මේවා සහගහන අපරාධ වේ


l අමිල ගුණරත්න

ලංකාවේ වැඩ සිදුවන්නේ ස්ටාලින්ගේ කාලයේ මෙනි. රාජ්‍ය තන්ත්‍රය විසින් අපරාධ කරන අතර ඒ සඳහා කොහෙවත් සිටින අහිංසක මිනිසෙකු අත්අඩංගුවට ගනියි. පොලිස් යාන්ත්‍රනය ඔහුට එරෙහිව බොරු සාක්ෂි ගොනු කරයි. ඉන්පසු එම අසරණ මිනිසා වරදකරුවෙකු කොට විනාශ කොට දමයි. මේ කැත සිදුවීම් අපගේ ඇස්පනාපිට සිදුවෙමින් පවතියි. 

 2012 මාර්තු 17 අධි ආරක්ෂිත කලාපයයේ පිහිටා තිබෙන කෞතුකාගාරයේ අසිපත් ඇතුළු භාණ්ඩ සොරකමක් සිදු විය. මාර්තු 17 සෙනසුරාදා පාන්දර 1.30ට පමණ කටුගෙය අසල සැක සහිත සිදුවීමක් කලාභවනේ ආරක්‍ෂක ස්‌ථාන භාර නිලධාරියා වූ ස්ටැන්ලි ලියනගේ දුටුවේය. ඔහු දුටු පරිදි කුරුඳුවත්ත පොලිසියේ හදිසි ඇමතුම් කාරය කෞතුකාගාරයේ දොරකඩට පැමිණ ඇත. එහි සිටි එක් අයෙක් කාරයට හේත්තු වී සිට ඇති අතර තවත් අයෙක් කෞතුකාගාරය දෙසින් පැමිණ එම පොලිස් වාහනයට ගොඩ විය. ඉන්පසු සුළු මොහොතකින් වාහනය පිටත්ව යන ලදී. මෙම සැක සහිත සිදුවීම දුටු ස්ටැන්ලි එය වාර්තා කළේය. සාක්ෂිකාරයාගේ සාක්ෂිය විමර්ෂණය කරනවා වෙනුවට ඔහුව පැහැරගෙන ගොස් දින 20 රඳවාගෙන කෞතුකාගාරයේ නැතිවූ කඩු ගත්තේ ඔහු බවට පිලිගන්නා ලෙසට පහර දී තිබේ. මේ වන විට ඔහු අස්‌ථි බිඳුම්, ස්‌නායු ආබාධ ඇතිව බරපතළ තත්ත්වයෙන් මහනුවර රෝහලේ 17 වන වාට්‌ටුවේ ප්‍රතිකාර ලබයි. ඔහු කල වරද නම් කෞතුකාගාරයේ සොරකම වූ දින සිදුවූ අමුතු සිද්ධිය ගැන හෙළි කිරීමයි. සති 2 න් හොරු අල්ලනවායැයි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කීවද තවමත් නියම හොරු අල්ලා නැත. අල්ලාගෙන ඇත්තේ වැදගත් සාක්ෂිකාරයෙකි. සාක්ෂිය ගැන සොයාබැලීම වෙනුවට සාක්ෂිය යටපත් කිරීම සඳහා අසරණයාට පහර දී ඔහුව හොරෙකු කිරිමටත් තැත් කොට තිබේ. මේවා පසුපස කවර තරාතිරමක දේශපාලකයන් , පොලිස් නිලධාරීන් සිටිනවාද අප දන්නේ නැත. නමුත් එකක් අපට සහතික කල හැක. නිරපරාදේ අහිංසක මිනිසුන්ට ගිනි දෙන වධකයන්ට හා ඔවුන්ව මෙහෙයවන බලවන්තයන්ට මේ අපරාධ වලට කවදා හෝ දිනෙක ප්‍රති විපාක ලැබෙනු ඇත. මීටත් වඩා බලය තේජස පතුරුවාගෙන අහිංසකයන් තලා පෙලා ක්‍රියා කල ලොක්කන් අවසානයේදී මිය ගියේ තමන් කල අපරාධ ගැන සිතින් විඳවමිනි. මේ අහිංසක මිනිසාට කල අපරාධයෙන් ඔබලාට බේරුමක් නැත. ගොනා පසුපස එන කරත්තය මෙන් එහි විපාක ඔබලා පසුපස එනු ඇත.