කතු වැකිය : 18 වන සංශෝධනයට අවුරුද්දයි මාසයයි - දැන් මුළු රටම විනාශයි


මුල්ලේරියාවේ ඝනකයනට මුහුණ දීමට ස්වල්ප දිනකට පෙර තම චන්ද කොට්ටාශයේ හිතවතුන් ඇමතු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා කියා සිටියේ ව්‍යවස්ථාව නමැති ශාපය නැති කර දැමිය යුතු මඟක් සෙවිය යුතු බවය. මේ වීඩියෝ පටය දැන් අන්තර්ජාලයේ ඇත. තමන්ගේ ඝාතකයා බවට පත් වූ දුමින්ද සිල්වා වැනිවුන් බිහිව ඇත්තේ මෙම ව්‍යවස්ථාව නිසා බවද ඔහු කියා සිටියේය. ලංකාව තුළ සියලුම වර්ගයේ නරුමයින් රාජ්‍ය තන්ත්‍රයේත්, යුක්තිය පසිඳලීමේ සංස්ථාව තුළත්, බැංකු ක්ෂේත්‍රය තුළත් මෙන්ම මහා අපරාධ කරුවන් අතරත් විශාල බලපෑමක් ඇති කරමින් මුළු රටම අඝාදය කරා ඇද දමන ප්‍රධානතම හේතුව වශයෙන් මෙම ව්‍යවස්ථාව පවතී. එම ව්‍යවස්ථාව වඩාත් බලවත් කරමින් 18 වන සංශෝධනය එකතු කරන ලද්දේ දැනට 13 මාසයකට පෙරය. භාරත ලක්ෂමන්ගේ ඝාතනය ඇතුළු රට පුරාම පතලව පවතින අපරාධ රැල්ලේත්, අමන පාලනයේත් මුල මෙම ව්‍යවස්ථාවයි. එම ව්‍යවස්ථාව කෙරෙහි ඇති ජනතා වෛරයේ ප්‍රකාශනය බවට භාරත ලක්ෂමන්ගේ අදාහන උත්සවය පත්වීම පුදුමයක් නොවේ. ඔහුගේ තරුණ දියණිය ප්‍රකාශයට පත් කළා සේ මහජනයාට ඉතිරිව ඇත්තේ එකා මෙන් නැගී සිටීම පමණය.

භාරත ලක්ෂමන් ජීවිත කාලය පුරාම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් විය. එහෙත් ඔහුගේ ජීවිතය අවසාන දින තුළත්, ඔහුගේ මරණය තුළිනුත්, ආදාහනය තුළිනුත් ප්‍රකාශයට පත් වූයේ 1978 වන වර්ෂයේ ප්‍රකාශයට පත් වුණු යු.එන්. පී. ආණ්ඩුවේ ව්‍යවස්ථාවේ වහලෙකු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත් වී තිබීමයි. මෙහි කිසියම් අයිතිහාසික සරදමක් ඇත. 1979 මුල් වතාවට ප්‍රාදේශීය සභාවක නියෝජිතයෙකු වශයෙන් පත් වෙමින් ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි ඔහුගේ දේශපාලන කර්තව්‍යන් අතර කැපී පෙනෙන්නේ 1982 දී ජේ. ආර්. ජයවර්ධනට විරුද්ධව හෙක්ටර් කොබ්බැකඩුව වෙනුවෙන් විජය කුමාරතුංග සහ වෙනත් අය සමඟ එක්ව කරන ලද අයිතිහාසික කාර්යයි. එදා එම ප්‍රයත්නය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය උපරිම ශක්තියක තිබුණ අවස්ථාවකදීය. එවැනි අවස්තාවක පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සටන් පාඨය වූයේ යු.එන්.පී. ව්‍යවස්ථාව අළු කර දැමීමටය. 1994 දක්වාත් එම පොරොන්දුව පැවතියේය. එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක එම පොරොන්දුව ක්‍රියාත්මක කළේ නැත. ඉන් පසු මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාව අවලංගු කිරීමේ පොරොන්දුව දෙමින් ශ්‍රී ලංකා නිදහස පක්ෂයෙන් ජනාධිපති වරයා බවට පත් විය. ඔහු එම පොරොන්දුව කඩ කළා පමණක් නොව, යු. එන්. පී. ව්‍යවස්ථාවේ ප්‍රතිගාමිත්වයටත් වඩා ඉදිරියට යමින් 18 වන සංශෝධනය ඇති කළේය.


 යුද්ධයේ කීර්තිය මඟින් පුම්බා ගත් එකාධිපතිතවයේ 
බැලුම මුල්ලේරියාවේදී වෙඩි පහරට ලක්ව පුපුරා ගියේය. 
අද වෙන කාටත් වඩා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තම 
රටට සිදු වී ඇති විපත වටහා ගැනීමට පටන් ගෙන ඇත. 
එහි ප්‍රතිපල අනාගතයේදී ප්‍රකාශයට පත් වනවාට
 සැකයක් නැත.
මේ සියලු ක්‍රියාකාරිත්වය දෙස භාරත ලක්‍ෂ්මන් වැනි අය බලා සිටීමට ඇත්තේ කෙසේද? එක අතකින් පක්ෂයක් ගැන ඇති පක්ෂපාතිත්වයත්, අනෙක් අතින් පක්ෂය විසින්ම එහි ප්‍රතිපත්ති පාවා දී ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම වළලා දැමීම ඔහු වැන්නන් බලා සිටින්නට ඇත්තේ කොපමණ වේදනාවකින්ද? අවසානයේදී එම ඒකාධිපති ගමනේම ප්‍රතිපලයක් ලෙස රට මිලේච්චත්වයට වැටෙන තත්වයද බලා සිටීමට ඔහු වැන්නන්ට සිදු විය. ඒ මදිවාට පහත් අපරාධකාරයන්ගේ සමච්චලයට ඔහුගේ චන්ද කොට්ඨාශය තුළදීම ලක් වීමටද ඔහුට සිදු විය. එත් මදිවාට ජීවිතයෙන්ම වන්දි ගෙවීමටද ඔහුට සිදු විය. ඔහු විසින් දර දිය ඇදී නාකයන් විසින්ම ඔහු සමච්චලයට පත් කරමින් විනාශ කර දැම්මේය. ඔහුගේ අදාහනයෙදී රොක් වුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාව තුළින්ද ප්‍රකාශයට පත් වූයේ මෙවැනි දුෂ්ඨ දේශපාලනයක් පිළිබඳව පවතින වේදනාව සහ වෛරයයි.

ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඉතා වැදගත් සංදිස්ථානයක් කරා මහජනයා තල්ලු කරන සිද්දියක් බවට ඔහුගේ ඝාතනය සහ ආදාහනය පත් විය. යුද්ධයේ කීර්තිය මඟින් පුම්බා ගත් එකාධිපතිතවයේ බැලුම මුල්ලේරියාවේදී වෙඩි පහරට ලක්ව පුපුරා ගියේය. අද වෙන කාටත් වඩා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තම රටට සිදු වී ඇති විපත වටහා ගැනීමට පටන් ගෙන ඇත. එහි ප්‍රතිපල අනාගතයේදී ප්‍රකාශයට පත් වනවාට සැකයක් නැත.

Tell a Friend