ ප‍්‍රහාරයක් බවත්, ප‍්‍රජාතන්ත‍්‍රයට එරෙහිව රාජපක්‍ෂ පාලනය විසින් එල්ල කරන ලද මහා ප‍්‍රහාරයක් බවත් අපි වටහා ගත යුතුයි.

තිලකරත්න මහතාට එල්ල කරන ලද ප‍්‍රහාරය ඉතාමත්ම සංවිධානාත්මක ලෙස එල්ල කරන ලද ප‍්‍රහාරයක් බව ඉතාමත්ම පැහැදිලි වන අතර, මේ නාදුනන පිරිස් ඔහුගේ නිවසේ සිටම ඔහුව ලූහුබැඳ තිබෙන බවට තොරතුරු ලැබී ඇත. තිලකරත්න මහතාගේ දුරකතනයද පැහැරගෙන ඇත්තේ පූර්ව සැලැස්මක් අනුව බවත්, ඉදිරියේදී එම දුරකතනය ‘කුඩු කාරයෙකු - ගංජා කාරයෙකු’ ළඟ තිබිලා ලබා ගත් මුවාවෙන් එවැනි කෙනෙක් අධිකරණයට ඉදිරිපත් කර මෙම සිද්ධිය යට ගැනීමට අදාළ අංශ සූදානම් වන බවටද අපට දැන ගන්නට ලැබී ඇත.

කොළඹ කටුගෙදර ඇති වූ මංකොල්ලය යට ගැසීමටද රජය පාවිච්චි කළේ මෙවැනි උපක‍්‍රමයකි. එම නිසා ‘කුඩු කාරයන් - ගංජා කාරයන්’ ඉදිරිපත් කර මේ ප‍්‍රශ්ණයෙන් ගැලවෙන්න උත්සාහ කරන්න එපා අපි පොලිසියට අවවාද කරනවා. ඉහළින් මොන මොන බලපෑම් ආවත් තිලකරත්න මහතා වැනි අය ආදර්ශයට රැගෙන තමන්ගේ හෘද සාක්‍ෂිය අනුව මෙම පරීක්‍ෂණය නිවැරදිව, ස්වාධීනව කි‍්‍රයාත්මක කරන්නැයි කියලා මම පොලිස්පතිවරයාට කියනවා.

මේ ප‍්‍රහාරයට පිටුපස මේ රජයේ ඉහළම අය ඉන්න බවට මම චෝදනා කරනවා. පසුගිය වසර කිහිපය තුළදී මේ රට තුළම ‘සුදු වෑන් කල්ලි’ කි‍්‍රයාත්මක කරමින් සියදහස් ගණනාවක් පුද්ගලයන් අතුරුදහන් කරවීමේ වගකීම් දරන කණ්ඩායමක් විසින්ම මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වූ මැර ප‍්‍රහාරය පිටුපස සිටින බවට මම චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයාගෙන්, ඒ වගේම ආරක්‍ෂක අමාත්‍යංශයේ හෙන්දාවිතාරණ නමැත්තාගෙන්, ඒ වගේම පොලිසියේ සිටින අනුර සේනානායක වැනි අයගෙන් වැඩි විස්තර ලබාගන්නට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

එනිසා, එක්සත් ජාතික පක්‍ෂය වශයෙන් අපි මේ සිද්ධිය යටපත් නොකර නිවැරදි, අපක්‍ෂපාතී විමර්ශනයක් කරන ලෙසට බල කර සිටිනවා.