යුද්ධ අපරාධ වාර්තාව සහ ශ්‍රී ලාංකික දේශපාලනය



සුනන්ද දේශප්‍රිය

පසුගිය සතියේ මෙම සටහන අවසන් කළ ප්‍රශ්ණයෙන් මෙම සතියේ සටහන පටන් ගනිමි. එනම් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම සාකච්ජා මාර්ගික විසදුමකින් අවසන් කිරිමට අවස්ථාවක් නොතිබුණේ ද යන ප්‍රශ්ණය යි. මෙම ප්‍රශ්ණය එනම් යුද්ධයේ මුලික හේතුව වූ දෙමළ ජනයාගේ සමාජ දේශපාලන සංස්කෘතික අයිතීන් රැකදෙනු ඇති දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීම, එජා මහලේකම් වාර්තාව මගින් ශ්‍රී ලංකාණ්ඩුවට සහ එල්ටීටීඊ ය යන දෙකට ම එල්ල වී ඇති යුද අපරාධ පිළිබඳ චෝදනා සංදර්භයෙහි නව වැදගත්කමක් ගනී. සාකච්ජා මාර්ගයෙන් එවැනි විසඳුමක් කරා එළඹීමේ අවස්ථා ඉතිහාසයෙහි තිබූ නමුත් 2006 වන විට සාකච්ජා මාර්ගික විසදුමක් සඳහා අවකාශයක් ඉතිරි වී තිබුණේ නැතැයි අයකු තර්ක කළ හැකි ය.

දෙපාර්ශවයම යුදවාදී ජයග්‍රහණයක් අපේක්ෂා කළ 2005න් පසු එළඹි අවධිය සාකච්ජා මාර්ගික සාමයකට අවස්ථාව ඉතිරි කර තිබුණේ නැත. සාමය එළඹෙනු ඇත්තේ යුදමය ජයග්‍රහණයෙන් පසු පමණක් බව සිය බලය කෙරෙහි විශ්වාසය තබා සිටි ප්‍රභාකරන් මෙන්ම රාජපක්ෂ ද විශ්වාස කළේ ය.

එම තත්ත්වය යටතේ කවර පාර්ශවයක් විසින් හෝ සාකච්ජා මාර්ගික විසදුමක් සඳහා සඳහා එකඟ විය හැකිව තිබුණේ යුද ශක්තියේ පදනම මත නොව මානව සහ සමාජීය වශයෙන් ඇති විය හැකි දීර්ඝ කාලීන සහ බරපතල හානි අවම කර ගැනීමේ මාර්ගයක් ලෙස ය. එය පැහැදිළිවම අසාධාරණ සාමයක් වීමට නියමිතව තිබුණි. එපමණක් නොව එය ඉතා දුෂ්කර සහ කල් ගන්නා පිළිවෙතක් වීමට ඉඩ තිබුණි. ඒ සඳහා ශ්‍රී ලංකාණ්ඩුව පාර්ශවයෙන් අවශ්‍ය ප්‍රධාන සාධකය වූයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සම්මුතිය යි. එවැනි සම්මුතියකට තිබූ අවසාන අවකාශය 2004 දී චන්ද්‍රිකා කුමංරතුග විසින් සිය බලය රැක ගැනීමේ පටු පරමාර්ථය පිණිස විනාශ කර දමන ලදී.

එමෙන්ම ජයග්‍රහණය සඳහා ගෙවීමට සිදුවන මානව සහ සමාජීය මිල ද ඒ විසින් ඇති කරනු ඇති අහිතකර දීර්ඝකාලීන විපාක පිළිබඳ කිසිදු තැකීමක් ද දෙපාර්ශයටම නොතිබූ තත්ත්වය තුළ සාමය යනුවෙන් අදහස් වූයේ අනෙකා දිනා ගැනීම නොව පරාජය කිරීම යි. 2006 වන විට යුද්ධමය බලතුලනයෙහි මිනිස් සහ ද්‍රව්‍යමය සම්පත් මෙන්ම අන්තර් ජාතික සබදතා අතින් ද මුලෝපායික වාසි රැදී තිබූ ශ්‍රී ලංකා රාජ්‍යයේ යුද ජයග්‍රහණය පෙර දැකිය හැකිව තිබුණි.

ශ්‍රී ලංකා සොල්දාදුවන් යුද බිමට ගියේ එක අතෙක තුවක්කුවත් අනෙත් අතෙහි මානව හිමිකම් ප්‍රඥාප්තියත් ඇතිව බව කීවේ අන් කවරකුවත් නොව ජනාධිපති රාජපක්ෂ ය. එහි සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම පාඨකයාට බාරය. මා දන්නා තරමින් නම් යුද්ධ භූමියෙහි තිබූ කිසිදු යුද හමුදා කඳවුර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥාප්තිය ඇතුළත් පොස්ටරයක් ප්‍රදර්ශණය කෙරුණේ නැත. එවැනි යුද හමුදා කඳවුරු තුළ පවත්වන ලද්දේ හුදෙක් යුදවාදයම ප්‍රශස්තියට නැංවූ දේශපාලන සංදර්ශන පමණි. එකළ යුද්ධය සහ මානව හිමිකම් සම්බන්දයෙන් කතා කළ පිරිස් සැළකුණේ මරා දැමිය යුතු ද්‍රෝහීන් ලෙස ය.

අනෙක් අතට යුද්ධයට සමගාමීව රාජපක්ෂ ආණ්ඩුව ජනවාර්ගික ප්‍රශ්නයට අදාළව තවත් දේශපාලන ක්‍රියාවලියක් පවත්වා ගෙන ගියේ ය. එනම් මෙරට ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් සෙවීමේ සර්ව පාක්ෂික සාකච්ජා මාලාව යි. එනමුත් අප යුද්ධයට ගියේ දේශපාලන විසදුමක් අනෙක් අතින් රැගෙන යැයි ජනාධිපති රාජපක්ෂ කිසිවටෙක කියා ඒ මන්ද? එම සර්ව පාක්ෂික සාකච්ජාචන්හි ප්‍රතිපලයක් ලෙස සකස් කරන ලද දේශපාලන විසදුම් යෝජනාව යුද්ධය අවසන් වූ සැනෙන් හමස් පෙට්ටියට දමන ලද නිසා ය. රජපක්ෂ ආණ්ඩුවේ යුද්ධ මතවාදය තුළ බලය ඛෙදීමේ සංකල්පයට තැනක් තිබුණේ නැත. එසේ නමුත් යුද්ධාවසානය වාර්තා කිරීමට ඉන්දියවට ගිය ජනාධිපති රාජපක්ෂ එහි දී ශපථ කළේ 13වන සංසෝධනය ඉක්මවූ විසඳුමක් ලබා දෙන බව යි.

බලය ඛෙදීමට සහමුලින් ම විරුද්ධ වූ බලවේග ගණනාවක් රාජපක්ෂ ආණ්ඩුවේ සිටියහ. ඒ අන්තවාදී සිංහල ජාතිකවාදය මත පදනම් වූ මහජන එක්සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ යි. දැන් මෙම දේශපාලන බලවේගයන්ට ආගමික සහ මතවාදී නායකත්වය සපයන කණ්ඩායමක් විසින් අලූත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ එජා මහ ලේකම් වාර්තාවෙහි එන නිර්දේශ පිළිගත් බැවින් දේශපාලන විසදුමක් සඳහා දෙමළ ජාතික සංධානය සමඟ කරගෙන යන සාකච්ජා වහාම නතර කළ යුතු බවයි. හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක එම පදනම මත දෙමළ සංධානය සමඟ සාකච්ජා කළ ආණ්ඩුවේ නියෝජිත පිරිසෙන් ඉවත් විය. ඇත්ත වශයෙන්ම නම් මේ කිසිවකු කිිසිම දිනෙක දේශපාලන විසදුමකට පක්ෂපාත වුයේ නැත. මේ අනුව දැන් අපට පෙනෙන්නේ එජා මහලේකම් වාර්තාව අවස්ථාවක් තර ගනිමින් දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයන් යටපත් කර දැමීමට දැරෙන උත්සාහය යි. එම කණ්ඩායම තවදුරටත් කියා සිටියේ මහ ලේකම් වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන කිසිදු ක්‍රියා මාර්ගයකට මෙයට පෙර දේශපාලන විසඳූම් ක්‍රියාවලියට සහාය දැක්වූ කිසිවකු සහභාගි කර නොකර ගත යුතු බවයි.

අනෙක් අතට එජා මහලේකම් වාර්තාව පිළිබඳ සිය විරෝධය දක්වන අතරම ආණ්ඩුවේ කොටස්කාර කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂ දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන් සැපිරෙන පරිදි දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළෝ ය. එක්සත් ජාතික පක්ෂය ද කියා සිටින්නේ දෙමළ ජනයාට දේශපාලන විසදූමක් ලබා දීම මේ අවස්ථාවේ අත්‍යවශය බව යි. ජනතා විමුක්ති පෙරමුණ මහ ලේකම් වාර්තාවට එක්ව මුහුණ දීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ස්ථාපිත කරන සේ ඉල්ලා සිටියා ය. දෙමළ ජාතික සංධානය කියා සිටියේ, හිටපු අගමැති වික්‍රමනායකගේ ඉල්ලා අස්වීම නොසළකා දේශපාලන විසදුමක් කරා වන සාකච්ජාවන්ට තමන් දිගටම සහභාගිවන බවයි. මේ අතර අන්තවාදී බලවේගයන්ගේ ඉල්ලීම ඉටු කරනු වෙනුවට රනිල් වික්‍රමසිංහගේ සාම සාකච්ජාවන්හි ප්‍රමුඛයකු වූත් ඇමෙරිකානු හිතවාදියකුවූත් මිලින්ද මොරගොඩ විදේශ කටයුතු සම්බන්ධ ජනාධිපති උපදේශක වශයෙන් පත් කර ගන්නා ලදී. හදිසි නීති සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ යම් යම රෙගුලාසි ලිහිල් කිරීමටත් තීරණය කර ඇතැයි ද වාර්තාවේ.

නමුත් යුද්ධයේ ප්‍රධාන හේතුව වූ දෙමළ ජනයාගේ සමාජ දේශපාලන සහ සංස්කෘතික ඉල්ලිම් සම්බන්ධයෙන් විසදුමක් තවම පෙනෙන මානයේ නැත. 70,000 ජනයා වාසය කරන මුලතිව් දිසාවෙහි ආරක්ෂාවට 70,000 යුද හමුදාව යොදවා තිඛෙන බවට පළ වී ඇති පුවතින් පෙන්නුම් කැරන්නේ යුද්ධයෙන් දෙවසරකට පසුත් දෙමළ ජනයා සිය විශ්වාසයට ගැනීමට ශ්‍රී ලංකාණ්ඩුව කොතෙක් අසමත් ව ඇත්ද යන්න යි. මෙවැනි තත්ත්වයක් යටතේ දෙමළ ජනයාට සැබෑ බලයක් ඛෙදා දෙනු ඇතැයි සිතීම ඉතා දුෂ්කර ය. යුද්ධ මතවාදය විසින් ගොඩනගන ලද ශ්‍රී ලාංකික රාජ්‍ය මතවාදය සෑම විටම දෙමළ ජනයා සළකනු ඇත්තේ යටත් කර තබා ගත යුතු ප්‍රජාවක් ලෙස විනා අයිතීන් ලබා දිය යුතු ප්‍රජාවක් ලෙස නොවේ. දීර්ඝ කාලීන වශයෙන් ඉතා හානි කරවන යුද්ධ මතවාදයේ එක් පැති කඩක් මෙය යි. අනෙක් පැතිකඩ වන්නේ මානව සහ ප්‍රජත්නත්‍රවාදී අයිතීන් සහිත සමාජයක් වෙනුවට අවශ්‍ය වන්නේ අත්තනෝමතික පාලනයක් බවයි.

මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යැවීමට නොව යුද්ධය සහ මානව හිමිකම් පිළිබඳ සාකච්ජාව අපට අවශ්‍ය කරන්නේ මෙන්න මේ නිසා ය. එනම් යුද්ධ මතවාදයෙන් ඉවතට පැමිණ යුද්ධයේ ඇත්ත තේරුම් ගැනීමටත් එහි මූල හේතූන්ට විසදුම් ලබා දී එහි ගොදුරු බවට පත්වූවනට නිසි ප්‍රතිකර්ම ලබා දීමත් පිණිස ය. යුද්ධ අපරාධ චෝදනා වාර්තාව ඊට අවස්ථාවක් ලබා දී තිබේ. එය මගහැර යාමට උත්සාහ දැරීම ප්‍රශ්ණය සදාකාලික කර ගැනීමකි. 

Tell a Friend