මළ මිනිසුන් ගැන නොමළ ඇත්තක්


රෝහිත භාෂණ


ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජික නන්දන බාලගේ අපේ‍්‍රල් 05 වෙනිදා රාති‍්‍රයේ ගම්පහ කළගෙඩිහේනේදී වෙඩි තබා ඝාතනය කෙරිණ. ගම්පහ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ට්‍රොලියක් මත උඩුකුරුව වැතිර සිටි තුරුණු විය පියමන් කළ මිනිසෙකුගේ ලේ වැකි අඩවන් ඇස් කෙවෙණි යට දහතුන් අවුරුද්දක දුෂ්කර පූර්ණ කාලීන දේශපාලන දිවියේ නොතිත් විඩාව ඇතැම් විට සැඟව තිබුණා විය හැක. සැහැසි රාජ්‍ය මර්දනයේ කටු සැමිටියෙන් තලා දැමුණු අපේ‍්‍රල් විරුවන් තිස් අට වෙනි වතාවටත් සැමරූ ජවිපෙ සාමාජික සෙනඟ අපේ‍්‍රල් 08 වෙනිදා යළිත් ලිප්ටන් වටරවුම අවුරා නන්දන බාලගේ ඝාතනයට විරෝධය පෑහ. ඝාතනයේ වගකීම පිළිබඳ චෝදනාවෙන් පහර කෑ ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක, ‘කැබ් රිය ජානිපෙ වුවද, වෙඩික්කරු ජවිපෙ’ බවට ඒත්තු ගැන්වීමට ඉමහත් වෙහෙසක් ගෙන තිබිණ. ඔප්පු කරගන්නට හැකි වෙතොත්, එයත් බූකර් සම්මානයෙන් පිදිය යුතු තරමේ රමණීය ප‍්‍රබන්ධයක් වනවාට සැක නැත.

09 වෙනිදා මහනුවරට රැුස් වූ අවමඟුල් සෙනඟ ඇමතූ ජවිපෙ නායකයා මෙසේ කීවේය: ‘‘මේ වෙලාවේදී ආරක්‍ෂක හමුදා හා පොලිසිය කොටි පරාජය කරමින් ඉන්නවා. මේ ඝාතනය හරහා පෙනෙන්නේ එසේ පරාජය කරමින් තිබෙන ත‍්‍රස්තවාදය වෙනුවට වෙනත් ත‍්‍රස්තවාදයක් ස්ථාපිත කිරීමද යන ප‍්‍රශ්නය අපට නැෙඟනවා. මේ යන්නේ කොතැනටද? මේ ගමන කෙළවර වන්නේ කෲර ආඥාදායකත්වයකින්ද?…මේ ඝාතනය කළේ ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කළ අවියකින් නිසා ඝාතකයින් නීතිය හමුවට පමුණුවන්න ආණ්ඩුවට ලොකු වගකීමක් තිබෙනවා.’’

නමුත් ඒ මොහොත වන විටත් මුලතිවුහි නන්දිකඩල් කළපුවට උතුරු දිගින් විහිදුණු පුදුමාත්තලන් වෙරළ තීරය, ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නීත්‍යානුකූල බර අවි සඳහා නිදහස් මිනිස් දඩයම් බිමක් බවට පෙරළී තිබිණ. අපේ‍්‍රල් 12 වෙනිදා දෙමළ ජාතික සන්ධානය විසින් නිකුත් කළ ප‍්‍රවෘත්ති නිවේදනයකට අනුව ජනවාරියේ සිට 4,100ක් සිවිල් ජනයා මරණයට පත්ව තිබේ. 8,000කට වැඩි ජනයා තුවාල ලබා තිබේ. 12 වෙනිදායින් අවසන් වූ දින නවයක කාලය තුළ පමණක් මියගියවුන්ගේ සංඛ්‍යාව 707කි. ඒ සංඛ්‍යා දත්ත ‘ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නීත්‍යානුකූල අවි බලයේ’ ප‍්‍රති විපාකයැයි ජවිපෙ නොතකයි. නන්දන බාලගේගේ මරණය තරම් වැදගත් පණිවුඩයක් ඒ මළවුන් විසින් දකුණට නොගෙනාවේ එබැවිනි.

අපේ‍්‍රල් 11 වෙනිදා ලන්ඩන් ‘ගාඩියන්’ පත‍්‍රයේ කතුවැකියෙන් හෙළි කොට තිබු ආකාරයට 07 වෙනිදා පුදුමාත්තලන් රෝහලට 20 දෙනෙකුගේ මළ සිරුරු ගෙනැවිත් තිබිණ. තුවාල ලද 133 දෙනෙකු ඊට අමතර වශයෙනි. බදාදා මරණ ප‍්‍රමාණය 46කි. තුවාලකරුවන් 296කි. බ‍්‍රහ්පතින්දාවේ මළ සිරුරු 62කි. තුවාලකරුවන් 300කට වැඩි ය. ඒ වනාහී ප‍්‍රහාරයන්ගෙන් විසුණුව බිම්බත් වූ තවත් දුසිම් ගණන් මළවුන් අතහැර දැමූ විට යථාර්ථයයයි. අපේ‍්‍රල් 09 වෙනිදා නිකුත් කළ ‘හියුමන් රයිට්ස් වොච්’ නිවේදනයක් මගින් මේ සියළු තොරතුරු යළිත් සනාථ කොට තිබිණ. අපේ‍්‍රල් 08 වෙනිදා පොක්කනෛ ප‍්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයට එල්ල වූ ෂෙල් ප‍්‍රහාරයන්ට ගොදුරුව අඩුම ගණනින් 13 දෙනෙකු මියගොස්, 50 දෙනෙකුවත් තුවාල ලබන්නට ඇතැයි ඒ නිවේදනයෙන්ම කියැවිණ.

ඒ සියළු ලේ වැගිරීම් ආණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතියෙන් නිකුත් කළ අවි මගිනි. නමුත් ඒ මරණ කිසිවක් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ සහ ‘ආඥාදායකත්වය’ ගැන අංශුවක් තරමේ හෝ වැදගත් පාඩමක් දකුණට උගන්වන බව ජවිපෙ නායකයා කියා නොතිබිණ. නන්දන බාලගේ ඝානය කළදාම සන්ධ්‍යාවේදී ජවිපෙ නිකුත් කළ ‘උතුරේ සාර්ථක යුද මෙහෙයුම්’ පිළිබඳ සුබ පැතුම් නිවේදනය ඒ වෙනුවට ය. මහ වැසි මැද ඇද වැටෙන ෂෙල් වැසිවලට ගොදුරුව පුදුමාත්තලන් වැල්ලේ ‘ආරක්‍ෂිත අඩවිය’ තුළම සුණු විසුණු වන එකදු මිනිස් ප‍්‍රාණියෙක් ගැන එකම එක වචනයක් හෝ ඒ නිවේදනයේ නොවිණ. ‘මිනීමරුවන් රකින ආණ්ඩුව’ ගැන අපේ‍්‍රල් 08 වෙනිදා ලිප්ටන් වටරවුමේදී ජවිපෙ ලේකම්වරයාගේ උද්වේගකර කතාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාව සළකුණුව තිබුණේ සිංහලකමිනි. තුන් අවුරුද්දක් තිස්සේම ‘දෙමළුන් හඹා යමින්’ මිනීමැරූ ආණ්ඩුවක් බලයට පත්කළේ ‘ජනතා විමුක්ති පෙරමුණේ අපි’ යැයි සාඩම්බරයෙන් කීම මේ දක්වා ‘වමේ පිළිවෙතක්’ සේ සැළකිය හැක්කේ ඒ සිංහලකමේ හතර මායිම තුළ පමණි.

නමුත් දැන් ජවිපෙ දොරකඩ අලූත් මෘත දේහයකි. එය සිංහලයෙකුගේ ය. ජවිපෙ නගා සිටුවනු වස් ස්වාර්ථය යටකොට දිවා ? විඩා නොබලා වෙහෙස වූ සිංහලයෙකුගේ ය. ඒ නිසළ දෙණ වටකොට වියෝ ගින්නෙන් හඬා වැළපුණු මා පිය අඹු දරු වේදනාවන්, වන්නියේ රැුළි ගසන අසමසම මිනිස් වේදනාවන්ගෙන් වෙනස්වන්නේ එක් දෙයකිනි. ඒ සිංහලකමිනි. සිය අසල්වැසි ජනවර්ගයා උතුරේත් – දකුණේත් හඹා යමින් අමු අමුවේ දඩයම් කරමින් සිටින ආණ්ඩුවක ‘ත‍්‍රස්තවාදී’ හැඩරුව ගැන හදිසියේ කල්පනාවන් පහළ වන්නේ ඒ සිංහලකමේ වෙනසෙනි. නමුත් ඒ වෙනස මළවුන් නොදනී.

පහළොස් අවුරුද්දකට කලින් සූරියකන්ද මුදුනේ වන මූකලානෙන් මළවුන්ගේ ඇට කැබළි මතුව ආ සමයේ ඒ ගැන සංවේගයෙන් ලියූ උතුරේ දෙමළෙකු ‘‘ආචාරශීලීත්වය ගෙදරින් පටන් ගත යුතු’’යැයි දකුණට මතක් කොට දී තිබිණ. ඒ මතකයන් සූරියකන්දේම අත්හැර දමා ආ සමාජයක සන්සුන් දිවි මං අවුරා දැන් තවත් මළ මිනිසෙකි. ඒ නන්දන බාලගේ ය. හරියටම තිස් අට අවුරුද්දකට කලින් අපේ‍්‍රලයකදී සංහාරය වූ පරම්පරාවක හිස් මොළ දැදුරු කළ මූනිස්සම් මෙන්ම මේ මූනිස්සමද ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතියෙන් නිකුත් වූ එකකි. පුදුමාත්තලන් වැල්ලේ ළමා ළපටින් තුරුළු කොටගෙන මරු දකිනවුන්ගේ සිරුරු විසුණු කරණ ෂෙල් වෙඩි අනුමැතිය ලබන්නේද ඒ අමාත්‍යාංශ මුද්‍රාවෙන්ම යන්න බොරු කළ නොහැකි ඇත්තකි.

ජීවත්වන ජවිපෙ සාමාජිකයින් පිටුපා සිටින්නට කැමති මුත් ලේ වැකි අතීත සංහාර බිම්වල අවතාරයක් මෙන් ඒ ඉතිහාස ඇත්ත ඇවිදියි. ඒ ඇත්ත සිංහල-දෙමළකම් නොතකයි. ඒ, මළවුන් එය නොතකන බැවිනි.


Tell a Friend