කතුවැකිය : අධ්‍යාපනය තුළ චින්තනය විකිණීම

යළිත් එය සිදු වෙමින් පවතී. අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉතා ඛේදජනක ලෙස විකෘති කිරීමෙන් පසු ඇති වූ තත්වය සමනය කිරීම සඳහා පැවති අර්බුධය වෙන අතකට තල්ලු කරමින් තිබේ. ඒ විශ්ව විද්‍යාල පද්ධතියම අකර්මන්‍ය කිරීමෙනි. යමක් කෙරෙහි පවතින විස්වාශය නැති කිරීමට නම් ඔබ කළ යුත්තේ එහි අනුපිළිවෙල විනාශ කිරීමය. එවිට එහි බලය නැති වී යාමෙන් අවිස්වාශය ගොඩ නැගේ. මෙම අවිස්වාශය හරහා විකල්ප වෙතට අවදානය යොමු කළ හැකිය. අප බොහෝ දුරට යොමු වී සිටින්නේ විකල්පය ලෙස වඩාත් පහසු ක්‍රමය තෝරා ගැනීමටය. අප හමුවේ ඉතුරු වී ඇත්තේ එක්කෝ විරෝධය පෑමය; නැතහොත් අනෙකාගේ පදයට නැටීමය. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකඛම්වරයා ගැලීලියෝට වස දී මරා දැමීමෙන් පසු දකින සොඳුරු ලෝකය හරහා මෙන්ම උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ කට්ට කෛරාටක වචන හුවමාරුව මෙන්ම වත්මන් විශ්ව විද්‍යාල අර්බුධය ආරම්භ කිරීමට මුලික වූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති වරයාගේ හැසිරීම තුලින් නව මාදිලියක දේශපාලන විපක්ෂයක් රට තුළ ගොඩ නැගෙමින් තිබේ.

භූගෝල විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ඇති නමුත් නාමල් රාජපක්ෂගේ අපරාධ විද්‍යාව පිළිබඳව වන ශාස්ත්‍රපති උපාධියේ උපදේශකවරයා ලෙස බලෙන් ලබා ගෙන කටයුතු කරමින් සිටින අදාල උපකුලපති වරයා පසුගියදා සඳහන් කරනු ලැබුවේ මෙසේය, "උසස්‌ විභාග සඳහා උපදෙස්‌ දෙනවා කියන එක... ලෙහෙසි පහසු නෑ.ඒ අයගේ අවශ්‍යතාව ජාත්‍යන්තර අත්දැකීම් තියෙන අයයි. මම එංගලන්තයේ අවුරුදු හතක්‌, කැනඩාවේ අවුරුදු 2 1/2 ක්‌ විසිටින් ප්‍රොෆෙසර් කෙනෙක්‌. එංගලන්තයේ පී.එච්.ඩී. එක කළා. දැන් මේ රටේ නායකයාගේ පුතා මෙයා එන්නෙත් එංගලන්තයේ ඉගෙන ගෙන.ජීවිතයට මේ රටෙන් එළියට නොගිය, සිංහල විතරක්‌ කතා කරන ලියන ආචාර්යවරයෙක්‌ නාමල් රාජපක්‍ෂව "සුපර්වයිස්‌" කරන්න ගියොත් මොකද වෙන්නේ?මෙන්න මේ විශ්වවිද්‍යාලයේ තත්ත්වය, කෙරුවාව, ආචාර්යවරුන්ගේ තත්ත්වය කියයි." තමන්ගේ විෂයෙන් සම්පූර්ණයෙන්ම පරිභාහිර විෂයක උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටින හෙතම තමාගේ වැරදි වසාගන්නා අයුරු කදිමය.

කෙසේ වෙතත් රට පුරා මෝදු වෙමින් පවතින සැබෑ සමාජීය විරෝධය මට්ටු කොට තමන්ගේ වුවමනා එපාකම් ඉටු කර ගැනීමටනම් ආණ්ඩුව ඉදිරියේදී නව සතුරන් නිර්මාණය කර ගනු ඇත. එහි මුලිකම පියවර පසුගියදා ආරම්භ කොට ඇති අතර එහිදී ආරක්ෂක ලේඛම් වරයා ඇතුළු මෙරට මිලිටරියේ කේන්ද්‍රයන් යළිත් කොටි සංවිධානයේ නැගීටමක් සිදු වනු ඇතැයි සඳහන් කරනු ලැබුවේය. එසේම පසුගිය කාල වලදී ආණ්ඩු හිතවාදී ඝාතන කල්ලි වලට කේලම් කියමින් තම සහෝදර සිසුන් දන්ගෙඩියට දැක්කු ඇතැමුන්ද ඊට උල්පන්දම් දෙමින් තිබෙන ආකාරය දැක ගත හැකිය. ඔවුන්ට උද්ඝෝෂණය කරන සිසුවා කාලකන්නියෙක් වන අතර උද්දච්ච - කුලවාදී බමුණු උසස් අධ්‍යාපන ඇමති වීරයෙකි. ඔවුන්ට විරු ස්මාරකය සිමෙන්ති ගොඩක් සේම ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම යුතු කමකි. මේ ආකාරයෙන් , දශක ගණනාවක් තිස්සේ මිනීමරුවන්ට උල්පන්දම් දුන් මජරයින් විශ්ව විද්‍යාල අර්බුධය ගැන තොරතුරු දැක්වීම සඳහා කරලියට පැමිණෙමින් මර්දනය යුක්තිසහගත කරමින් සිටිති. මෙහිදී සිසුන් වඩාත් බුද්ධි ගෝචරව සිතා බැලිය යුත්තේ මෙනම් තල්ලු විය යුත්තේ තම සාදාරණ අයිතීන් භුක්ති විදිමින් මෙරට නිදහස් අධ්‍යාපනය රැක ගත යුතු ක්‍රම වේදයන් වෙතය.