‘රුවන් ෆර්ඩිනැන්ඩස් සැකකරුවෙක් නොවෙයි’

රජයට හා ජනාධිපතිවරයාට එරෙහිව අසත්‍ය තොරතුරු හා මහජනතාව නොමග යවන ලෙස රාජ්‍ය විරෝධී ක‍්‍රියා සිදුකළේ යැයි ශී‍්‍ර ලංකා මිරර් හා ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවි 02 කට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා සැකකරුවෙකු ලෙස අවශ්‍ය නොවන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (06) අධිකරණයට දන්වා සිටියේය.

රහස් පොලිසියේ පරිගනක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් සේනාරත්න මහතා හා රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක අනුර ද සිල්වා මහතා මේ බව නිලවශයෙන් අධිකරණයට දන්වා සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ශී‍්‍ර ලංකා මිරර් කාර්යාල ගොඩනැගිල්ල වටලා එම වෙබ් අඩවියේ කර්තෘ ඇතුළු සත්දෙනකු හා ශී‍්‍ර ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔවුන් මේ බව කියා සිටියේය.

ෆර්ඩිනැඩස් මහතා නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වී සිටිය අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාට ලබන 16 වැනිදා රහස් පොලිසියට ප‍්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන ලෙසද නියෝග කළේය.

ෆර්ඩිනැන්ඩස් මහතාට නීතීඥයකු සමග ගොස් අදාළ ප‍්‍රකාශය ලබාදිය හැකි බවත්, ඔහුගේ මූලික අයිතීන් කඩ නොවන ආකාරයට අදාළ ප‍්‍රකාශය ලබා ගන්නා ලෙසත් මහේස්ත‍්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ විත්තිකරුවන්ට එල්ලකර ඇති එක් චෝදනාවක් වන අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රතිරූපය හා රාජකීය මහිමය කෙළෙසීම යන චෝදනාව ශී‍්‍ර ලංකාව ජන රජයක්වීමෙන් පසුව බල නොපවත්වන බවයි.

මෙම විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ උපුල් කුමාරප්පෙරුම, මංජුල පතිරාජ හා දිනේෂ් දොඩංගොඩ ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදාහැර සිටින මිරර් කර්තෘ කැළුම් ශිවන්ත ඇතුළු සැකකරුවන් 08 දෙනා අද අධිකරණය හමුවෙහි පෙනී සිටි අතර සිද්ධියට අදාළ නඩුව ජූලි 20 වැනිදා යළි කැඳවීමට නියම විය.

ශී‍්‍ර ලංකාමිරර් වෙබ් අඩවියේ අටදෙනා වෙනුවෙන් ලබන 20 වැනිදා ලිඛිත දේශන ඉදිරිත් කිරීමට නියමිතය. ඔවුහු දැනට ඇප මත සිටිති.