ගුණරත්නම්ගේ අතුරුදහන් වීම


| අමිල ගුණරත්න

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ කුමාර් ගුණරත්නම් පැහැරගෙන ගොස් ඇති බව පක්ෂයේ ක්‍රියාධාරීහු පවසති. මෙය කිසියම් කල්ලියක් සිදු කලාද, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව වෙනුවෙන් ප්‍රසිද්ධිය සඳහා තමන් විසින්ම් මෙවැනි කතාවක් නිර්මාණය කලේද යන්න අප තවමත් දන්නේ නැත. නමුත් මෙවැනි පැහැරගැනීමක් සැබවින්ම සිදු වුයේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට තර්ජනයකි. ශ්‍රී ලංකාව කාලකන්නි මරණයේ සහ ඝාතක ලේ ගලාගෙන යන දේශයක් කිරීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලක පක්ෂ මෙන්ම කුමාර් ගුණරත්නම්ලා වැනි රැඩිකල් වියාපාරද එකසේ දායක වී තිබේ. භීෂණ සමයේදී ප්‍රේමදාස ආණ්ඩුව සමග ගුණරත්නම්ලාද තරඟයට මිනි මැරූහ. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන විමල් විරවංශලා, ටිල්වින්ලා අතේද ලේ තැවරී තිබේ. නමුත් නාමිකව හෝ මොවුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වී සිටීම අප විසින් අගය කල යුතුය.

කුමාර් ගුණරත්නම් ගේ අතුරුදහන්වීම ගැන ඔහුගේ මව මෙසේ මෙසේ පැවසූ බව පුවත්පත් වාර්තා කරයි.
" අසූ නවයේදී මගේ ලොකු පුතා රංජිත් ගුණරත්නම් වත් පැහැරගෙන ගියේ මේ ආකාරයටමයි. කොතරම් කලක්‌ ලොකු පුතා ජීවත්ව සිටියාද කියා දන්නේ නැහැ. කොයි වෙලාවේ හරි එයා හමුවේවි කියලා හිතා හිටියා. ඒත් අද දක්‌වාම ලොකු පුතා ආවේ නැහැ. මට ඉතිරිවෙලා හිටිය එකම පුතාවත් දැන් ඒ විදිහටම අරගෙන ගිහින්. ඒ දරුවටත් ලොකු පුතාට වූ දේම වේවි කියලා බයයි. අම්මා කෙනෙක්‌ගේ වේදනාව හැම කෙනෙක්‌ම දන්නවා. මට මගේ දරුවාව බලන්න ඉඩ දෙන්න කියලා ඉල්ලනවා."

දරුවෙකු නිසා මවකට දැනෙන වේදනාව බලන්න. 88 /89 කාලයේ හුදු එක්සත් ජාතික පාක්ෂිකයන් වීම, ආණ්ඩුවේ බස් එළවීම, ලේක්හවුස් පත්‍ර විකිණීම, දුම් පානය කිරීම වැනි ක්‍රියා නිසාද ගුණරත්නම්ලා මව්වරුන්ට දරුවන් අහිමි කළහ. අද දිනයේ ගුණරත්නම් මාතාවට දැනෙන වේදනාව එදා ඔවුනටද දැනෙන්නට ඇති. මේ නිසා කුමන පක්ෂයක් , කුමන දේශපාලන වියාපාරයක් ඝාතන සහ අතුරුදහන් කිරීම් කරන්නේ නම් ජනතාවක් ලෙස අප විරුද්ධ විය යුතුය. දැන්වත් මේ කාලකන්නි ඝාතක දේශය ශිෂ්ඨාචාරය වෙත ගෙනයාමට අප සියලුදෙනා උත්සහ කල යුතුය.