ජනතා විමුක්ති පෙරමුණට විකල්පය කුමක් ද?

| අජිත් පැරකුම් ජයසිංහ

"දවසක්‌ නෝනයි මමයි කතා කර කර ඉන්නකොට මම කිව්වා මට මහණ වෙන්න ඕනා කියලා. එයාත් කැමැති වුණා. මම හැම දෙයකින්ම නිදහස්‌ වුණාට එක රහසක්‌ මගේ හිතේ රිදුම් දුන්නා. ඒ තමයි රෝහණ විජේවීර සහෝදරයාගේ මිනී අළු මුට්‌ටිය සඟවපු තැන එතකොට දන්නේ මම විතරයි. ඉතිං ඒ රහසත් අරගෙන මගේ හිත නිදහස්‌ කර ගන්න යන්න බැහැනේ. පස්‌සේ මම ආරණ්‍යයට යන්න දින කිහිපයකට පෙර බත්තරමුල්ලේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයට ගිහින් කිව්වා රෝහණ විජේවීර සහෝදරයාගේ මිනී අළු මුට්‌ටිය තියෙන තැන දන්නේ මම විතරයි. මම තමයි ඒ අළු ටික සුරක්‌ෂිතව සඟවලා තිබ්බේ ඔයාලා කැමතිද ඒක දැනගන්න කියලා.


"කොච්චර දෙයක්‌ද මහත්තයා. අළු ටිකවත් තියෙනවා නම්. අපි හිතුවේ ඒ ටිකත් නැතුව ඇති කියලා. මටත් ස්‌තූති කරලා ඒ සහෝදරවරු මගෙන් ඒ සම්බන්ධව විස්‌තරත් ඇහුවා. මම කිසිවක්‌ නොසඟවා හැම දේම ඒ අයට කිව්වා. මිනී අළු ගන්න උසාවි නියෝගයක්‌ ඕනැ නැහැ. නමුත් විජේවීර සහෝදරයාගේ මිනී අළු ටික ගන්න උසාවි නියෝගයක්‌ ඕනා. උසාවි නියෝගයක්‌ ගන්න ආකාරයත් මම ඒ අයට පැහැදිලි කර දුන්නා. බොරැල්ල කනත්තට ඒ අයට එන්න කියලා විජේවීර සහෝදරයාගේ අළු මුට්‌ටිය වළ දාලා තියෙන තැනත් මම පෙන්නුවා. මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු ගාණක්‌ වෙනවා. නමුත් මම දන්න විදිහට ඒ අළු මුට්‌ටිය ගන්න ජවිපෙ වර්තමාන සහෝදරවරු කිසිම කෙනෙක්‌ බොරැල්ල කනත්තට ගිහිල්ලා නැහැ. විජේවීර සහෝදරයාගේ භෂ්මවාශේෂ ටික තවමත් සුරක්‍ෂිතව තියෙන බව තමයි මට නම් දැනගන්න තියෙන්නේ. මට හිතෙන විදිහට රෝහණ විජේවීර සහෝදරයාගේ මිනී අළුවලින් වර්තමාන ජවිපෙ නායකයන්ට වැඩක්‌ නැතිව ඇති. මේ මම කියන දේ කාටත් පොදුයි. අද්දැකීමෙන් කියන්නේ. කෙනෙක්‌ මැරුණාහම කවුරු කොහොම දුක්‌ වුණත් ඒ මොහොතකට හෝ දින කිහිපයකට පමණයි. නැතුව පණපිටින් ඉන්න අය හැමදාම මැරිච්ච අය ගැන හිතන්නේ නැහැ."

දිවයින පුවත්පතට මෙසේ පවසන්නේ කලක් බොරැල්ල කනත්ත භාරකරුව සිට පසුව පැවිදි වී සිටින ඇතුල්කෝට්‌ටේ සාරානන්ද හිමි ය.

එහිමියන්ගේ ප්‍රකාශයෙන් ජවිපෙ වැනි පෙරටුගාමී පක්ෂවල එක් ලක්ෂණයක් කදිමට නිරූපණ්‍ය කෙරේ. ඒ වනාහි මිනිස් ජීවිත කෙරෙහි ගරුත්වයක්, ආදරයක් නැතිකමයි.

ජවිපෙ විශේෂ සමුළුවක් දෙබරවැවදී පැවැත්විණි. එහි මූලික අරමුණ වූයේ පක්ෂයේ සාමාජිකත්වයෙන් විශාල පිරිසක් නෙරපා හැරීමයි. එසේ නෙරපා හරිනු ලැබුවේ ද්‍රෝහීන්ව ය. ‍දින කිහිපයකට පෙර මේ ද්‍රෝහීහු සහෝදරයෝ වූ හ.


ඔවුන් නෙරපා හරිනු ලබන්නේ ඇත්තෙන් ම, ඔවුන් ඝාතනය කිරීම සඳහා බලය නැති නිසා ය. නැතිනම් කරන්නේ මරා දැමීම ය.


පක්ෂය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ, එහෙත්, මතවාදී හෝ වෙනත් හේතුවක් මත පක්ෂයෙන් ඉවත් වූ මිනිසුන්ගේ ජීවිත හා ඔවුන් පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම්වලට ගැන ඇති ඇගයීම කුමක් ද?


"ඒව එහෙම තමයි. කරන්න දෙයක් නැහැ. පක්ෂය වෙනුවෙන් අපි මේ දේ කළ යුතුයි. වැදගත් ම දේ පක්ෂය."

පක්ෂය ඇත්තේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් යයි කියනු ලැබේ. එවිට මෙම පක්ෂ සාමාජිකයෝ කවරහු ද? ඔවුහු ජනතාව නො වෙති ද? පක්ෂය ජනතාව වෙත දිගු කරන බව කියන දයාවේ අයෝමය හස්තයේ රෝම කූපයක පහස හෝ ඔවුන්ට නැද්ද?

මෙවැනි ස්ටාලින්වාදී පක්ෂවල පැරණි නායකයන් වැඩි දෙනෙක් එයින් ජීවනෝපාය, කීර්තිය හා ලිංගික ආස්වාදය ලබා ගන්නා අවස්ථාවාදීහු ය. ඔවුන් වැඩි දෙනෙක් පක්ෂ දේශපාලනය හරහා මේ වන විට අත්පත් කරගෙන තිබෙන තත්වය වැනි තත්වයක් සාමාන්‍ය ජීවිතයකදී නම් කිසි සේත් ම ලබා ගත නො හැකි තරමේ සාමාන්‍ය පුද්ගලයෝ ය. ඔවුහු කිසිදු ක්ෂේත්‍රයක කැපී පෙනෙන දක්ෂතාවක් දක්වන්නෝ නො වෙති. තමන් අත් පත් කර ගත් තත්වය රැක ගැනීම ඔවුන්ගේ මූලික අරමුණයි.

නායකත්වය ප්‍රශ්න නො කළ යුතු දෙයක් ය යන මතය ද, නායකයන් කුමන තත්වයකට පත් වූවත් තමන්ගේ වැඩ කොටස නො පිරිහෙළා ඉටු කිරීම සාමාජිකයන්ගේ වගකීම බව ද, වැදගත් වන්නේ පුද්ගලයන් නො ව පක්ෂය බව ද සාමාජිකයන් අතර ප්‍රවර්ධනය කරනු ලැබේ.

ඉතින් මෙම පක්ෂවල මුළු ජීවිත කාලය පුරා ම තාප්පවල පාප්ප ගාන කෙසඟ සිරුරු ඇති පීඩිතයෝ බහුල ය. ඔවුහු කිසිදු කලෙක පක්ෂ ධුරාවලි හිනිපෙතේ අඩියක්වත් ඉහළ නො යති. ඔය අස්සේ රාජකීය, ආනන්ද වැනි පාසලකට ගිය එකෙක්, දොස්තරෙක් වැනි මධ්‍යම පංතිකයෙක් පක්ෂයට සෙට් වුණොත් උන් ඩබල් ට්‍රිබල් ප්‍රමෝෂන් ගසමින් නයි, ඉනිමං පෙතක ඉනිමගක් හමු වූ ඉත්තකු සේ ඉහළ යති. එසේ වන්නට හේතුව මෙම පක්ෂවල සිටින ක්‍රම විරෝධීන් යයි කියා ගන්නා වැඩි දෙනෙක් එවැනි වූ තමන්ට අත් පත් කර ගත නො හැකි සිහින වන්දනා කරන්නට කැමති වීමයි.

මෙවැනි පෙරටුගාමී පක්ෂයකට බිහි කළ හැකි උපරිම සමාජවාදය වන්නේ උතුරු කොරියාවේ ඇති පන්නයේ දෙයකි.

ලංකාවේ නම් මෙවැනි පෙරටුගාමී පක්ෂ නිර්මානය කර ඇත්තේ විනාශය පමණි.

පෙරටුගාමී පක්ෂ සංකල්පයේ ඇති මූලික ගැටලුව වන්නේ එවැනි පක්ෂවල ක්‍රියාධරයන් බවට බොහෝ විට පත් වන රැකියා විරහිතයන්, විශ්ව විද්‍යාල සිසුන්, සුළු ව්‍යාපාරිකයන් හා ග්‍රාමීය දිළිඳු තරුණයන් වැනි අය කම්කරු පංති රාජ්‍යයක් ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුවක් තමන් විසින් තමන්ට දී ගත් පිරිසක් වීමයි. මොවුහු මූලික වශයෙන් ම කම්කරුවෝ නො වෙති. කම්කරු පංතියේ විමුක්තිදායකයන් ලෙස තමන් විසින් තමන් ම පත් කර ගත් පිරිසකි.

කම්කරුවන්ට විමුක්තිය ලබා දීමට වෙනත් අය අවශ්‍ය නැත. කම්කරුවන්ට තමන්ගේ විමුක්තිය ලබා ගැනීම සඳහා තමන් ම සංවිධානය වීමේ හැකියාව තිබේ.

ධනපති පංතිය විසින් කරන ශ්‍රම සූරාකෑමට එරෙහිව සටන් කරන පක්ෂයක් මුලින් ම තමන් තුළ ඇති කර ගත යුතු තත්වයක් වන්නේ ශ්‍රමය ඇගයීමයි. සාමාජිකයා පක්ෂය වෙනුවෙන් කැප කරන ශ්‍රමයට ඇගයීමක් තිබිය යුතු ය.

පෙරටුගාමී පක්ෂයට විකල්පය කම්කරු පංතිය ප්‍රජාතන්ත්‍රවාදයෙන් ශක්තිමත් කිරීමයි.

'කළ යුතු දෙය දන්නා' බව කියන අතළොස්සක් සියල්ල දත් 'ශාස්තෲන්' වන්දනා මාන කරන පෙරටුගාමී පක්ෂ වෙනුවට කළ යුතු දෙය පිළිබඳ සංවාදයක් කරන විවෘත මනසින් යුත් වැඩ කරන පංතියක් බිහි කිරීම වෙනුවෙන් වාමාංශිකයන් ක්‍රියාත්මක විය යුතු ය.

පෙරටුගාමී පක්ෂ සංකල්පය මතවාදීමය වශයෙන් පැරදවීම අද දවසේ වම හමුවේ ඇති ප්‍රධාන ම අභියෝගයයි.