පුංචි ඡන්දය ජාත්‍යයන්තරයට දැනිමට නමි.......

තව දවසයි. ඒ පුංචි චන්දෙට. ආණ්ඩුවේ හොරනකරුවන්ගේ තේමාව චන්දය ජාත්‍යන්තරයට දැනෙන්නට බාවිතා කල යුතු බවයි. නමුත් මේ රටේ උතුරේ අසන්නට දකින්නට ලැබෙන දේ ජාත්‍යන්තරයට දැනෙන්නට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.

යාපනේ හමුදාව විසින් එහි ජනයා ලියාපදිංචි කිරීම වහා නතර කරන බව රටේ උත්තරීතර අදිකරණයේදී පැවසූ ආණ්ඩුව එය නතර කර නැත. මෙය අදිකරණයට අපහාස කිරීමකි. අනෙක් පසින් සියලු සාරදර්මයන් උල්ලංගනය කරමින් සුළු ජනයාගේ සිත් පරමින් කරනු ලබන කැත වැඩකි. මෙය ජාත්‍යන්තරයට ඉතා නරක චිත්‍රයක් ලබා දෙයි.

මෙවර පුංචි චන්දය හිතක් පපුවක් ඇති බහුතර ජනයාට ලැබුණු මාහැගි අවස්ථාවකි. මෙරට නිතිය අද වනවිට වල් වැදි ඇත. නීතියේ සමානතාවය මුද්‍රිත අකුරු පෙළක් පමණි. සාමාන්‍ය දුප්පත් ජනයාට පොලිසි උසාවි සහ බන්දනගරවලදී යුක්තිය එක්කෝ ඉටු නොවේ නැතිනම් මන්දගාමිය. රටේ අල්ලස සහ දුෂණය ඉපදෙන මොහොතේ සිට මරණය දක්වාම ගනුදෙනු කරන්නට ලැබෙන සෑම රාජ්‍ය ආයතනයකටම අඩු වැඩි වශයෙන් පැතුරුණු පිළිකාවක් බදුය. මෙය නීතියේ ආදිපත්යට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයටත් හානිදායකය.

යුද්දය අවසන් විය. එය අවස්ථාවක් පමණි. නමුත් විසදුමක් නොවේ. දෙමල ජනයා විඩාවට සහ පිඩාවට පත් කිරීම අනාගතයේ ඉතා කෙදනිය තත්වයක් ඇති කිරීමට හේතු වෙයි. යම්රටක ශිෂ්ට බව තීරණය වන්නේ එහි බහුතර ජනයා සුළුතර ජනයාට සලකන ආකාරය අනුවයි. බහුතරයේ ආණ්ඩුව සුළුතරය සම්බන්දයෙන් අකටයුතුකම් කරන විට වගකීම ඇත්තේ ඔවුන්ව බලයට පත් කල ජනයාටයි. මේ සදහා ඔවුන් සතු අවිහිංසක ක්‍රමවේදය සහ බලය චන්දයයි.

ඉතින් පුංචි චන්දය ගේ දොරකඩටම පැමිණ ඇත. ඉතින් මෙරට සුළු ජනයා පිඩාවට පත් නොකරන බව ජාත්‍යන්තරයට දෙනෙන ආකාරයට කතිරය ගසන්න.

හර්ෂි සි. පෙරේරා