SPECIAL : භාරතගේ මරණය ගැන පොලිසියට චෝදනා කරමින් ඔහුගේ බිරිඳගෙන් පැමිණිල්ලක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණවල කිසිඳු විධිමත් භාවයක් නොපෙන්නවන බව චෝදනා කරමින් ඒ මහතාගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. අදාළ පැමිණිල්ල සම්පූර්නයෙන්ම පහත පළ වේ.

සුමනා ප්‍රේමචන්ද්‍ර,
23/A
සමුළු නිවාස,
ජාවත්ත පාර ,
කොළඹ 05. 

2011.11.08

ගරු සභාපති සහ කොමසාරිස්වරුනි,

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
බාන්ස් පෙදෙස,
කොළඹ 07.

ගරු සභාපතිතුමන් සහ කොමසාරිස්තුමන්ලා වෙතයි,

වෘත්තීය සමිති පිලිබඳ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යන අයගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පොලිස් විමර්ශනයක් සිදු කිරීමට අපොහොසත් වීම හා බැඳේ.

මාගේ ස්වාමිපුරුෂයා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යන අය වර්ෂ 2011 ඔක්තෝම්බර් මස 08 වන දින මුල්ලේරියාව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලදී.

එකී ඝාතනය සිදුවූ දින කොළොන්නාව නගර සභාව සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබූ අතර මාගේ මියගිය ස්වාමිපුරුෂයා එකී මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරනු ලැබූ අපේක්ෂකයින්ගේ අවශ්‍යතාවන් සොයා බැලීම සම්බන්ධයෙන් උත්සුකව කටයුතු කරන ලදී.

එදින පස්වරු 3.00 - 3.30 පමණ මාගේ ස්වාමි පුරුෂයාට මුල්ලේරියාව හිඹුටාන පටුමග යන ස්ථානයේදී, ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන අය විසින් වෙඩි තබා ඇති බව මාහට දැනගන්නට ලැබුණු අතර එකී වෙඩි තැබීමෙන් පසුව මාගේ ස්වාමිපුරුෂයා මිය ගියේය.

මා ප්‍රකාශ කර සිටින්නේ, 1994 වර්ෂයේ පැවති මහමැතිවරණයට තරග කරමින් මාගේ ස්වාමි පුරුෂයා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් වූ බවත්, මිය යන අවස්ථාව දක්වාම ඔහු ක්‍රියාකාරී දේශපාලඥයෙකු වශයෙන් කටයුතු කරන ලද බවත් ය. තවද ඔහු බොරැල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කරන ලද අතර ඊට පෙර කොළොන්නාව ආසනයේ ශ්‍රී ලංකා මහජන පක්ෂ සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කළේය.

මාගේ ස්වාමිපුරුෂයා කොළොන්නාව ප්‍රදේශයේම උපත ලබා එම ප්‍රදේශයේම හැදී වැඩී ප්‍රාදේශීය දේශපාලඥයෙකු වශයෙන් එම ප්‍රදේශයට කරන ලද සේවය ඇගයීමක් වශයෙන් එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ප්‍රාර්ථනය වූයේ ඔහු කොළොන්නාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වනු දැකීම වුවත්, එකී සංවිධායක ධූරය එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි ආර්. දුමින්ද සිල්වා යන අය වෙත ප්‍රදානය කරන ලද අතර එකී පත් කිරීම සම්බන්ධයෙන් කොළොන්නාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ පමණක් නොව පක්ෂ භේද නොතකා අනෙකුත් ජනතාවද විරෝධය දක්වන ලදී.

කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ සංවිධායක ධූරය නොමැති තත්ත්වයක් යටතේ වුවද, එම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයා වශයෙන් විශාල පිළිගැනීමක් මාගේ ස්වාමිපුරුෂයාට එම ප්‍රදේශයේ ජනතාව අතර විය.

ඉහත සඳහන් කළ තත්වය යටතේ එකී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මාගේ ස්වාමිපුරුෂයා හා වෛරයෙන් පසු වූ අතර, අවස්ථා ගණනාවකදීම මාගේ ස්වාමි පුරුෂයාගේ ජීවිතයට හානි කිරීමට උත්සාහ දරන ලදී.

මෙම කරුණ මාගේ ස්වාමිපුරුෂයා විසින් පහත පුද්ගලයින් හා ආයතන ගණනාවක් වෙත දැනුම් දී ඔහුට ආරක්ෂාව ඉල්ලා සිටි බව මා ප්‍රකාශ කර සිටිමි.

1) ඇමති ආරක්ෂක අංශය

2) ගරු පොලිස්පතිතුමා

එහෙත් මාගේ ස්වාමි පුරුෂයාට තිබූ ජීවිත තර්ජනයන්ට සරිලන ආකාරයේ ආරක්ෂාවක් ලබා දීමට ඉහතින් සඳහන් කරන ලද පුද්ගලයින් හෝ ආයතන කිසිවකුත් කටයුතු නොකරන ලදී.

මා ප්‍රකාශ කර සිටින්නේ, මාගේ ස්වාමිපුරුෂයාට වෙඩි තැබීමට හේතුව වශයෙන් මා හට දැනගන්නට ලැබී ඇත්තේ, ඉහත කී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් විසින් මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන ලද එකී ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසංග සෝලංගආරච්චි යන අයගේ බිරිඳට සහ මවට පහර දීමක් කරනු ලැබූ බවට එකී ප්‍රසංග සෝලංගආරච්චි යන අය විසින් දැනුම් දී ඔවුන්ව බේරා දෙන ලෙසට මාගේ ස්වාමිපුරුෂයාට කරන ලද ඉල්ලීමක් අනුව ඔහු එම සිද්ධිය සිදු වූ ස්ථානය වෙත යමින් සිටියදී එකී දුමින්ද සිල්වා යන අය ඇතුළු කණ්ඩායමක් මාගේ ස්වාමිපුරුෂයා ඉදිරියට පැමිණ ඔහුට වෙඩි තැබූ බවයි.

මා ප්‍රකාශ කර සිටින්නේ,

අ) මෙකී වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ අවට ප්‍රදේශයේ විශාල පිරිසක් රැස්ව සිටි බව සිද්ධිය ඇසින් දුටුවන් පවසන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වන තෙක් මෙම සිද්ධියට සම්බන්ධ නියම සැකකරුවන් වන ආර්. දුමින්ද සිල්වා යන අය සහ ඔහු සමග පැමිණි කණ්ඩාමේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වී ඇති බවත්,

ආ) එකී ආර්. දුමින්ද සිල්වා යන අයගේ අපරාධ වගකීම සම්බන්ධයෙන් නිසි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවත්,

ඇ) මෙකී මිනී මැරුම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන ලද නිලධාරීන් අහේතුකව ස්ථාන මාරු කොට විමර්ශයෙන් ඉවත් කිරීමෙන් විමර්ශනය සම්බන්ධයෙන් සැකයක් ඇති වී ඇති බවත්,

ඈ) සාක්ෂිකරුවන්ට දිගින් දිගටම තර්ජන පවතින බවත්, ඔවුන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත්,

ඉ) අපගේ පවුලේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන පවතින හෙයින් විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය බවත් ය.


එසේ හෙයින් මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ,

1) මෙම මිනී මැරුම සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නිර්දේශ කරන ලෙසත්,

2) මෙකී මිනී මැරුම හා සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ආර්. දුමින්ද සිල්වා යන අය සහ ඔහුගේ ආරක්ෂකයින් අත් අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට විධාන කරන ලෙසත්,

3) අපගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා වෙත නිර්දේශ කරන ලෙසත්,

4) භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යන මාගේ ස්වාමි පුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොකිරීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් ආරක්ෂා කොට ඇති මාගේ මූලික අයිතිවාසිකමක් වන නීතියේ රැකවරණය හා සර්ව සාධාරණත්වයෙන් ක්‍රියාත්මක කිරීම නම් අයිතිවාසිකම උල්ලංඝනය කොට ඇති බව ප්‍රකාශ කරමින් නිර්දේශයක් ලබා දෙන ලෙසත් ය.


වගඋත්තරකරුවන්:

1) පොලිස්පතිතුමා,

2) අධ්‍යක්ෂක, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුව

3) ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුව

4) ස්ථානාධිපති, මුල්ලේරියාව පොලිස් ස්ථානය.


පෙත්සම්කාරිය