කිෂානි වැලිවිටිගොඩ
ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කළේ යයි චෝදනා ලබූ විපක්ෂ ක්‍රියාකාරීන් 08 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමට බහරේන් හී හමුදා අධිකරණය පියවර ගෙන තිබේ. ආණ්ඩුවේ පුවත් ඒජන්සිය වන බහරේන් පුවත් ආයතනය අදාළ වාර්තා සනාථ කරමින් පසුගිය ජුනි මාසයෙදී විපක්ෂ ක්‍රියාකාරීන් 15 දෙනෙකුට විශේෂ හමුදා අධිකරණය මඟින් ජාතික ආරක්ෂාව යටතේ දඬුවම් ලබා දුන් බව ඊයේ වාර්තා කළේය. ඉන් 08 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කොට ඇති අතර අනෙක් අයට වසර 2 සිට 15 දක්වා සිර දඬුවම් නියම කොට තිබේ.
කෙසේ වෙතත් අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් සිවිල් උසාවිය ඉදිරියේ ඇපෑලක් ගොනු කළ හැකිය. එසේම එරට රජු හමාඩ් බින් ඉසාගේ සමාව යටතේ නිදහස් වීමට හැකියාව තිබේ. බහරේනයේ පසුගිය පෙබරවාරි මාසයේ සිට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවති අතර එහි අරමුණ වූයේ වසර 40 ක් තිස්සේ පවතින ඛලීෆා රජ පෙළපතේ අධිකාරීය ඉවත දමා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමය. ඇමෙරිකානු නාවික හමුදාවට අයත් මර්මස්ඨාන රැසක් පිහිටා ඇති බහරේනයේ පැවති උද්ඝෝෂණ වලින් විශාල පිරිසක් මරා දැමුණු අතර තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.

Post a Comment