රුපියල අවප්‍රමාණය කිරීමෙන් විදේශීය ණයපොලී ලෙස මේ වසරේදී කෝටි 427.52 ක් ගෙවන්න වෙනවා

 ආණ්ඩුව මූල්‍ය විනය සහ නීති රීති උල්ලංඝණය කරමින් අයවැය යෝජනාවලිය මගින් හදිසියේම සහ විධිමත් ක්‍රමයෙන් තොරව 3% කින් රුපියල අවප්‍රමාණය කළ නිසා 2011 දී අපට විදේශීය ණයත්, පොලියත් වෙනුවෙන් රුපියල් කෝටි 427.52 ක් වැඩිපුර ගෙවීමට සිදුව තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් පා.ම දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ අද (01) පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍යය හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

මේ තීරණය හේතුවෙන් 2012 දී විදේශීය ණය පොලී වෙනුවෙන් අපට ගෙවීමට සිදුවන වැඩිපුර මුදල රුපියල් කෝටි 742 ක් වනවා.

ආණ්ඩුව කියා සිටි පරිදි අමෙරිකානු ඩොලර් බිලියන 8 ක්ව පැවැති අපේ විදේශ සංචිතය, ආණ්ඩුව රුපියල ස්ථාවරව තබා ගැනීමට ජූලි සහ අගෝස්තු මාසවල දී අමෙරිකානු ඩොලර් මිලියන 615 ක් විකිණූ නිසාත්, ඊට පසුව හදිසියේම රුපියල 3% කින් අවප්‍රමාණය කළ නිසාත් අපේ විදේශ සංචිතය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන එකකට වඩා පහළට ඇද වැටී තිබෙනවා.

අයවැය යෝජනාවලියකින් රටක මුදල් ඒකකය අවප්‍රමාණය කළ නොහැකි අතර එසේ අවප්‍රමාණය කරනවා නම් ඒ ක්‍රියාවලිය කළ යුත්තේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය බව පැහැදිලිව කිව යුතුයි. ආණ්ඩුව හදිසියේම රුපියල 3% කින් අවප්‍රමාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් ඇතුලූ සියලූම ආනයනික භාණ්ඩ සහ සේවා මිල ගණන් විශාල ලෙස වැඩි වී උත්සව සමයේ දී ජනතාවට උග්‍ර අර්බුදයකට මුහුණපෑමට සිදු වනවා.

අධ්‍යාපනයේ දියුණුව සඳහා මුලූ වියදමෙන් 5% - 6% ත් අතර ආයෝජනයක් කළ යුතු බවට සියලූ පාර්ශ්වයන් පැහැදිලිව කරුණු දක්වමින් කියා සිටියත් අයවැය යෝජනාවලියෙන් ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් යොදවා තිබෙන්නේ 1.5% ක සොච්චමක් පමණයි. 2005 දී 5000 ක් වූ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංඛ්‍යාව 2011 වන විට 40,000 දක්වා වැඩි වී ඇති නමුත් ඒ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා ආණ්ඩුව අයවැය යෝජනාවලියෙන් කිසිඳු වැඩපිලිවෙළක් ඉදිරිපත් කර ඊට මුදල් වෙන් කර නැහැ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප 20% කින් වැඩි කර ප්‍රශ්න පත්‍ර ඇගැයීම සඳහා ගෙවන මුදල ද වැඩි කරමින් නිවාස ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඒ අයගේ ප්‍රශ්න විසඳීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පොරොන්දු වුණත් අයවැය යෝජනාවලියෙන් ඒ පොරොන්දු සියල්ල ද උල්ලංඝණය කර තිබෙනවා. එක්තරා විශ්ව විද්‍යාල ආචාර්යවරු කණ්ඩායමක් සමස්ථ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සටන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට පාවා දී ඒ ආචාර්යවරුන් අනාථ කිරීම අප තරයේ හෙළා දකිනවා.

කොළඹ– දකුණ අධිවේගී මාර්ගය විවෘත කළත් ඒ මාර්ගය සහ රටේ ආර්ථික දියුණුව අතර සම්බන්ධයක් ඇති වන අයුරින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීමත්, හම්බන්තොට වරායෙන් කිසිඳු සැලකිය යුතු ආදායමක් රටට – ජනතාවට නොලැබීමත්, කිසිඳු ව්‍යාපාරික සැලසුමකින් තොරව හම්බන්තොට ගුවන් තොටුපොළ ඉදිකිරීමට ආණ්ඩුව කටයුතු කර මින් සිටීමත් ආදියෙන් හෙළි වන්නේ මේ ආණ්ඩුවට කිසිවක් සම්බන්ධයෙන් කිසිඳු සැලසුමක් ද, වැඩපිළිවෙළක් ද නොමැති බවයි.

හම්බන්තොට ගුවන් තොටුපොළ ඉදිකිරීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට සහ මිහින් ලංකා ගුවන් සමාගමට 2012 සඳහා අවශ්‍ය ගුවන් යානා ගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වෙන් කර තිබියදීයි. කිසිඳු ආර්ථික වැඩපිළිවෙළකින් සහ අනාගත සැලසුමකින් තොරව ක්‍රියාත්මක කරන හම්බන්තොට ගුවන් තොටුපොළ සහ වරාය ආදී ව්‍යාපෘති මේ වන විටත් රටට – ජනතාවට අති විශාල බරක් වී ස්මාරක බවට පත්ව තිබෙනවා.

බඩු මිල වැඩි වී ජනතාව කන්න නොමැතිව අන්ත අසරණ වී දුක් විදිද්දී ආණ්ඩුව ජනතාවට සහන සලසනවා වෙනුවට රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කර දෙසැම්බර් මස 15 සහ 16 කොළඹපාරවල් වසා රාත්‍රියේ ෆෝමියුලා 1 සුපිරි කාර් ධාවන තරග පවත්වමින් විනෝද වෙනවා.

පාරිභෝගික අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට භාණ්ඩ ආනයන සහ අපනයන වැඩපිලිවෙලක් ද, ඒ ෙක්‍ෂ්ත්‍රය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් නොමැති නිසා බිත්තරයක මිල මේ වන විට රුපියල් 6.50 ත් 7.00 ත් අතර දක්වා පහත වැටීමත් සමග කුකුලූ කර්මාන්තය කඩා වැටී කුකුල් ගොවියා අන්ත අසරණ වී සිටිනවා. කුකුලූ ගොවියාට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 7 ක් වැය වුණත් ජොන්ස්ටන් ප්‍රනාන්දු පාරිභෝගික අමාත්‍යවරයාට සියල්ල නොමිලේ ලැබෙන නිසා ඔහුගේ ගොවිපොළේ බිත්තරයක් නිෂ්පාදනය කිරීමට ඔහුට වැය වන්නේ රුපියල් 2.50 ක් පමණයි. බිත්තර මිල පහත වැටීම නිසා කුකුලූ ගොවියා අන්ත අසරණ වී සිටින්නේ තමාට බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 2.50 ක් වැය වන නමුත්, ඒ සඳහා කුකුල් ගොවියාට රුපියල් 7 ක් වැය වන බව පාරිභෝගික අමාත්‍යාවරයා තේරුම් නොගැනීම නිසයි.

රටකට ආණ්ඩුවක් සහ ඒ ඒ විෂයන් සදහා අමාත්‍යවරුන් අවශ්‍ය වන්නේ නිෂ්පාදකයාත්, පාරිභෝගිකයාත් ආරක්‍ෂා කර ගෙන ඒ අංශ මනා ලෙස කළමනාකරණය කරමින් සියල්ලන්ට සාධාරණය ඉටු කිරීම සදහායි. රුපියල් ලක්‍ෂ ගණනක් වියදම් කර රටට පොල් තොගයක් ආනයනය කර වෙළෙඳපොළේ පොල් තිබෙනවා යැයි කියමින් ඒ පොල් තොගය විනාශ කිරීමට ආණ්ඩුවත්, පාරිභෝගික අමාත්‍යාංශයත් ගත් පියවරෙන් හෙළි වන්නේ මේ අයට ආනයනය සහ අපනයන සම්බන්ධයෙන් කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවයි.

ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ සහ සේවා මිලට වඩා රටේ භාණ්ඩ සහ සේවා මිල ගණන් වැඩි වී තිබෙන්නේ කිසිඳු වැඩපිළිවෙලක් නොතිබීම, කොමිස් ගැසීම, අතරමැදි ක්‍රියාකාරීත්වය නිසා බව පැහැදිලියි.

එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඊට කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය : කොළඹදකුණු අධිවේගී මාර්ගය ගැන ඔබේ ස්ථාවරය කුමක්ද? ඔබ ඒ මාර්ගයේ ගමන් කළාද?

පිළිතුර : කොළඹ– දකුණ අධිවේගී මාර්ගය නියමිත සහ විධිමත් ප්‍රමිතියෙන් තොරව ඉදිකර තිබෙන නිසා ඒ මාර්ගයේ වාහන අනතුරු බහුලව ඇති වීමේ අවදානම් තත්ත්වයක් තිබෙනවා.

ප්‍රශ්නය : කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා ආණ්ඩුවට එකතු වුණා නේද?

පිළිතුර : ඔව්. එතුමා කියන ආකාරයට නම් එතුමා ආණ්ඩුවට එකතු වූයේ ජාතියේ දරුවන්ට හොඳ අනාගතයක් උදා කිරීමටයි. ජාතියේ දරුවන්ට මේ ආණ්ඩුව යටතේ අත්වී තිබෙන ඉරණම ගැන අවබෝධයක් තිබුණා නම් එතුමා මේ තීරණය ගන්නේ නැහැ. ජාතියේ දරුවන්ගේ අනාගතය කෙසේ වෙතත් සිය දරුවන්ගේ අනාගතය සහ තමාගේ අනාගතය වෙනුවෙන් නම් මොහාන් ලාල් ග්‍රේරු තීරණයක් ගෙන ආණ්ඩුවට එකතු වූ බව අපේ ස්ථාවරයයි.

විවිධ ප්‍රශ්න ඇති කරමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මොහාන් ලාල් ග්‍රේරු බිලි බා ගත්තේ ආණ්ඩුවට එරෙහිව කොළඹ හයිඩ් පිටියේ අප සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයට අති විශාල ජනකායක් එක්වීම ඉවසාගත නොහැකි නිසයි. මොහාන් ලාල් ග්‍රේරු මන්ත්‍රීවරයා ආණ්ඩුවට එකතු වීම කොළඹ හයිඩ් පිටියෙන් ආණ්ඩුවට එරෙහිව මතු වූ විරෝධය පාවාදීමක් බව කිව යුතුයි.

මේ අය ආණ්ඩුවට එකතු වුණා කියා එක්සත් ජාතික පක්‍ෂයවත්, අපේ ජනතාවවත්, අපවත් කිසිසේත් ඇද නොවැටෙන බවත්, ආණ්ඩු විරෝධී අපේ විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් පැහැදිලිව කියනවා.