චීනය : මැක් ඩොනල්ඩ් කෑමට පෙර සිතා බලන්න


l කිෂානි වැලිවිටිගොඩ
 
මෙම වර්ෂයේ ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය යෙදී තිබුනේ මාර්තු 15 වන දිනටය. එහෙත් පාරිභෝගිකයන්ට සිදු වූ අසාධාරණයක් පිළිබඳව චීනයෙන් වාර්තා වේ. එනම් පාරිභෝගිකයන් හට කල් ඉකුත් වූ ආහාර අළෙවි කිරීම සම්බන්ධයෙන් චීනයේ බිජිං නුවර පිහිටි මැක්ඩොනල්ඩ් අවන්හල වෙත චෝදනා එල්ල වී ඇති බවට විදෙස් පුවත් ඒජෙන්සි වාර්තා කරයි.

කුකුල් මස් සහිත ආහාර පිළියෙළ කළ පසු එම ආහාර මිනිත්තු 90 ක් ගත වූ පසු පාරිභෝගිකයන් වෙත අළෙවි කර තිබේ. එය ආයතනයේ නීති වලට පටහැනි ක්‍රියාවකි. තවද ඉවත දමන ආහාර නැවත භාවිතයට ගැනීම හේතුවෙන් ආහාර වල සනීපාරක්ෂක නීති රෙගුලාසි කඩ කිරීම සම්බන්ධවද මෙම අවන්හල වෙත චෝදනා එල්ල වී තිබේ. එම අවන්හලට අනුබද්ධව සේවය කරන සේවකයන් විසින් ඇතැම් ආහාර ආවරණය කර තිබෙන ආවරණයේ යොදා තිබෙන කල් ඉකුත් වන දිනය ඔවුන් විසින් ඉදිරි දින සඳහන් කර එම තොරතුරු වෙනස් කර ඇති බවට චීනයේ රුපවාහිනි නාලිකාවක් විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණ පවත්වාගෙන යන අතර බිජිං නුවර පිහිටි මැක්ඩොනල්ඩ් කාර්ය මණ්ඩලය සිදු වූ වරද සම්බන්ධයෙන් පාරිභෝගිකයන් වෙත කණගාටුව ප්‍රකාශ කර තිබේ.