වෘත්තීය ගරුත්වයට නිගා දෙන අමනයන්

සුපුන් පෙරේරා 

මාද්‍යවේදිනි තුෂාරී කළුබෝවිල විසින් දිවයින පුවත්පතට ලියන ලද කාම බිලි ඉල්ලන සල්ලාල දොස්‌තරලා! යන ලිපිය ඉතා කාලෝචිතය. එම ලිපිය මගින් අප සමාජය තුල ඇතිවන තවත් ගැටලුවක් පිළිබඳව විමසුම් හෙලයි. අවාසනාවකට මෙන් මෑතකදී සිට වෘත්තිකයන් විසින් සිදු කරන කාම අපරාධ වැඩිවෙමින් පවතියි. මීට සති කීපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක නිලධාරියකුවූද පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්‌ත්‍රී දූෂණ චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාරගත විය. එසේම කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා පාසල් දැරියක්‌ අසාමාන්‍ය ලෙස පරීක්‍ෂාවට ලක්‌ කරමින් එය රහසිගතව කැමරාවකට හසු කරගත් සිදුවීම ද අහම්බෙන් මෙන් පොලිසියට හසු විය. මෙයින් මුළු ලංකාවම කම්පනයට ලක් කල සිදුවීම වුයේ මීගමුව රෝහලේදී ය. මීගමුව රෝහලේ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා චමිල නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට මීගමුව රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී. මීපුර නිවූස් වෙබ් පුවත්පත හෙළි කරන පරිදි දැනට ඇප මත නිදහස්ව සිටින මෙම සැකකරු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මීගමුව ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැල්ල මහතාට අයත් කුරණ දුම්රියපල අසල ස්ථානයක පුද්ගලික බෙහෙත් ශාලවක සේවය කරයි.

තුෂාරී කළුබෝවිල පවසන පරිදි මෙවැනි සිදුවීම් දිනෙන් දින ඉහළ යමින් තිබුණත් මේ සම්බන්ධයෙන් රජයේ සෞඛ්‍ය සේවක අධ්‍යක්‍ෂ හෝ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හෝ ඇමැතිවරයා දක්‌වා වූ නිලධාරීන් සැලකිය යුතු විනය ක්‍රියාමාර්ගයක්‌ ගත් බවක්‌ දක්‌නට නැත. චෝදනා ලැබූ වෛද්‍යවරු හා අනෙකුත් නිලධාරීන්ට ස්‌ථාන මාරුවීම් හැරෙන්නට ලබාදුන් දඬුවමක්‌ නැති තරම්ය. මීට බොහෝ උදාහරණ තිබේ. මීට වසර කීපයකට පෙර කළුබෝවිල රෝහලේ චර්ම රෝග අංශයේ වෛද්‍යවරයෙකු වූ කුමාර වනිගතුංගට තරුණියකට අයතා ලිංගික බලපෑමක් කිරීම සම්බදයෙන් චෝදනා ගොනු විය. එම තරුණියගේ ඥාතීන් රෝහල් අධිකාරිවරයටද සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන්ටද පැමිණිලි කළහ. නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් වෛද්‍ය කුමාර වනිගතුංගට එරෙහිව ගත්තේ නැත. පසුව වෛද්‍ය කුමාර වනිගතුංගව තලංගම රෝහලට මාරු කරන ලදී. එසේම නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු වූ විශේෂඥ වෛද්‍ය බී. ජී ඒ විද්‍යාතිලක මහතාට මීගමුව ආවේ මරියා රෝහලේදී යුද හමුදා සොල්දාදුවෙකුගේ තරුණ බිරිඳකට ලිංගික බලපෑමක් කිරීම සම්බන්දයෙන්ද චෝදනා තිබුණි. එයටද සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් කිසිදු පියවරක් ගත්තේ නැත. වෘත්තිකයන්ගේ අතවරයන්ට ලක්වන ගැහැණු පොලිසියට යාමට අකමැත්තක් දක්වති. එයට හේතුව පොලිසියේදී ඔවුන් ඉමහත් මානසික පීඩනයට ලක්වීමයි. එම නිසා බොහොමයක් අතවර වාර්තා නොවේ. එම නිසා දුෂකයන් යෙහෙන් සිටිති.

හොර දොස්තරලාගේ අතවරයන්ට ලක් වන රෝගීන්ගේ ගනනද අති විශාලය. ශ්‍රී ලංකා ගාර්ඩියන් පුවත්පත හෙළි කල වියාජ මනෝවිද්‍යාඥ ඩී. එස් රණවක කොල්ලුපිටියේ ස්ථානයක ලිංගික බෙලහීනතාවයට ප්‍රතිකාර කරයි. ඔහු ප්‍රතිකාර කරන්නේ සැමියාට සහ බිරිඳට වෙන වෙනමය. මෙම අසාමාන්‍ය ප්‍රතිකාර වලදී බොහෝ බිරින්දෑවරු ඔහුට ලිංගිකව ගොදුරු වෙති. තමා මහාචාර්ය ඩී. එස් රණවක බව කියාගන්නා මෙම පුද්ගලයා ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මියකගේ වැඩමුළුවකදී සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ දැරියකගේ නිරුවත බැලීමට ගොස් ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය විසින් ඉවත් කරන ලද පුද්ගලයෙකි. මෙවැනි ආකාරයට ලංකාවේ විසිරි සිටින 50,000 පමණ වන හොර දොස්තරලාට එදිරිව ක්‍රියාමාර්ගයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්රිපාල සිරිසේන තවමත් සමත් වී නැත.

වෘත්තීය ගරුත්වයට නිගා දෙමින් වැඩ කරන සුළුතරයක් වූ සල්ලාල දොස්‌තරලා නිසා මුළු වෛද්‍ය ක්‍ෂේත්‍රයම අවමානයට පත් වේ. වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගරුත්වය රකිමින් තම උතුම් සේවය රෝගීන්ට ලබා දෙන යහපත් ශිෂ්ට වෛද්‍යවරු බොහෝමයක් අප අතර සිටිති. එහෙත් අතළොස්‌සක්‌ වූ අමනයන් විසින් කරනු ලබන සදාචාර විරෝධී ක්‍රියාවන් නිසා සමස්ථ වෛද්‍ය ක්‍ෂේත්‍රයම නිගාවට පත් වේ.

Tell a Friend