යුක්තිය කර්තෘ ක්‍රිශාන්තගේ ජිවිතයට තර්ජනයක්!

යුක්තිය වෙබ් අඩවියේ කර්තෘ ක්‍රිශාන්ත රාජපක්ෂ මහතා නවාතැන් ගෙන සිටි නිවසට කඩා වැදුන නාදුනන තිදෙනෙකු, ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී, නිවෙස් හිමියා පැමිණීමත් සමග පලාගොස් ඇත.

ක්‍රිශාන්ත මහතා අද ( Oct 2)  දහවල් 1.30 ට පමණ තම බෝඩිම් කාමරයට වී ලියමනක් සකසමින් සිටියදි, හිටි හැටියේම එම කාමරය ඉදිරියට පුද්ගලයන් තුන්දෙනෙකු පැමිණ ඇත.

ඔවුන් කවුදැයි විමසු විට, තමන් පොලිසියේ බවත් කාමරය පරික්ෂා කිරීමට අවශ්‍ය බවත් ඔවුන් පවසා තිබේ.

ක්‍රිශාන්ත මහතා එයට විරුද්ධත්වය පල කර ඇති අතර, ඔවුන් ඉන්පසු හැදුනුම්පතක් ඇද තමුන් පොලීසියෙන් බව පවසා ඇත.

එය පරීක්ෂාකිරීමට ඉල්ලා සිටි නමුත් ඔවුන් එය ක්‍රිශාන්තගේ අතට ලබාදී නොමැත. ඉන්පසුව තවත් ලියමනක් ඈද තමන්ට ඕනෑම වේලාවක ඕනෑම තැනක් පරීක්ෂාකිරීමට බලය ඈති බව ඔවුන් පවසා තිබේ.

එම ලියමන ඉංග‍්‍රීසි භාෂාවෙන් වූවක් වන අතර එහි ශ‍්‍රී ලංකා පොලීස් ලංඡනයක් සහ ත‍්‍රස්ත විරෝධී පනත යන්න පමණක් පැහැදිලිව දිස්වි ඇත.

අනතුරුව කාමරයට කඩාවදී ඇති එම තිදෙනා, ක්‍රිශාන්ත මහතාට පුටුවේ ඉදගන්නා ලෙස නියෝග කර තිබේ.

කාමරයට පැමිණ තිදෙනාගෙන් එක් අයෙක් තැබිලි පැහැති කොලර් සහිත ටීෂර්ට එකක් සහ කළු කලිසමක්ද, දෙවැනි පුද්ගලයා සුදු පැහිත කොලර් සහිත කමිසයක් සහ කළු කමිසයක් ද අනෙක් පුද්ගලයා තද නිල් පැහැති ටීෂර් එකක් සහ ඩෙනිම් කලිසමක් ඈද සිට ඇත.

අනතුරුව ඔවුන් කාමරයේ වූ පොත් පත් සියල්ල අවුස්සා ඇති අතර, උතුර සමග තිබෙන සම්බන්ධතා මොනවාද යන්න දිගින් දිගටම විමසා තිබේ.

උතුර සමග විශේෂ සම්බන්ධතා කිසිවක් නොමැති බව ක්‍රිශාන්ත මහතා එහිදී පවසා ඇත.

තමිල්නාඩුව සමග සම්බන්ධතා පවතීදැයි අනතුරුව විමසා ඇති අතර, තමාට එවැනි සම්බන්ධතා කිසිවක් නොමැති බව ක්‍රිශාන්ත අවධාරණය කර ඇත.

සාක්කුවේ වූ කොළයක් අතට ගත් එක පුද්ගලයකු මීනා කණ්දසාමි නමැත්තිය හදුනනවාදැයි විමසා ඇති අතර, තමා එවැනි අයකු නොහදුනන බව ක්‍රිශාන්ත පවසා ඇත.

අනතුරුව, අසල තිබු ලැප් ටොප් පරිඝනකය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව ඔවුන් තිදෙනා දැඩිව පවසා ඇති අතර ක්‍රිශාන්ත එයට එරෙහිවී තිබේ. නමුත් එහි රහස් වදන ටයිප් කරනා ලෙස ඔවුන් තර්ජනය කර ඇත.

ඒ අතරතුරදී ක්‍රිශාන්ත නැවතී සිටින නිවෙසේ හිමිකරු සිය වාහනයෙන් නිවසේ ගෙමිදුලට පැමිණ ඇත.

ගේට්ටුව ඇරෙන හඩින් සහ වාහනයේ හඩින් කළබලවූ නාදුනන තිදෙනා වාහනයේ පැමිණි නිවසේ හිමිකරු පසුපස දෙරෙන් නිවසට ඈතූළුවනවාත් සමගම කාමරයෙන් පිටව පලා ගොස් ඇත.

ක්‍රිශාන්ත රාජපක්ෂ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.