තුර්කිය ජනරජ දින පෙළපාලි අවලංගු කෙරේ.


l කිෂානි වැලිවිටිගොඩ

තුර්කියේ නැගෙනහිර පළාතේ වැන් ප්‍රදේශයේ වැසියන්ට මුහුණ දීමට සිදු වූ දරුණුතම භුමි කම්පාව හේතුවෙන් එරට ජනරජ දිනය වෙනුවෙන් රට පුර පැවැත්වීමට නියමිතව තිබු සැමරුම් උත්සව සහ පෙළපාලි අවලංගු කර තිබෙන බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. 


ඔක්තෝම්බර් 23 වන දින රික්ටර් මාපාංක අගය 7.2 ක් සලකුණු කරමින් සිදු වූ මෙම භුමිකාම්පාව හේතුවෙන් 550 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් 2200 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබූ අතර එම ප්‍රදේශයේ 2600 ක් පමණ වන ගොඩනැගිලි සංඛ්‍යාවක් විනාශය පත් වී තිබේ. මෙම භූමිකම්පාව සිදු වුයේ මුළු රටම ජනරජ දිනය 88 වැනි සංවත්සරය සනිටුහන් කිරීමට සුදානම් බව මහජනයාට නිවේදනය කිරීමෙන් පසුවය.

මෙම සතියේ මුල් භාගයේ තුර්කියේ අගමැති රෙසේප් ඉර්දොගන් විසින් රට පුරා පැවැත්වීමට නියමිතව තිබු වාර්ෂික සැමරුම් උත්සව විපතට පත් වුවන්ට ශෝකය පළ කිරීමක් වශයෙන් අවලංගු කරන ලෙසට අණ කර සිටියේය. ඉර්දොගන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ සැමරුම් උත්සව, පෙළපාලි සහ පිළි ගැනීම් උත්සව වලින් ඉවත් වී මල් වඩම් යොදාගෙන සමාචාර දක්වා ජනරජ දිනය සමරන ලෙසටය.

ජනාධිපති අබ්දුල්ලා ගුල් මෙම සතියේ මුලාරම්භයේදී ප්‍රථමයෙන් ප්‍රකාශ කර සිටියේ කැන්කයා මාලිගයේ පැවැත්වීමට නියමිතව තිබු සම්ප්‍රදායක ජනරජ දිනයේ පිළිගැනීම් උත්සවය අවලංගු කළ බවය.

එහෙත් එරටෙහි ප්‍රධාන විපක්ෂය වන ජනරජ මහජන පක්ෂය විසින් අගමැතිගේ තීරණය දැඩි ලෙස විවේචනය කරමින් පවතින රජයට ජනරජයක අගය පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති බවට චෝදනා කළේය .

Tell a Friend