දරුවාගේ පපුවට කොට්‌ටයක්‌ තියා කොඳු නාරටිය පෑගුවා

තුල්හිරියේ නාඩි වෙදකමෙන් මියගිය වතුරවෙල කිරිකැටියාගේ කතාව

 නිශ්ශංක සංජීව

රෝග සඳහා විවිධ ආකාරයේ ගොඩ වෙදකම් කරන්නට ගොස්‌ තම ජීවිතයෙන් වන්දි ගෙවූ මිනිසුන් පිළිබඳව අසන්නට ලැබුණේ අද ඊයේ සිට නොවේ.

එවන් වෙදකමක්‌ කරන්නට ගොස්‌ පුංචි සමනලියකගේ ජීවිතයක්‌ අහිමි වීමේ අවාසනාවන්ත පුවතක්‌ අපට කොස්‌ගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබිණ.

ඉසුරු මාවත, වතුරවෙල, කොස්‌ගොඩ ලිපිනයේ පදිංචිව සිටි සචිනි දිරුශාණි සඳුන් කුමාරි මෙම අවාසනාවන්ත මරණයට මුහුණදී තිබිණි. ඇයට දිනේෂ් වසන්ත කුමාර (06), පැතුම් දිණිසුරු සම්පත් (03) අයියලා දෙදෙනෙකි. මේ දුප්පත් පවුලේ එකම ගැහැනු දරුවා වූ මියගිය සිඟිති දියණිය මෙලොව එළිය දුටුවේ මීට වසරකුත් මාස අටකට පෙරය. උපතින්ම පපුවේ සිදුරක්‌ සහිත රෝගයකින් පෙළුණු ඇය මියයන්නට පෙර ඇවිදන් යන්නට නොහැකි වුවත් හොඳින් සෙල්ලම් කළාය. ඒ තමන්ගේ සෙල්ලම් කරත්තයට ගොඩවෙමිනි.

වෛද්‍යවරුන් පැවසුවේ සචිනි සුවකළ නොහැකි බවය. වෛද්‍යවරුන් කොතරම් එසේ පැවසුවද සචිනිව සුවකර ගැනීමේ අදහස මේ දෙමාපිය දෙදෙනා අත් නොහළහ.

වෛද්‍යවරුන්ගේ මතය එසේ වුවද මවක සහ පියෙකු දරුවා දිහා බලාගෙන මැරෙන්නට ඉඩදී බලා සිටිනු නැත. එය මේ රටේ පමණක්‌ නොව සකලවිධ ලෝකවාසී ජනී ජනයා පිළිගනු ඇත.

සචිනිගේ පියා වන ඊ. කේ. සරත් වසන්ත කුමාර (36) සහ මව වන කේ. ශාන්ති මහත්මියත් (32) පසුගිය 15 වැනිදා සචිනිත් රැගෙන ත්‍රීවිලරයකට ගොඩ වදින්නේ දියණියගේ රෝගය සුවකර ගැනීමේ අටියෙන් නිල අල්ලා වෙදකම් කරන වෙද මහතෙකු මුණ ගැසීමට යැම සඳහාය.

ඒ තුල්හිරිය ප්‍රදේශයටය. එනමුත් ත්‍රිරෝද රථයෙන් සුවසේ ගිය සචිනි නැවත ආවේ රෝගය සුව කරගෙන නම් නොවේ. අප එතැන් පටන් සචිනිගේ පියාගෙන් තොරතුරු විමසුවෙමු.

"අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි කියුවේ තුල්හිරිය ප්‍රදේශයේ නිල අල්ලලා වෙදකම් කරන වෙද මහත්තයෙක්‌ ගැන. ඒ කීම අනුව අපි ත්‍රිරෝද රථයකින් බිරිඳත් සමග දරුවව පසුගිය 15 වැනිදා තුල්හිරිය වෙද මහත්තයට පෙන්වන්න අරගෙන ගියා. වෙද මහත්තයා දරුවව බලලා කොට්‌ටයක්‌ පපුවට තියලා කොඳු නාරටිය පයින් පෑගුවා. ඒ එක්‌කම දරුවගෙ බෙල්ල කඩාගෙන වැටුණා. අපි හැකි ඉක්‌මණට වෙද මහත්තයත් එක්‌කම දරුවව අලව්ව රෝහලට රැගෙන ගියා. නමුත් වෛද්‍යවරු කිව්වා දරුවා මියගොස්‌ ඇති බව. අපි බැලුවේ දරුවව හොඳ කරගන්න. නමුත් අපිට සිද්ධ වූයේ දරුවව පෙට්‌ටියකින් ගෙදරට ගේන්න. මම කියන්නේ මේ වගේ බොරු කාර වෙද්දුන්ට හොඳක්‌ සිද්ධ වෙන්න එපා කියලා විතරයි. මොකද අපි දුප්පත් මිනිස්‌සු අපිට නඩු කියන්න බැහැ.

කිසිත් නොදත් පුංචි සචිනි ඇය සෙල්ලම් කළ බෝනික්‌කාද තනිකර තාත්තාත් අම්මාත් සමග මේ යන්නේ නැවත නොඑන ගමනක්‌ බව නොහැඟෙන්නට ඇත. එනමුත් පුංචි සචිනි ජීවිතයෙන් සමුගෙන ඇත. එනමුත් අපේ රටේ මෙවන් සිඟිත්තන් පමණක්‌ නොව වැඩිහිටියන්ද මෙවැනි වෙදකම් කරන්නට ගොස්‌ ජීවිතයෙන් වන්දි ගෙවූ බොහෝ අවස්‌ථා ඇත. දැන් පුංචි සචිනිගේ නාමයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇත. එය මේ රටේ නීතියට භාරය.

  Tell a Friend