මහාචාර්ය නලීන් ද සිල්වා බටහිර කුමන්ත්‍රණකරුවෙක්ද ?

අමිල ගුණරත්න

බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණ , බටහිර අධිරාජවාදී කුමන්ත්‍රණ පිළිබඳව භීතිය ලාංකිකයන්ට බෙදමින් තමාගේ මතවාදයට විරුද්ධ වන හැම එකාටම බටහිර කුමන්ත්‍රණකරුවෙක් යන ලේබලය ඇලවූ මහාචාර්ය නලීන් ද සිල්වා බටහිර කුමන්ත්‍රණකරුවෙක් බව ආණ්ඩුවේ මතවාදය පවත්වාගෙන යන දිනමිණ පුවත්පත කියා සිටියි. 2011 ජුනි 15 දින දිනමිණ පුවත්පතේ නුවන් කොඩිකාර විසින් ලියන ලද ලිපියකට අනුව මෙරට සහල් වල ආසනික් ඇති බවට මහාචාර්ය නලීන් ද සිල්වා ඇතුළු ඔහුගේ ගෝල බාලයන් ගෙන යන ප්‍රචාරණය මෙරට සහල් නිෂ්පාදනය දුර්වල කොට බහුජාතික සමාගම්වල ආහාර ද්‍රව්‍ය මෙරට ප්‍රචලිත කිරීම අරමුණු කොටගෙන වියාපාරික අභිප්‍රායවල් පෙරදැරි කොට ගෙන කරන දේශ ද්‍රෝහී ක්‍රියාවක් බව දිනමිණ පවසයි. මේ සම්බන්දයෙන් කරුණු දක්වන නුවන් කොඩිකාර මෙසේ කියා සිටයි.

සහල්වල ආසනික් රසායනය ඇති බවට ගෙන ගිය අසත්‍ය ප්‍රචාරය මෙම කුමන්ත්‍රණයේ මූලික උපක්‍රමය වී ඇති බවද අනාවරණය වෙයි. සහල් පරිභෝජනය ප්‍රචලිත වීම කඩාකප්පල් කිරීම සඳහා ඇතැම් කණ්ඩායම් උත්සාහයක නිරත වන බවක් හෙළිවී තිබේ. සහල්වල ආසනික් ඇති බවට ගෙන යන ප්‍රචාරය මුළුමණින්ම අසත්‍ය බව පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පවසයි. ඒ බව සනාථ කර ගැනීම සඳහා සහල් වර්ග 60 ක් ඇසුරින් කළ පර්යේෂණයකදී කිසිම හාල් වර්ගයක ආසනික් නැති බව තහවුරු කරගෙන තිබේ. මේ සියලු කරුණු අනාවරණය වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ආහාර සුරක්ෂිතතාව සහ ජීවන වියදම් පාලන කිරීම පිළිබඳ ඇමැති අනුකාරක සභාවේදීය. ශ්‍රී ලාංකිකයාගේ ප්‍රධාන දේශීය ආහාරය වූ බත්; කෑමට ගැනීම එපා කරවීම සඳහා විවිධ උපායමාර්ග ක්‍රියාත්මක වේ. ඒ මගින් සහල් නිෂ්පාදනය දුර්වල කොට බහුජාතික සමාගම්වල ආහාර ද්‍රව්‍ය මෙරට ප්‍රචලිත කිරීම ඉහත උපායමාර්ගවල ඉලක්කය වී තිබේ.මෙබඳු උපක්‍රම ගණනාවක් පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතින අතර බහුජාතික සමාගම් හා එම සමාගම්වල දේශීය නියෝජිතයන් බත් කෑම එපා කරවීමේ කුමන්ත්‍රණයක යෙදී ඇති බවද දැනගන්නට ලැබේ. මෙරට සහල්වල ආසනික් රසායනිකය ඇතැ’යි යන ප්‍රචාරය ද ඉහත කුමන්ත්‍රණයේ එක් අදියරක් බව දැනගන්නට ලැබේ. ( නුවන් කොඩිකාර 2011 ජුනි 15 දින දිනමිණ )

බටහිර විශ්වවිද්‍යාලවල තමන්ට කිසිම පිළිගැනීමක් නැති නිසාත් , තමා කළා යැයි කියන ඊනියා පරියේෂණ බටහිර විශ්වවිද්‍යාල තඹේකට ගණන් නොගන්න නිසාත් උරණවී බටහිරට හා බටහිර අධ්යාපනයට බැන බැන සිටින නලීන් ද සිල්වා මෙදා පාර අතගසා ඇත්තේ අමුතු ඇන්දිල්ලකට බව පෙනී යයි. යම් ලෙසකින් දිනමිණ පුවත්පත කියන්නේ සත්‍යයක් නම් දේශීය චින්තන තෙල බෙදමින් සිටි නලීන් එකවර කරුණා අම්මාන් සේ අංශක 180 පිම්මක් පැන්නාද යන්න ගැටලුවකි. කෙසේ නමුත් ලංකාවේ කුමන්ත්‍රණ න්‍යායේ පියාටද අන්තිමට බටහිර කුමන්ත්‍රණ කාඩ් එක වැදීමෙන් පෙනී යන්නේ කුමන්ත්‍රණ න්‍යායන්ට බ්රේක් නැති බවයි.

Tell a Friend