පකිස්තානය: බින්ලාඩන්ගේ බිරියන් තිදෙනාම තවමත් පකිස්ථාන අත්අඩංගුවේ

| කිෂානි වැලිවිටිගොඩ

( 29.01.2012 | lankaguardian.com) ඇමෙරිකානු හමුදාව විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු පකිස්ථානයට භාරදුන් ඔහුගේ වැන්දඹුවන් තිදෙනා තවමත් පකිස්තාන අත්අඩංගුවේ පසුවෙන බව එක් වැන්දඹුවකගේ සහෝදරයෙකු අල් අරාභියා නාලිකාවට සඳහන් කළේය. ප්‍රශ්න කිරීම් සම්පූර්නයෙන්ම අවසන් කොට ඇතත් නිතී විරෝධී ලෙස අදාළ වැන්දඹුවන් රඳවාගෙන සිටින බව සඳහන් කරන බින් ලාඩන්ගේ වැන්දඹුවක වන අමල් අල්- සදාගේ සහෝදරයා වන ශකිර අල් සදා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ අදාළ වැන්දඹුවන්, ඔවුන්ගේ ළමුන් සහ මුණුපුරන් ඉස්ලාමාබාද් හී පිහිටි දුෂ්කරතා රැසක් ඇති නිවසක රඳවාගෙන සිටින බවයි.

" ඒ ගෙදරට කිසිම පහසුකමක් නැහැ. ඉර එළියක් වැටෙන්නේ නැහැ. මගේ සහෝදරිය තවමත් වේදනා විඳිනවා ඇගේ පාදයේ තුවාලෙන්. එහි සිටින සියලුම දෙනාගේ මානසික තත්වය එන්න එන්නම දුර්වල වෙමින් තිබෙනවා, " යයි හෙතම වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

" මම ඉස්ලාමාබාද් නුවර පිහිටි යේමන තානාපති කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු වලට අනුව පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමති රහමන් මලික් බින් ලාඩන්ගේ පවුලේ සාමාජිකයින් නිදහස් කිරීම අනුමත කොට නැහැ, ඒ සඳහා ඔහු කිසිම හේතුවක් ඉදිරිපත් කරලත් නැහැ, " යැයි අල් සදා සඳහන් කළේය.

එසේම ඔහුට පසුගිය සති දෙක තුළ අදාල සහෝදරිය සහ ඇගේ දරුවන් බැලීමට පකිස්තාන බලධාරීන් අවස්ථාවද ලබා නොදුන් බවට චෝදනා කළේය. අදාල වැන්දඹුවන් සහා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙලෙස සිර ගත කොට තිබීමට කිසිම නිතීමය පදනමක්ද නොමැති බව හෙතම සඳහන් කළේය.