හයිටියේ කොළරා වසංගතයෙන් තවත් 10,000ක් මිය යන බවට අනතුරු

පෝට් – අයු - ප්‍රින්ස්හිදී
ඒ. එෆ්. පී

හයිටියේ පෙරේදා ද යළි අරගල ඇතිවිණ. එරට පැතිරෙන කොලරා වසංගතයට මුල් වී යැයි චෝදනා ලැබ සිටින සාමසාධක හමුදාව සමඟ පෙරේදා ද උද්ඝෝෂකයෝ ගැටුණහ. මෙහි දී තවත් පුද්ගලයකු වෙඩි වැදීමෙන් මරණයට පත්ව තිබේ.

ඉකුත් ඔක්තෝම්බරයේ කොලරා වසංගත පැන නැගී තැන් පටන් මේ වන විට ඉන් මියගිය සංඛ්‍යාව 1100ක් වී ඇතැයි පවසන සෞඛ්‍ය්‍ය බලධාරීන්, රෝහල් ගත රෝගීන් සංඛ්‍යාව ද 18,382 දක්වා ඉහළ නැගි ඇති බැවින් 10,000ක පමණ පිරිසක් මියෙනු ඇතැයි බිය පලකොට තිබේ. තවද මේ වසංගතය හයිටියෙන් පිටතට ද පැතිරෙනු ඇතැයි විශ්වාසකෙරී තිබේ.

ඉදිරි මාස 6 සිට 12 දක්වා කාලයේ දී 20,0000ක පමණ පිරිසකට රෝගය ආසාදනය වනු ඇතැයි උපකල්පනය කෙරී ඇත. රෝගයෙන් මියෙන සංඛ්‍යාව 4% - 5% මට්ටමක පවත්වා ගත හැකි වූවහොත් තවත් 10,000ක පමණ පිරිසක් මියෙනු ඇති බව ද සඳහන් ව තිබේ.

හිස්පැනියෝලා දූපතේ හයිටියෙන් වෙන් ව තිබෙන ඩොමිනිකානු ජනරජයේ හා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාව දක්වා දුරකදී ද කොලරා රෝගීන් කීපදෙනකු සොයාගෙන තිබේ. කෙසේවෙතත් විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් සහන කටයුතුවලට බාධා සිදුවී ඇතැයි සහන සේවකයින් චෝදනා කැර ඇත. කැප් හයිටියන් නගරයේ දී විරෝධතා මැඩලීමේ දී කලින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති අතර පෙරේදා ඇති වූ ගැටුම්වල දී තවකෙකු වෙඩි වැදී මියගොස් තිබිණ.

. Tell a Friend