ෆොන්සේකා සිර කළේ සුද්දන්ගේ නීතියට අනුවයි - රනිල්

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ


ආණ්‌ඩුව සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයා සිරකර තිබෙන්නේ හෙන්රි පේද්‍රික්‌ට මරණ දඬුවම නියම කළ හා අනගාරික ධර්මපාලතුමාගේ සොයුරු එඩ්මන් හේවාවිතාරණට වෙඩි තැබූ 1881 බ්‍රිතාන්‍ය හමුදා පනතට අනුව යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සුද්දන්ට බැණවදින ආණ්‌ඩුව සුද්දාගේ නීතිය යටතේම දේශප්‍රේමීන් බන්ධනාගාරගත කර ඇතැයි ද කී රනිල් වික්‍රමසිංහ මහතා සරත් ෆොන්සේකා නඩුවේ විනිශ්චයේ නිරීක්‍ෂණ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බව ද කීය.

1978 ව්‍යවස්‌ථාවෙන් හා 1972 ජනරජ ව්‍යවස්‌ථාවෙන් අහෝසි වූ රජුගේ පරමාධිකාරී බලතල සඳහා නැවත වලංගුභාවයක්‌ ලබාදී නොමැති අවස්‌ථාවක අධිකරණය මෙම නිරීක්‍ෂණ සලකා නැතැයි ද කී රනිල් වික්‍රමසිංහ මහතා 1881 හමුදා පනත යටතේ කටයුතු කරන්නේ නම් එය ජාත්‍යන්තර යුද අධිකරණයට මෙරට කටයුතු සඳහා අත දැමීමට අවස්‌ථාව උදාකිරීමක්‌ බව ද කීය.

තමන් රෝම ප්‍රඥප්තියට එදා අත්සන් නොකළේ ජාත්‍යන්තර යුද අධිකරණය ඉදිරියට මෙරට රණවිරුවන් ගෙන යැමට ඇති අකමැත්ත නිසා යෑයි ද හදිසි නීති විවාදයට එක්‌වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.


Tell a Friend