තානාපති කාර්යාල වලදී විකිණෙන අපේ ළඳුන්




අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ගෙනෙන සේවාවන් අතර විදෙස් ශ‍්‍රමික සේවයට ලැබෙන්නේ මූලිකස්ථානයකි. මැදපෙරදිග ගෘහ සේවය අපට ගෙනෙන විදේශ විනිමය සෙසු රටවල් හා සංසන්දනය කිරීමේ දී එය ඉතා විශාල අගයක පවතී.

රටේ ජීවනාලිය බඳු කාන්තාව මැදපෙරදිග කදුළු මතින් ගෙනෙන විනිමයට කණකොකා හැඞීමට පටන් ගෙනඇති බව අපට දැන් නිතර නිතර මාධ්‍යමගින් දැනගන්නට ලැබෙන සුලභ පුවතකි. ගෘහ සේවිකාවන්ගෙන් බහුතරය මැදපෙරදිග රටවලට යන අතර ඔවුන් එහිදී අනේක දුක් ගැහැටයන්ට මුහුණදෙති.

එසේ අපේ අහිංසක ගෘහසේවිකාවන්ට ඔවුන්ගේ හාම්පුතුන් ගේ කරදර හා පීඩාවලට ලක් වීම සාමාන්‍ය දෙයක් වන අතර එසේ අවාසනාවන්ත දුක් ගැහැටවලට ලක්ව කාත්කවුරුවත් නැති වැලිකතරේ සරණක් සොයා තානාපති කාර්යාල වලට පැමිණෙන කාන්තාවන්ට කබලෙන් ලිපටවැටීමට සිදුවී ඇති බව නොරහසකි. එසේ අසරණව පැමිණෙන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් හා වෙනත් කටයුතු වලට යොදා ගැනීමට තානාපති කාර්යාල වල නිලධාරී හුපුරුදුව සිටිති.

සෞදිඅරාබිය, බහරේනය, ජෝර්දානය, කුවේට් යන රටවල පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල මේ අතර ප‍්‍රමුඛවේ. මෙහිඇතිශෝචනීය තත්ත්වය වන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වෙනුවෙන් වෙනම ම අමාත්‍යාංශයක් හා විෂය බාර ඇමතිවරයෙක් පත්කර සිටිය ද මේ කටයුතු වලට එම වගකිව යුත්තන්ගේ අනුග‍්‍රහය ද ලැබීමයි.

අදවනවිට රැදවුම් නිවාස (Safe house) සංකල්පය මැදපෙරදිග තානාපති කාර්යාල වලට හා එහි නිලධාරීන් හට ක්ෂේමභූමියක් වී ඇති බවට එම රටවල සිටින බොහෝ අය දන්නා රහසකි. මුස්ලිම් ජාතික ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන් හරහා බොහෝ ගනුදෙනුසිදු වන අතර තානාපතිවරුගෙන් ද ඔවුන්හට ලැබෙන්නේ රුකුලක් බව නොකිවමනාය. අදවන විටවිවිධ කරදරවලට ලක්ව සෞදිඅරාබියේ තානාපති කාර්යාලය වෙත සරණක් සොයා 300 ක් ද කුවේට් තානාපති කාර්යාලය වෙත 400 ක් ද පැමිණ සිටින අතර මේ ගණන දිනෙන් දිනම වැඩි වෙනු මිස අඩුවීමක් නැත. මොවුන් අතර සිටින සුරූපී ළඳුන් තානාපති කාර්යාල වල නිලධාරී වෙස්ගෙන සිටින කාමාතුරයන් ගේ පවස නිවා ගැනීමට යොදා ගනී.

නොබෝදා සෞදිඅරාබියේ සිටි මෙරටට පැමිණි කාන්තාවන්ගෙන් බොහෝදෙනා මෙසේ අපහසුතාවට හා පීඩාවට පත් වෙද්දී තානාපතිතුමා සිටියේ මර නින්දේය. එසේම ජෙද්දා හි පිහිටි කොන්සියුලර් කාර්යාලයේ සිටින නිලධාරීහු ද එයට පැමිණෙන අසරණ කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන බවට පැමිණිලි ලැබී ඇති අතර මොවුන් මෙම කාන්තාවන් ගේ අසරණකමින් ප‍්‍රයෝජන ගත්ත ද මේ අකටයුතුකම් වලට නිසිදඬුවම් ලබාදීම අසීරු කටයුත්තක් බව ද අද වන විට සනාථ වී ඇත.

මේ තත්ත්වය ඉතාම බරපතල විදිහට සිදුවන තවත් රටක් ලෙස බහරේනය හඳුනාගැනීමට හැකිය. ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක් හෝ කොන්සියුලර් කාර්යාලයක්වත් නොමැති බහරේනයේ සිටින තිස්ස හික් ගොඩ නමැති නිලධාරියා ජනපති බලතල පෙන්වමින් ලිංගික අල්ලස් ලබාගනිමින් සිටින බව හෙළිකල යුතුම කාරණයකි. ගමන්බලපත‍්‍ර අලූත් කරදීම වැනි සියලූම කාර්යන් සඳහා කාන්තාවන්ට තම නිවසටපැමිණෙන්නැයි මොහු කියන බව වාර්තා වේ. මොහු ලිංගික මෙන්ම මුදලින් අල්ලස් ද ලබාගන්නා බව වාර්තා වන අතර කුවේට් තානාපතිතුමා යටතේ පාලනයවන බහරේනයේ කොන්සියුලර් අංශයේ සිදුවන මේ ක‍්‍රියාදාමයන් සඳහා තානාපතිතුමාගේ ආශිර්වාදය හා අනුග‍්‍රහය ද නොඅඩුව ම ලැබෙනබව ද සඳහන්වේ.

එසේම කුවේට් තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ද මෙසේ ලිංගික අල්ලස් ලබාගන්නා ප‍්‍රමුඛ පෙළේ නිලධාරියෙක් ලෙස සඳහන්වන අතර ඔහු පිළිබඳව කීපවරක්ම තානාපතිතුමා හට පැමිණි ලැබී ඇති අතර ඒවාට අදවනතුරු ම කිසිදු දඬුවමක් ලැබී නැති බව ද සඳහන් කිරීම වටී. ඔහු තම වැඩමුරය නිමකර රාත‍්‍රියවනතුරු කාර්යාලයට වී සිට අපේ අහිංසක ළඳුන්ගේ පහස ලබන්නට මග බලාසිටින බව එම තානාපති කාර්යාලයේ සිටින කවුරුත් දන්නා සත්‍යයකි. ඩුබායි කොන්සියුලර් අංශයේ සිටින පළමු ලේකම්වරයා ද මේ ගොඩටම වැටෙන තවත් අයෙක් බව වාර්තා වේ.

තත්ත්වය මෙසේ තිබිය දී තානාපතිවරු හා අදාළ බලධාරීහු මේ අකටයුතුකම්වලට නොමඳ අනුග‍්‍රහය ලබාදෙන අතර මෙම ක‍්‍රියාවන්ට එරෙහි නිලධාරීන්ගේ අත්පා ගැට ගසන්නට වෙහෙසෙන බව නොරහසකි. මැදපෙරදිග විකාශයවන නාළිකාවක් හරහා සිදුකෙරුණු මෙම අනාවරණය කිරීම් හරහා අපහසුතාවන්ට පත්වූ තානාපතිවරු හා වගකිවයුතු මැතිඇමතිවරු එයට තර්ජනාත්මක ලිපි යවා ඇතිබව ද සඳහන්වේ.

මාධ්‍ය හරහා තම මැරබලය හා නිල බලය අනිසි ලෙස යොදා ගනිමින් තමන්ට ලැබෙන වරප‍්‍රසාද නොඅඩුව ලබාගනිමින් මෙලෙස අශෝබනලෙස මැදපෙරදිග තානාපතිවරු වැඩකටයුතු කරද්දී ශ‍්‍රී ලංකාරජය මේ පිළිඳව අනුගමනය කරන පිළිවෙත දසදහස් සංඛ්‍යාත විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් බලා සිටී.

  තානාපති සේවය පිළිබඳ ව වගකිවයුතු නිලධාරීන්, මැති ඇමතිවරුන් හා අධීක්ෂණ මන්ත‍්‍රීවරුන් මර නින්දේ සිටින විට අපේ අහිංසක ගෘහසේවිකාවන්ට කාගේ නම් සරණක් ද?


‘‘මැදපෙරදිග අපි’’