සිඟිති පුතු බලාසිටියදී පිහි ඇනුම් කෑ මව මියයයි

සෝමචන්ද්‍ර යකන්දාවල

අනවසරයෙන් නිවසකට ඇතුළුවී නිවස පිරිසිදු කරමින් සිටි මවට සිඟිති පුතු බලා සිටියදී උල් ආයුධයකින් ඇන පළා යැමෙන් අනතුරුව රෝහල් ගත කළ තරුණ මවක්‌ මරුමුවට පත්ව ඇත.

මෙම අනතුරින් මරුමුවට පත්ව ඇත්තේ දැරණියගල මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි වී. ජී. සුජාතා සෙනෙවිරත්න මැණිකේ (42) යන අය බව දැරණියගල පොලිසිය කියයි.

පෙරේදා රාත්‍රි (01 වැනිදා) 7.15 ට පමණ කිසියම් පුද්ගලයකු නිවසේ පිටුපස දොරෙන් ඇතුළුවී මෙම අපරාධය සිදු කොට පළාගොස්‌ ඇත. නිවසේ මවත් වයස අවුරුදු 8 ක්‌ පමණ වන පුතුත් පමණක්‌ එම අවස්‌ථාවේ සිට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලින් අනාවරණ වී ඇති අතර ස්‌වාමිපුරුෂයා හැටන් ප්‍රදේශයේ රැකියාවේ නියෑළෙන අයෙක්‌ බවද පොලිසිය පවසයි.

සිද්ධිය සිදු වීමෙන් පසු සිඟිති දරුවාගේ විලාපයට අසල් වැසියන් පැමිණ අනතුරට පත් කාන්තාව දැරණියගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තත්ත්වය අසාධ්‍ය බැවින් අවිස්‌සාවේල්ල මූලික රෝහලට මාරුකර යෑවීමෙන් අනතුරුව මියගොස්‌ ඇත.

කුමන අරමුණක්‌ සඳහා මෙවැනි සාහසික අපරාධයක්‌ සිදු කළේද යන්න පොලිසිය පුළුල් පරීක්‌ෂණ අරඹා ඇත.

මේ සම්බන්ධයෙන් දැරණියගල පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. අජිත් ප්‍රශන්න මහතාගේ උපදෙස්‌ පරිදි උ.පො.ප. අධිකාරම් මහතා හා පො. සැ. උපාලි යන මහත්වරු පරීක්‌ෂණ මෙහෙයවති.

Tell a Friend