කුඩ්ඩන්ට ගිය රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැති තනතුර

| අමිල ගුණරත්න

ජෝන් සෙනෙවිරත්න රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරයාය. වසර 20 කට අධික කාලයක සිට ජෝන් සෙනෙවිරත්න මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කරන ගොඩකවෙල ප්‍රාදේශීය සභා මංත්‍රී ධර්මසිරි ලොකුගම්හේවා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාය. ධර්මසිරි ලොකුගම්හේවා කුඩු සහ කසිප්පු ව්‍යාපාරිකයෙකි. ඇමැති ජෝන් සෙනෙවිරත්න ධර්මසිරි ලොකුගම්හේවා ගේ පුතාට වැලිකඩ බන්ධනාගාර සිරකරු සුභසාධන නිලධාරියකු ලෙස රැකියාවක් ලබා දෙයි. ධර්මසිරි ලොකුගම්හේවා ගේ පුතා ද කුඩු බිස්නස් කරන්නෙකි. ඔහු බන්ධනාගාරයේ රැඳවියන්ට කුඩු විකුණයි. ධර්මසිරි ලොකුගම්හේවා ගේ මල්ලී රාජු ජෝන් සෙනෙවිරත්න ගේ දේශපාලන බලයද සහිතව කසිප්පු පෙරීම, ගංජා විකිණීම එළිපිටම කරගෙන ගියේය. අප්පා පුතා සහ බාප්පා ජෝන් සෙනෙවිරත්න ගේ දේශපාලන රැකවරණය ලබමින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ සහ නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදී සිටි බව පොලිසිය නොදැන සිටියත් ප්‍රදේශයේ ජනතාව හොඳින් දැන සිටියේය. හුදු සැකයක් මත මොවුන් කහවත්තේ දී මවක් සහ දියණියක් ඝාතනය කොට දියණිය‍ගේ සිරුර ත්‍රිරෝද රියක වෙනත් තැනකට ප්‍රවාහනය කර සිරුර සෝදා මළසිරුර පවා දුෂණය කිරීමට තරම් තිරිසන් වුහ. මැරයන්ට , අපරාධකාරයන්ට ප්‍රාදේශීය දේශපාලකයන් වීමට අත හිත දී ඉන්පසුව ඔවුන් ගේ කුඩු කසිප්පු බිස්නස් එකට ආරක්ෂාව දී මුදල්ද උපයා ගැනීමට තරම් ලංකාවේ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැති තිරිසනෙකු වීම වර්තමාන මජර දේශපාලනය වටහාගෙන සිටින අපට පුදුමයක් නොවේ. පොලීසිය මෙම මිනීමරුවන් ප්‍රශ්න කිරීම සඳහා හතර වතාවක් අත්අඩංගුවට ගත් නමුත් ඒ සෑම අවස්ථාවකදීම ජෝන් සෙනෙවිරත්න පොලිසියට බලපෑම් කොට පරීක්ෂණ කටයුතු අඩාල කළේය. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම බෙහෙවින් ප්‍රමාද වූයේ මේ නිසාය. මෙම ඝාතනයත් සමගම ඇමතිවරයාගේ සහ ඔහුගේ කුඩු සහ කසිප්පු ව්‍යාපාරික සම්බන්ධීකරණ ලේකම්වරයාගේ රහස් එලියට ඇදෙමින් පවතී. ජෝන් සෙනෙවිරත්න දැන් බබා පාට් දමමින් වසර 20 කට අධික කාලයක සිට හොදින් දන්නා හඳුනන එකට කුඩු කෑ ධර්මසිරි ලොකුගම්හේවා කුඩු සහ කසිප්පු විකුණු බව තමා නොදැන සිටි බව කියයි. නමුත් ඒ කතා විශ්වාස කරන්නේ කොන්ඩේ බැඳපු චීන්නුය. කෙසේ නමුත් මේ අපරාධය එක යථාර්තයක් අපට හෙළි කරයි. එනම් තවත් අවුරුදු කීපයකින් ලංකාව කොලොම්බියාව , මැක්සිකෝව මෙන් කුඩු වලින් ස්වයංපෝෂිත වී දේශපාලකයන් සහ අපරාධකරුවන් විසින් එකට හවුලේ පාලනය කරන ආසියාවේ ආශ්චර්යමත් රටක් වන බවයි.