ඕකිඩ් (උඩවැඩියා ) දේශපාලනය

| නිලන්ත ඉලංගමුව

රාජපක්ෂගේ අන්තවාදය වෙනස් කිරීමට නොහැකිය
- සිංගප්පුරුවේ හිටපු ජනාධිපති ලීක්වාන් යූ

හදවල් ආලෝකයක් නැතුව විසීමක් වැනි තත්වයට ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පත් කොට ඇත. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ පුහු ප්‍රදර්ශනාත්මක සහ අධිපතිකාරී මර්දන දේශපාලනය විසිනි. සිංගප්පුරුව ඔහුගේ දේශපාලනය හරි හැටි කියවා ඇති රටක් ලෙස පෙනේ. සිංගප්පුරුව , චීනය හෝ රුසියාව මෙන් රාජපක්ෂට ආචාර්ය උපාධියක් දීමට නොගියේය. ඔවුහු තීරණය කරනු ලැබුවේ මහින්ද සහ ශිරන්ති නමින් ඕකිඩ් විශේෂයක් නම් කිරීමටය. දේශපානය තුළ මෙය හැදින්විය හැක්කේ කේක් නොමැතිව අයිසින් කිරීමක් හා සමාන තත්වයක් ලෙසය. සිංගප්පූරුව, රාජපක්ෂගේ දේශපාලනය හරි හැටි කියවා ඇති ආකාරය සහ ඊට නිසි ප්‍රතිචාර දක්වන ආකාරය දක්නට ලැබීම අතිශය ආකර්ශනාතමක වන්නා සේම ඉන් ලබා දෙන ආදර්ශයද දැකුම් කළු වේ. ඕකිඩ් වූකලී පරපෝෂිත ශාකයක් නොවන බව ඇත්තය, නමුත් ඕකිඩ් මහා පොළවේ වර්ධනය වීමට පෙර එය තමන්ගේ වාසභූමිය ලෙස තෝරා ගනු ලැබුවේ සරුවට වැඩෙන අනෙකුත් ශාක විශේෂයන්ය. ඒවායේ කඳන්ය. ඕකිඩ් විශේෂ උඩවැඩියා ලෙසින් හැදින්වෙන්නේ මේ නිසාය.

සිංගප්පුරුව ඔහුගේ දේශපාලනය හරි හැටි කියවා ඇති
 රටක් ලෙස  පෙනේ. සිංගප්පුරුව , චීනය හෝ රුසියාව
 මෙන් රාජපක්ෂට ආචාර්ය උපාධියක් දීමට නොගියේය.
 ඔවුහු තීරණය කරනු ලැබුවේ මහින්ද සහ ශිරන්ති නමින්
 ඕකිඩ් විශේෂයක් නම් කිරීමටය. දේශපානය තුළ මෙය
 හැදින්විය හැක්කේ කේක් නොමැතිව අයිසින් කිරීමක්
 හා සමාන තත්වයක් ලෙසය. 
රාජපක්ෂගේ දේශපාලනයද උඩවැඩියා දේශපාලනයකි. එය වෙනත් ගස් වල වැඩි ලෝකයට පෙන්නන ප්‍රදර්ශනාත්මක දේශපාලනයකි. භාවිතය සහ විසිකිරීම එහි මුලික පදනම වී තිබේ. පණ ඇති හෝ නැති යන්නට වඩා ඉන් කොපමණ වාසියක් තමනට ලබා ගත හැකිද; ඉන්පසු අවලංගුවන ලෙස පද්ධතියෙන් ඉවත්කරන්නේ කෙසේද යන්න එහි උපාය වේ. එය තුළ ඇත්තේ තම පවුලේ අභිමතාර්ථයන් මිස වෙනත් පෘතුල අභිලාෂයන් නොවේ. මේ වන විට රාජපක්ෂගේ යටිසිත තුළ තිබෙන එකම සිහිනය තමන්ගෙන් පසු "රජකම" නාමල් රාජපකෂට ලබාදීම මිස වෙන කිසිවක් නොවන බව විය හැකිය. එම අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් ඔහු කළ හැකි උපරිම දහන් ගැට ප්‍රමාණයක් ගසනු ඇත. එහි නීරසම අවස්ථාවේ ඉතා ප්‍රාථමික අවස්ථාවට අපි පැමිණ සිටින්නෙමු. රාජපක්ෂට තව දුරටත් දේශපාලන වෙළඳපොලේ ඊට පෙර විකුණනු ලැබූ භාණ්ඩ විකුණා ගත නොහැකිය. ඒ නිසා රාජපක්ෂ නව මාදිලියක වස්තුබීජ තම මර්ධනය නමැති දේශපාලන ගොවිපලේ මහා ජනතාව උකසට තබා වගා කළ යුත්තේය. ඔහු මෙන්ම ඔහුගේ ඥාතින් මේවන විට කරමින් සිටින්නේ එයයි. බලය ගිලිහෙන දින ලං වන විට ඉකි බිඳ හඬමින් හෝ මහජන අනුකම්පාව දින ගැනීමට ඔහු පසුබට නොවනු ඇත. රාජපක්ෂ සෑම විටම උත්සහ කරනු ලබන්නේ රිලවුන් භියට පත් කිරීම සඳහා කුකුළන් මැරීමේ කටයුත්තයි. ප්‍රථමයෙන් දෙමළ ජනතාව විෂයෙහිලා එය වඩාත් හොඳින් කොටි සංවිධානයේ දුර්වලතා මෙන්ම පොදුවේ ලැබුණ සහයෝගය ප්‍රයෝජනයට ගනිමින් රාජපක්ෂට කරගැනීමට හැකි වූ අතර වර්තමානයේදී එය සිංහල ජනතාව විෂයෙහිලා හැඩරුව වෙනස් කරමින් සිදු කරමින් සිටින්නේය.

සාමකාමී ලෙස උද්ඝෝෂණය දැක් වූ සිවිල් ජනතාවට වෙඩිතබා ඝාතනය කිරීමට ඔහු විසින් අණ දුන්නේය. ඒ අනුව පළමුව කටුනායකදීද දෙවනුව හලාවතදීද අහිංසක පුද්ගලියින් දෙදෙනෙකු ගෝඨාබයගේ මිලිටරිය විසින් ඝාතනය කරනු ලැබීය. ඝාතනය තමනට පාලනය කිරීමට නොහැකි පිරිසක් වෙත හෝ තමන්ගේ අණ නොතකා ක්‍රියා කළ කටයුත්තක් ලෙස හෝ විපක්ෂයේ කුමන්ත්‍රණයක් ලෙස ආණ්ඩුව විසින් හැඳින්විය හැකිය. දකුණු කොරියාවේ ඉතිහාසය තුළ මෙන් ජීවිත පරිත්‍යාග කරනවුන් වීරත්වයට සලකා නිරායුධ මහා ජන බලවේගයක් ගොඩනගා ගැනීම සඳහා අපට තවත් කැපකිරීම් කිරීමට සිදුවනු ඇත. අපේ දුප්පත් කම මෙන්ම ඔවුන් අපේම දරුවන් අතට තුවක්කු ලබාදී අපේ බදුවලින් ඔවුන්ව නඩත්තු කරමින් ඔවුන්ගේ පුද්ගලික කෑදරකම් පිරිමසාගැනීම සඳහා ගෙනයන නින්දිත අරගලය නිමා වන්නේ එවැනි පොදු මහා පරිමාණ නිරායුධ ජන අරගලයක් මඟිනි. එවිට මිලිටරිය ඉහලින් කුමන අණක් ලැබුනත් සත්‍ය මත පදනම් වී කටයුතු කරනු ඇත. ජනතාව සමඟ අත්වැල් බැඳ ගනු ඇත. කටුනායකදී මරා දැමුණු රෝශේන්ගේ රුදියත හලාවතදී මරා දැමුණු වර්ණකුලසූරියගේ රුධිරය මඟිනුත් විවුර්ත කරමින් තිබෙන්නේ එකී වීරත්වයේ සහ කැපකිරීමේ මහා පරිමාණ සාමාජ ප්‍රතිෂන්ස්කරණය දොරටුවයි. මෙම සිදුවීම විෂයෙහිලා අපට බොරු ගොතන රාජපක්ෂ පරිපාලනය ත්‍රිකුණාමලයේදී අහිංසක නිරායුධ ශිෂ්‍යන් විශේෂ කාර්ය බලකාය විසින් මරා දැමූ බව ඇමෙරිකානුවන්ට ප්‍රකාශ කළ ආකාරයෙන්ම රාජපක්ෂගේම පවුලේ ඇමෙරිකානු පුරවැසියෙක් හෝ පුරවැසිකමට අරඅදින්නෙක් සෑම් මාමා ( uncle Saam ) වෙත රපෝර්තු කොට තමන්ගේ පැවැත්ම තහවුරු කරනු ඇත. එය රාජපක්ෂගේ පොදු මනෝභාවකි. එය මීට කාලෙකට පෙර එනම් නැගෙනහිර පාළතෙන් මාවිල් ආරූ සොරොව්ව කොටි සංවිධානය විසින් වසා දැමීම කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ යුද්ධය පිළිබඳව අදහස් දැක්වීමට රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ ආරක්ෂක ලේකම්වරයාද ඔප්පු කළේය. ඔහු එහිදී කියා සිටියේ යුද්ධේ පැරදුණත් තමන්ට කිසි ප්‍රශ්නයක් නොමැති බවත් තමන්ට ඇමෙරිකාවට හෝ යා හැකි බවත්ය. මේ සියල්ල තුළින් රාජපක්ෂගේ සැබෑ පිළිබිඹුව පැහැදිලි වේ.

රාජපක්ෂගේ දේශපාලනය ගැන සිංගපූරුවේ හිටපු ජනාධිපතිවරයා ඉතා පැහැදිලි විශ්ලේෂණයක් මීට කලකට පෙර ඉදිරිපත් කළේය. ඒ මහාචාර්ය ටොම් ප්ලැට් විසින් ලියනු ලැබූ " කොන්වසේසන් විත් ලීක් වාන් යූ " නමැති කෘතියේය. ඔහුට අනුව " කොටි මරා දැමීමෙන් පසු දෙමළ ජනතාවගේ ප්‍රශ්නය අහවර යැයි විස්වාශයක් රාජපක්ෂට තිබේ. ඔහු එය අනෙක් අයටද පිළිගැනීමට බල කරමින් සිටින්නේය. නමුත් සිංහල ජනතාවට මෙන්ම දෙමළ ජනතාවටද පිළිගත හැකි දීර්ඝ ඉතිහාසයක් ලංකාවේ තිබේ.. ... මම ඔහුගේ ( රාජපක්ෂගේ ) කතා අසා තිබෙනවා.. මම දන්නවා ඔහු සිංහල අන්තවාදියෙක් බව. මට ඔහුගේ මනස වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. " යයි යූ ප්‍රකාශ කළේය.

"1965 වෙද්දී අපට අසමත් රාජ්‍යන් විස්සක් ගැන උදාහරණ තිබුනා. අපි දැනගෙන හිටියා වාර්ගික අරගල, භාෂා ප්‍රශ්න, ආගමික අර්බුද ඉවත් කරන ආකාරය. අපි ලංකාව දුටුවා," යැයි හෙතම වැඩි දුරටත් සඳහන් කළේය.

ලීක්වන් යූගේ දේශපාලනය තුළ පවුල්වාදය සහ ක්‍රමෝපායික මර්ධනය වැනි විශාල ගැටලූ පැවතුණත් ඔහු ලංකාව විෂයෙහිලා ගොඩනගන තර්කය තුළ ඇත්තක් තිබේ. රාජපක්ෂ විසින් හිතාමතාම මඟහරිමින් සිටින්නේ එකී ඇත්තයි. රාජපක්ෂ පොලි ණය කරුවෙකු මෙන් සෑම තැනටම බොරු කියමින් ගෙන යන දේශපාලනය විසින් මුළු රටම කිසිවෙකුටත් අනුමාන කළ නොහැකි ආකාරයේ විකල්පයක් වෙතට තල්ලු වෙනු ඇත. මීට පෙර ආණ්ඩුවට එරෙහිව සිංහල සහ දෙමළ කල්ලි වෙන් වෙන්වූ අරගලයක නිරත වූහ. නමුත් එය පොදු එකඟතාවයක් ඔස්සේ එන අතිශය සංකීරණ තනි නායකයෙකුගේ අධිපත්‍යට යටත් නොවූ නමුත් කණ්ඩායමක පොදු හැඟීමට අවනත වූ විකල්පයක් ස්වභාවිකව ජනිත විමේ ඉඩකඩ තිබේ. රාජපක්ෂගේ උඩවැඩියා දේශපාලනයෙන් රටට හඳුන්වා දෙමින් තිබෙන්නේ එයයි.