ජවිපෙ අර්බුදය: කැමති දේ කෑම සහ දෙන දේ කෑම

( දෙවන කොටස )


නිලන්ත ඉලංගමුව 


ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දී සිටින අභියෝගය සහ එම පක්ෂයට අහිමි වී ගිය බලය ( එනම් කේවල් කිරීමේ බලය) යලි ලබා ගැනීමේ අරගලය පිළිබඳව පසුගිය සතියේදී ඉදිරිපත් කළ ලිපියට උණපූරකයක් එකතු කිරීම අවශ්‍ය වන අතර අදාළ පක්ෂයේ දේශපාලනය පිළිබඳව ඊට පරිබාහිරින් සිට නිරීක්ෂණය කිරීම කාලෝචිත වේ. කෙසේ වෙතත් අදාළ ලිපිය සඳහා ලැබී තිබුණු ප්‍රතිචාර පිළිබඳව දැකීමේදී පෙනී යන්නේ බොහෝ දෙනෙකු ජවිපෙ කණ්නාඩිය ඔස්සේ ජවිපෙ දේශපාලනය දෙස බැලීමට උත්සහ කරන බවයි. එවිට තමන් දුර්වල ලක්ෂණයක් දුටුවද එය සඟවා තබා ගැනීමට උත්සහ ගෙන පූර්ණ ධනාත්මක චින්තනයක් ඔස්සේ කරුණු දැක්වීමට ප්‍රයත්න දැරීම සහ පුද්ගලයෙකු මත වැරැද්ද පටවා පක්ෂය ශුද්ධ වස්තුවක් ලෙස සැලකීම සාමාන්‍ය පුරුද්දකි. මිනිස් මනස සරලය තමන් වැරද්දක් කළ පසු වැරදි යැයි කීමට තරම් කිසිවෙකුත් අකමැතිය. සෑම විටම තම නිවැරදිබාවය පමණක් හුවා දැක්වීමට ප්‍රයත්න දරන මිනිස් මනස එය සාධාරණීකරණය කිරීම සඳහා ඕනෑම තක්කඩි කටයුත්තක් කිරීමට පෙළඹේ. මෙය සරල වශයෙන් ශේක්ස්පීරියානු මතවාදයට අනුව ජයග්‍රහණයට පීතෘවරු බොහෝ වන නමුත් පරාජයට සිටින්නේ එක් පිතෘවරයෙක්ය යන කාරණය හා බැඳී පවතින සරල මෙන්ම සුඛ නාමය සත්‍යකි.

" වත්මන් ලෝකය වඩාත් යථාර්තවාදී
විකල්පයක් වෙතට තල්ලු වෙමින් තිබේ.
මේ වන විට අපට සිදු වී ඇත්තේ ඇන්ග්ලෝ
-සැක්සන් නව ලිබරල් වාදයද - නොඑසේනම්
 ආසියානු අගනාකම් සහිත වූ චීන - සිංගපෝරියානු
ධනවාදයට යන ද්විත්වය පමණි. ඒ සඳහා අපි
කිසිවන් නොකරන්නේ නම් අපි අනුක්‍රමයෙන් නව
 මාදිලියක අධිපතිකාරීත්වයක් සඳහා තල්ලු වනු ඇත.
අරාභී වසන්තය මඟින් මෙන්ම වෝල් ස්ට්‍රීට් ආක්‍රමණය
හරහා ලෝකයට ලබා දෙන පණිවිඩය වන්නේ එයයි .
මෙහිදී මතක තබා ගත යුතු වැදගත්තම කාරණය
වන්නේ ධනවාදය සහ ප්‍රජාතත්‍රවාදය අතර ඇති විවාහය
 අවසන් වී ඇති බවයි,"  - ජිසේක්
ජවිපෙ මුහුණ දී සිටින ආන්දෝලනාත්මක තත්වය තව දුරටත් තේරුම් ගැනීම සඳහා රෝහණ විජේවීර මහතා පිළිබඳව පසුගිය සතියේ පැවති සම්මන්ත්‍රණයේදී පල වූ අදහස් උපුටා දැක්වීම වැදගත්ය. ".......රෝහණ විජේවීර සහෝදරයා ඒ සම්මුතිකාමීත්වය ප්‍රතික්ෂේප කළා. මේ කියන්නේ ප්‍රායෝගික තත්වය නොසලකා මනෝරාජික භාවිතාවකට යාම නොවෙයි. ඒ වගේම පැරණි වම කළා වගේ ප්‍රායෝගික තත්වයන්ට අනුගත වෙලා ප්‍රායෝගිකවාදයට යාමත් නොවෙයි. පැරණි වමට සිදු වුණේ, සමාජය වෙනස් කරන්න අමාරුයි කියලා උපයෝගීතා දෘෂ්ඨියකින් බලලා, ඡන්ද ටිකක් කඩා ගන්න උත්සාහ කළා. එදා ඉපැරණි වම ඒක කළා, දැන් පැරණි වම ඒක කරමින් සිටිනවා", යයි ජවිපෙ කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේය. එසේම තව දුරටත් හෙතම, " ........ක්‍රියාවලිය තුළම නව දේශපාලන කතිකාවක, නව වමක ඇරඹුම ඉල්ලා සිටිනවා. එය, සම්මුතිය වෙනුවට අසම්මුතිය පිළිගන්නා, ප්‍රායෝගිකවාදයට නොයන දේශපාලනයක් විය යුතුයි. රෝහණ සහෝදරයා ප්‍රතික්ෂේප කළ සම්මුතිකාමීත්වයට, ප්‍රායෝගිකවාදයට ජනතා විමුක්ති පෙරමුණ ගිහින් ඉවරයි." මෙම අදහස ඔස්සේ ජවිපෙ අර්බුදයේ සැබෑ අවුල ගැන තව දුවරත් මේ ඔස්සේ අදහස් දැක්වීම වටින්නේය.

ඊට පෙර ඉදිරිපත් කළ යුතු කාරණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන හෝ ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය හෝ වෙනයම් දේශපාලන ව්‍යාපාරයක් සමඟ කිසිම අන්දමේ පුද්ගලික කෝන්තරයක් හෝ ලාභ අපේක්ෂාවෙන් සිදු කරන ගුණ වැයීමක් මා සතුව නැතුවා මෙන්ම ඒ සඳහා කිසිඳු වුවමනාවක්ද නැත, යන්නයි. එසේම නව ලිබර් ධනවාදයේ මූලයන් සඟවා තබා පවතින ගැටලුව මතුපිටින් අතපත ගෑමේ කිසිඳු වුවමනාවක්ද නැත. මා වඩාත් සැලකිලිමත් වන්නේ අදාළ පක්ෂ වලින් ඉදිරිපත් කළ මුද්‍රිත ප්‍රකාශනයන් වලට වඩා එම සංවිධාන වල ප්‍රයෝගික භාවිතයන්ය. එය තේරුම් ගැනීම අතිශය සරලය. එනම් මහින්ද චින්තනය ඇතුලත් කෘතීය පමණක් කියවන්නෙකුට එය අගනා කෘතීයකි, මංගල සමරවීර රාජපක්ෂ ආණ්ඩුවෙන් එලවා දමන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය එළි දක්වමින් ප්‍රකාශ කළ " සිහිනයේ අභියෝගය" නමැති කෘතියද , රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලියු අනාගත අභියෝග කෘතීයද ඉතා අගනේය. ඒවායෙහි ඉදිරිපත් කළ අදහස් තුළ සිහින රාශියක් තිබේ. නමුත් ප්‍රයෝගික භාවිතය ගැන අපි දන්නෙමු. එබැවින් උපුටා දැක්වීම වටිනා කමින් ඉහළ වන්නා සේම එය ප්‍රයෝගිකව භාවිතයට ගෙන ඇති ආකාරය ඊටත් වඩා වටින්නේය.

ජවිපෙ මෙන්ම කොටි සංවිධානයද එකම අරමුණක් මූලික කර ගනිමින් එනම් විමුක්තිය මූලික කරගනිමින් ඇති වූ සංවිධාන වේ. වෙනස කොටි සංවිධානය මුලදී පූර්ණ ලෙස දෙමළ ධනපතීන්ගේ අතකොළුවක් එනම් අමිර්තලිංගම් වැනි දේශපාලඥයින්ගේ සන්නද්ධ අංශය ලෙස කටයුතු කළ නමුත් ජනතා විමුක්ති පෙරමුණ යම් තාක් දුරකට මෙරට සිංහල බමුණු කොටස කෙරෙහි වෛරී හැඟීමෙන් පසු වන බව ජනතාවට ඒත්තු ගැන්වීය. නමුත් එම විරෝධය හාස්‍යට ලක් වන්නේ රෝහණ විජේවීර මහතා 71 තමන්ගේ කුළුඳුල් විපල්වය පටන් ගැනීමට මොහොතකට පෙර කේන්ද්‍රය බලා සුභ මුහුර්තියක් බැලීමට වටින බවට සිදු කරනු ලැබුවේය යනුවෙන් ඔහු විසින් කළේය, කියන පාපොච්චාරණයයි. එය සත්‍ය නම් රෝහණ විජේවීර චරිතයම වූ කලී පිටින් ආගම අබිං යැයි කියූ මාක්ස්වාදය නමැති වෙස් මුහුණ දමා ගත්, සම්ප්‍රදායික හින්දු බමුණෙකු මිස වෙනත් සුජාත භාවයක් එකී චරිතය තුළද නැත. ඇතැම් විට ඔහුටද වසර දහස් ගණනක් තිස්සේ රටේ ක්‍රියාත්මක වූ සම්ප්‍රදායෙන් ගැලවීමේ හැකියාවක් නොතිබුණා විය හැකිවා මෙන්ම සම්ප්‍රදාය සහ යූටෝපියානු වුවනාව මත සිර වුනු චරිතයක් වූවා විය හැකිය. එම සිරවීම විසින් ඔහු තල්ලු කරනු ලැබුවේ ජන ඝාතනයක් වෙතය. සතුරාගේ ශක්තිය සහ බලය හඳුනා නොගෙන යුධ මඟට බැසීම වූ කලී පහන් දැල්ලක් වටා එක් රැස් වෙන මෙරුවන්ගේ ස්වභාවය හා සමාන කටයුත්තකි. විජේව්වීර මහතා මෙන්ම වේලුපිල්ලේ ප්‍රභාකරන් මහතාද සිර වී සිටියේ මෙකී මානසික උගුලට යැයි සිතේ. මීට පෙරද සඳහන් කළා සේ ජවිපෙ සංවිධානයට වඩා තරමක් ඉහල කෞශල්‍යක් වසර තිහක් තිස්සේ ගෙන ගිය අඛණ්ඩ අරගලය තුළින් එල්. ටී.ටී. ඊ . සංවිධානය පෙන්නුම් කළේය.

මේ ඔස්සේ ජවිපෙ කැරලිකාර කණ්ඩායමේ අය " සම්මුතිකාමිතාවයෙන්" අපගමනය වූ යමක් ගැන සෙවීම ගැන විමසා බැලීම වැටී. එය සරල වශයෙන්ම කොටි සංවිධානය වසර තිහක් තිස්සේ ගෙන ගිය අරගලය හා සමරූපී වේ. තම ශක්තිය තනා ගැනීම සඳහා ආරම්භයේදී තෙවන පාර්ශවයන් මත යැපුනද ඉන් පසුව තම යුධමය සහ දේශපාලනමය සහවාසයෙන් පරිභාහිර වූ වෙනම විමුක්ති මගයක් උදෙසා වන අස්ථානයක් වෙතට තල්ලු කළේය. අමිර්තලිංගම්, සේම රාජිනි තිරාණගම මැරුම් කෑවේ එහි ප්‍රතිපලය වශයෙනි. එසේම තිම්පු සාකච්චා වලින් සති කිහිපයකට පසු ටෙලෝ ඇතුළු අනෙකුත් සහෝදර සන්නද්ධ කණ්ඩායම් වල සාමාජිකයින් සිය ගණනින් මහා පාරවල් දිගේ කොටි සංවිධානය විසින් මරා දමනු ලැබුවේ විවිධත්වය නැති නොඑසේනම් සම්මුතිකාමිත්වයෙන් පරිභාහිර වූ විමුක්තියක් සෙවීමට ගොසිනි. ඒ සඳහා අටුවා ටීකා අවශ්‍ය නොවේ. නන්දිකන්ඩාල් කලපුවෙන් ගොඩ බිමට ගෙන අමුඩයක් ගසා 2009 මැයි මාසයේදී ප්‍රදර්ශනය කරනු ලැබූ කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ මළ සිරුරෙන් ප්‍රකශ කරනු ලැබුවේ එකී ( විසම්මුතියේ) පරම සත්‍යයි. එසේම සම්මුතියෙන් පිට පනිමින් සිදු කළ විසම්මුතිවාදී දේශපාලනය 1989 නොවැම්බර් 13 උලපනේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මරා දැමූ ( යුධ අපරාධ ගණයට වැටෙන අපරාධයකි) රෝහණ විජේවීරගේ දේශපාලන චින්තනයෙන්ද කියන්නේ එයයි. ජවිපෙ ඉතිහාසය වූ කලී බිහිසුණු මෙන්ම සතුරාට පාරදීසයන් නිර්මාණය කර දුන් කැරලි දෙකෙන් පසු යළිත් ඔවුන් කියන සම්මුතියෙන් මිදුණු දේශපාලනය එවැනිම වූ කටයුත්තක්ද? නොඑසේ නම් ඉන්ද්‍රජාලිකයක් ජනතාව හමුවේ ප්‍රදුර්හූත වන යූටෝපියානු දේශපාලන චින්තන්යක්ද? මින් දෙවැන්න එනම් මැජික් බලාපොරොත්තු වීම කවදත් ලාංකීය දේශපාලනය තුළ සිහින සමඟ බැඳී පැවති අතර ඒ වෙනුවට යථාර්තය විසින් නිර්මාණය කරනු ලැබුවේ ඛේදවාචකයන් පමණි. ලාංකික වාමාංශික මකුළුවා තම දැල වියනු ලැබුවේ ලෙහෙසියේනම් බලය නමැති මාංශ භක්ෂකයාට ගිල ගැනීමට පහසු වන ආකාරයෙන් මිස දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උදෙසා නොවේ.

සැබවින්ම ජවිපෙ සිටින සහ සිටි නායකයින් කිසිවෙකුට හෝ විජේවීර ගැන තුලනාත්මක විග්‍රහයක් තිබේනම් පුදුම විය යුතු කාරණයකි. මීට වසර හයකට පමණ පෙර ජවිපෙ තලවතුගොඩ කාර්යාලයේදී මා හා විමල් වීරවංශ මහතා අතර පැය ගණනක් පුරා විජේවීර මහතා ගැන ඇති වූ සාකච්චාවකදී ඔහු සෑම විටම සිදු කළ ලේ හැලීම් ගැන සාදාරණීකරණය කළා මිස තුලනාත්මක විවේචනයක් තිබුණේ නැත. සාකච්චාව අවසානයේ මියගිය දහස් ගණන් තරුණ තරුණියන් ගැන ඒ අකාරයෙන් සරලව කතා කිරීමට හැකි තරම් තක්කඩි සහ පිළිකුල් සහගත හැඟීමක් එවකට පක්ෂයේ ප්‍රචාරක ලේඛම් වරයා වශයෙන් සිටි ඔහුට ලැබුනේ කෙසේද යන්න ගැන පමණක් කණගාටුවක් මට දැනුණි. ලතින් ඇමෙරිකානුවන්ගේ විශේෂයෙන් වෙනුසියුලාව සහ කියුබාව ගැන මේ වන විට ජාතික නිදහස් පෙරමුණ නමැති දෙපැත්ත වැනෙන සංවිධානය ඔස්සේ කතා කරමින් සිටින්නේ එම වීරවංශම වේ. ඔහු ජාතිවාදය සහ සමාජවාදය නමැති දෙපැත්ත ඇති ගිරයට හසු වුනු පුවක් ගෙඩියක් හා සමාන චරිතයකි. තම යැපීම සඳහා ජාතිවාදයද දේශපාලන වුවමනාව සඳහා කුහක සමාජවදයද තෝරාගෙන ඇත. එසේම විවිධ අර්ථ කතන ඉදිරිපත් කළ ලාල් කාන්ත මහතාගේ නිවසේදී මා හමු වී සිදු කළ සාකච්චා වේදීද ප්‍රතිපලය එයම විය. වීරවංශ මහතා සඳහන් කළ පරිදි ( මීට වසර 06 කට පෙර) විජේවීර ඔහු දුටුවේ රැස්වීම් වලදී පමණි. ලාල් කාන්ත මහතාට ඒ ගැන නිශ්චිත අදහසක් නැත. කෙසේ වෙතත් මෙහිදී වැදගත් වන්නේ විජේවීර මුහුණට මුහුණ හමුවූයේද නැද්ද යන්න නොවේ, එනම් ඔහුගේ දේශපාලන දර්ශනය කෙතම් දුරට පක්ෂයේ මෙන්ම රටේ උන්නතිය උදෙසා පාවිච්චි කළේද, තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි කළේද, යන්න පමණි.

" දින කිහිපයකට කලින් ලිබියානු නායක කර්නල් මුවම්මර් අල් ගඩාෆිව නේටෝ හමුදාව විසින් අල්ලාගෙන වධ වේදනා දීලා ඉතාමත් මිලේච්ච ලෙස මරා දමනු ලැබුවා. යුද බිමේදී අල්ලාගත් සතුරකුට වුවත් ලබාදෙන අංශුමාත‍්‍ර ගෞරවයක්වත් ලබා නොදීයි ඔහුව මරා දමනු ලැබුවේ,' යැයි වෙනිසුයුලාවේ දේශපාලනය ගැන විශාරද ආදරවන්තයෙකු ලෙස පෙනී සිටීමට උත්සහ කරන විමල් වීරවංශ පසුගියදා ඉදිරිපත් කරනු ලැබූ අදහස කදිම විහිළුවකි. විජේවීර ගැන හෝ ප්‍රභාකරන් ගැන ඔහු එසේ කිව්වේදැයි නොදනිමු. නමුත් ගඩාෆිගේ මරණය හෝ විජේවීර මෙන්ම ප්‍රභාකරන් මරා දැමීමේ වෙනසක් නැත. වෙනස් ගඩාෆි ඝාතනය අපට පිටින් පිහිටි ප්‍රජාවක් හමුවේ සිදු වීමත් අනෙක් දෙදෙනා ඝාතනය කිරීම මෙම සිංහල බමුණු අධිපතිකාරී සමාජය හමුවේ සිදුවීමත් පමණි.

කෙසේ වෙතත් විසම්මුතිය මත පදනම් වූ දේශපාලනයක් සොයන ජවිපෙ කැරලිකාර කණ්ඩායමත් , තම පැවැත්ම පිළිබඳව වන අවුලක පැටලී සිටින සෝමවංශ කණ්ඩායමත් වේලි සිටින්නේ එකම මායාවක හැඩය වෙනස් කුලකයන් දෙකකය. මෙහි වාසිය ජවිපෙ නමැති ඉනිමඟ ඔස්සේ ඉහලට ගොස් පසුව සිංහල බමුණු ජාතිවාදය තම පැවැත්ම උදෙසා තෝරා ගත් වීරවංශ වැනි අයෙකු විසින් සම්පූර්ණයෙන්ම අත් පත් කර ගත හැකි මාවත සෙවිය හැකිය. එය අහිතකර වන්නේ එකී වාසී ලබා ගන්නා දෙපැත්ත කන්නාගේ චරිතය හමුවේ කිසිඳු සුජාත භාවයක් සිදු නොවන හෙයිනි. මේ නිසා ජවිපෙට අහිමිවීමට වඩා එහා ගිය දෙයක් විසම්මුතිය ඔස්සේ සිහින දකිමින් ගත කරන කාලය තුළදී ලැබෙන්නේ නැත. කෙටියෙන්ම කිවහොත් ඉන් ලැබෙන ඉටිගෙඩියක් නැත.

එසේම පෙර ලිපියට ප්‍රතිචාර වශයෙන් ලැබුණු ලිපියක සඳහන් වූ පරිදි ප්‍රතිසංස්කරණය නමැති රාමුවෙහි මා පැටලී සිටිනවා යැයි කීමම විහිළුවකි. එවැනි පැටලීමක මා පැටලී සිටින්නේද ප්‍රතිසංස්කරණය නමැති වචනයට මුවා වී ගූඪ මායාවක පැටලෙමින් කුහකත්වය මත පදනම් වන වෛරී දේශපාලනයක් තමන් විසින්ම නිර්මාණය කර ගනිමින් සිටින්නේද යන්න තම තමාම සිතා බැලිය යුතුය. යළිත් මතක් කළ යුත්තේ, මකුළුවා දැල වියන්නේ අහාර ලබා ගැනීමටය, ඒ සඳහා මකුළුවා එය තමන්ට වඩා ඉහල බලයකට කඩා දැමීමට හැකි තත්වයක් ඇති තැනක් තෝරා නොගැනීමට පරිස්සම් වේ. අවසාන විග්‍රහයේදී අප සියල්ල සටන් කරනු ලබන්නේ බලය උදෙසා මිස වෙන කිසිවක් සඳහා නොවේ. එසේම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් විසඳාගැනීම නව පක්ෂ ඔස්සේ දේශපාලනය කරනවාට වඩා ප්‍රයෝගික බව අවබෝධ කර ගැනීම වැදගත් වේ.

සමාජවාදය වූ කලී ලෝකයට සතුට වෙනුවට දුක, ත්‍රාසය, බලාපොරොත්තු රහිතකම ලබාදුන් සංකල්පයක් බව ඉතිහාසය උගන්වා ඇත. ඉන් නව ලිබරල් වාදය ශුද්ධ කිරීමේ වුවමනාවක් මට කොහෙත්ම නැති අතර එකිනෙකට එකක් සාපේක්ෂව තේරුම් ගැනිමේදී එය දැක ගත හැකිය. ලිබරල්වාදය ගැනද එවැනිම අදහසක් කෙනෙකුට ඉදිරිපත් කළ හැකිය. සමාජවාදය අවසානයේදී පරාජය වූයේ මන්ද? එනම් සමාජවාදය ස්ථාපිත කිරීමට ගිය සෑම අවස්ථාවකදී මෙන්ම එය නිමා වූ සෑම අවස්ථාවකදීම භයානක මිනිස් ඝාතන ඛේදවචකයන් සිදු විය. බර්ලින් තාප්පයට යටවී මාර්ක්ස් මිය ඇදෙන විට ඔහු කියුබාවේ යළි ඉපදුනේය; යැයි කියූ බොහෝ දෙනෙක් එසේ සඳහන් කරනු ලැබුවේ කියුබාවේ දේශපාලනය සහ කස්ත්‍රෝ පොතේ ගුරු මාර්ක්ස් වාදයෙන් අපගමනය වී සිදු කළ සමාජ මෙහෙවර ගැන නොකියවා ඔහුගේ සේයා රූ වලට හාදු දෙමිනි. මීට ඌනපුරකයක් ලෙස අල් ජසීරා රූපවාහිනිය සමඟ ඊයේ ( ඔක්තෝම්බර් 29 ) පැවැත් වූ සම්මුඛ සාකච්චාවකදී ප්‍රකට දාර්ශනිකයෙකු වන ස්ලවෝජ් ජිසේක් ඉදිරිපත් කළ අදහස් වලින් සාරාංශයක් උපුටා දැක්වීම වැදගත් වේ. " වත්මන් ලෝකය වඩාත් යථාර්තවාදී විකල්පයක් වෙතට තල්ලු වෙමින් තිබේ. මේ වන විට අපට සිදු වී ඇත්තේ ඇන්ග්ලෝ සැක්සන් නව ලිබරල් වාදයද - නොඑසේනම් ආසියානු අගනාකම් සහිත වූ චීන - සිංගපෝරියානු ධනවාදයට යන ද්විත්වය පමණි. ඒ සඳහා අපි කිසිවන් නොකරන්නේ නම් අපි අනුක්‍රමයෙන් නව මාදිලියක අධිපතිකාරීත්වයක් සඳහා තල්ලු වනු ඇත. අරාභී වසන්තය මඟින් මෙන්ම වෝල් ස්ට්‍රීට් ආක්‍රමණය හරහා ලෝකයට ලබා දෙන පණිවිඩය වන්නේ එයයි . මෙහිදී මතක තබා ගත යුතු වැදගත්තම කාරණය වන්නේ ධනවාදය සහ ප්‍රජාතත්‍රවාදය අතර ඇති විවාහය අවසන් වී ඇති බවයි," යනුවෙන් ජිසේක් සඳහන් කළේය. එසේම ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස පිළිගැනෙන ඉන්දියාව ඉතා පරෙස්සමින් විශ්ලේෂණයට බඳුන් කළ හෙතම ගාන්ධි විසින් හිට්ලර්ට වඩා විනාශයක් සිදුකළ නායකයෙක් බව සඳහන් කරයි. වික්ටර් අයිවන් මහතා කෙරෙහි පුද්ගලික තරහක් මා හට කිසිසේත්ම නොමැති නමුත් ඔහු විසින් කලින් කලට ඉදිපත් කරන දේශපාලන ගුණ කතන සහ නොදන්නා කම වසා ගැනීම සඳහා ලෝක ඉතිහාසයේ අහු මුළු වලින් ගෙන තම මතය අලංකරණය කිරීම ගැන විවේචනයක් තිබේ. එසේම ඔහු හිටපු ජවිපෙ සාමාජිකයෙකි. ජවිපෙ අර්බුදයට විසඳුම ලෙස මුලාවක පැටලෙමින් ගාන්ධිගේ සමාජ මෙහෙවර ශ්‍රී ලංකාවට ආදේශ කිරීමට ගිය අයිවන් මහතා වෙනුවෙන් පෙර ලිපියේදී ඉදිරිපත් කරනු ලැබුවේ එය සාර්ථක නොවන සහ බොරුවක් බව පෙන්වීමට මිස වෙනත් කාරණයක් පිරි මසා ගැනීමට නොවේ. එසේම ජනතා විමුක්ති පෙරමුණේ දෙපාර්ශවයටම අවබෝධ වී නැති කාරණය වන්නේ කැමති දේ කෑම සහ දෙන දේ කෑම අතර ඇති වෙනසයි.

Tell a Friend