ඊශ්‍රාලය: නිදහස්කිරීමට නියමිත සිරකරුවන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ.


l කිෂානි වැලිවිටිගොඩ 

හමාස් සංවිධානය විසින් අල්ලා ගනු ලැබූ ඊශ්‍රාල සොල්දාදුවකු ගිලාඩ් ශාලිට් යලිත් එම රටට භාර දීම සඳහා වන ගනුදෙනුවට අදාලව පළමු පියවර ලෙස ඊශ්‍රාලය විසින් නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් 777 දෙනෙකුගේ නම් මීට ස්වල්ප වෙලාවකට ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව අදාළ සිරකරුවන් ලබන අඟහරුවාදා නිදහස ලබනු ඇත. ඊශ්‍රාලයේ අධිකරණ අමාත්‍යංශයට අනුබද්ධ ඊශ්‍රාල බන්ධනාගාරයට අයත් වෙබ් අඩවිය විසින් ආදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කොට ඇති අතර එහි 450 දෙනෙකු පිරිමින් වන අතර 27 දෙනෙකු ස්ත්‍රීන් වේ. එසේම තවත් සිරකරුවන් 550 දෙනෙකු මාස 2 ක් ඇතුලත නිදහස් කිරීමට නියමිතය. කෙසේ වෙතත් අදාළ සිරකරුවන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරිමත් සමග එරට රුපවාහිනි සහ ගුවන් විදුලි මාධ්‍ය විසින් දීර්ඝ ලැයිස්තුව ප්‍රකාශ කළ අතර ඊට අදාළ ලැයිස්තුවේ බරපතල අපරාධකරුවන් සිටින බවට විවේචනය කළහ. 


විශේෂයෙන් නිදහස් කරනු ලබන ලැයිස්තුව අතර අහ්ලම් තමිමි සහ මොහමඩ් අල් ශාරදා නිදහස් කිරීම පිළිබඳව ඊශ්‍රාලයේ මාධ්‍ය විසින් බරපතල ලෙස විවේචනය කළේය. ඉන් තමිමි වසර 16 ක සිර දඬුවමක් ලබා සිටි අයකු වන අතර ඇයට එරෙහිව චෝදනා රැසක් තිබේ. හමාස් සංවිධානය සමග එකතු වීමට පෙර ඇය ජනමාධ්‍යවේදිනියකු වුවාය. පසුව හමාස් සංවිධානය සමග එකතු වී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා සැලසුම් කළාය. විශේෂයෙන් 2001 දී 15 දෙනෙකු මරා ගනිමින් ජෙරුසලමට එල්ල කළ බෝම්බ ප්‍රහාරය ඇය වගකිව යුතු බවට චෝදනා එල්ල විය. එසේම මොහමඩ් අල් ශාරදා 1989 දී ඊශ්‍රාලය සොල්දාදුවන් දෙදෙනෙකු පැහැරගෙන මරා දැමු හමාස් සංවිධානයේ 101 වෙනි බල ඇණියේ නායකයාය. ඔහු 1989 දී අත් අඩංගුවට ගත් අතර ඊශ්‍රාලය අධිකරණය විසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 3 ක් සහ තවත් වසර 30 ක සිර දඬුවමකට යටත් කළ අයෙකු වේ.


Tell a Friend