නෙදර්ලන්තය : මුස්ලිම්වරුන්ගේ මුහුණු ආවරණට ( මුස්ලිම් වේල්) තහනමක්.


l කිෂානි වැලිවිටිගොඩ 

නෙදර්ලන්තයේ සුළුතර රජය විසින් මුස්ලිම්වරුන්ට මුහුණු ආවරණය (වේල්) පැළඳීම තහනම් කිරීම ඊළඟ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව එරටින් වාර්තා වේ. මිලියන 17 ක ජනගහණයකින් සමන්විත වන නෙදර්ලන්තයේ මිලියන 1 පමණ මුස්ලිම්වරුන් එහි ජීවත් වේ. බුර්කා වැනි මුස්ලිම් වේල් මුස්ලිම්වරුන්ට ප්‍රංශයේදී තහනම් කළ අතර එම තහනම ක්‍රියාත්මක කරන යුරෝපයේ දෙවෙනි රට නෙදර්ලන්තය වේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සිකුරාදා (27) දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ පුද්ගලයන් මුණ ගැසුණු විට ඔවුන් එකිනෙකාට හඳුනා ගැනීමට හැකියාවක් තිබිය යුතු බැවින් ඊළඟ වසරේ සිට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි. අරාබි ක්‍රමයට එනම් ඇස් පමණක් නිරාවරණය වන පරිදි මුළු මුහුණම ආවරණය වන නිකාබ්ස් පළදින සහ ඇෆ්ගනිස්තාන ක්‍රමයට මුළු මුහුණම ආවරණය වන බුර්කාස් පළඳින මුස්ලිම් කාන්තාවන් සුළු කොටසක් පමණක් නෙදර්ලන්තයේ සිටින බවට වාර්තා වේ.