"යුවාන්" ලෙස හැඳින්වෙන මහජන චීන ජනරජයේ "රෙන්මින්බි" (Renminbi) මුදල් ඒකකය චීනය සමග සිදු කරන ආනයන - අපනයන ගනුදෙනුවලදී භාවිත කිරීමට කොමර්ෂල් බැංකුව විසින් ව්‍යාපාරිකයින්ට අවස්ථාව ලබා දී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "රෙන්මින්බි" මුදල් ඒකකය ජාත්‍යන්තර ගනුදෙනු සඳහා භාවිතයට ඉඩ ලබා දීම හේතු කොට ගෙන කොමර්ෂල් බැංකුව මෙම වරප්‍රසාදය සිය ගනුදෙනුකරුවන් උදෙසා ලබා දි තිබේ.
වර්ධනය වෙමින් පවතින චීන ශ්‍රී ලංකා වෙළෙඳ සහයෝගීතාවයෙහි වැදගත්කම අවබෝධ කර ගනිමින් ගනු ලැබූ මෙම පියවර හේතුවෙන් ජාත්‍යන්තර ගනුදෙනුවලදී සිදු වන විනිමය හුවමාරුවෙහිදී ඇති විය හැකි පාඩුව අවම කර ගත හැකි අතර වෙනත් විනිමය වර්ගයක් "යුවාන්" වලට හුවමාරු කිරීමේදී ගත වන කාලය අවම කර ගනිමින් සිදු කෙරෙන ද්විපාර්ශ්වික ගනුදෙනු තවත් ශක්තිමත් කර ගැනීම මෙහි අරමුණ වී තිබේ.
මෙම සේවාව තම ගනුදෙනුකාර භවතුන් වෙත ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුව මෑතකදී චීනයේ පුළුල් නියෝජනයක් ඇති මුල් පෙළේ ජාත්‍යන්තර බැංකුවක් සමග ගිවිසුමකට එළැඹිණ.
මෙහි ප්‍රතිඵලයක් ලෙසට චීනය සමග සිදු කෙරෙන ආනයන - අපනයන කටයුතු වලදී මිල ප්‍රකාශය "යුවාන්" මුදල් ඒකකයෙන්ම ගෙන්වා ගැන්මටත් ණයවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් කිරීම සඳහා ද මින් පෙර භාවිත කළ ඩොලර් වෙනුවට "යුවාන්" මුදල් ඒකකය භාවිත කිරීමට බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඉඩ කඩ හිමි වේ.
කොමර්ෂල් බැංකුවේ මධ්‍යගත ජාලය සමගින් බැංකු ශාඛා සම්බන්ධ වී ඇති බැවින් බැංකුවේ ඕනෑම ශාඛාවකින් මෙම "යුවාන්" ගනුදෙනු සිදු කර ගත හැකි බව බැංකුව පවසයි.
Post a Comment