වීඩියෝ: චිලියේ භූගත සිරවු අය ගොඩ ගැනීමේ මහා මෙහෙයුම ඇරඹේ!



ඉකුත් අගෝස්තු 5දා පතල තුළ ඇති වූ කඩා වැටීමකින් සැන්ජෝස් නම් රන් හා තඹ පතලේ හිර වී සිටින්නේ චිලියානුවන් 32 දෙදෙනකු හා බොලීවියානු වෙකි.

ඉකුත් සඳුදා ඉන්ජිනේරුවන් විසින් නව ගැලවුම් මඟ වානේ සිලින්ඩර් යොදා ශක්තිමත් කිරීමෙන් පසු සෙ. මී. 53 (අඟල්21) ක් පළල ගැලවුම් කැප්සූලය පළමු අත්හදා බැලීම ලෙස මීටර් 610 (අඩි 1830)ක් පහළට පෙරේදා සාර්ථක ලෙස පහත් කරන ලදී.

කණින ලද සිදුරේ බිත්ති සුමට කිරීමෙන් ඇති විය හැකි අවදානම අඩුකර තිබේ. ගැලවුම සඳහා යොදා ගන්නා කූඩුව (කැප්සූලය) “ෆීනික්ස්” (යළි ඉපදීම) ලෙස නම් කර ඇත්තේ පොළව මතුපිටට පැමිණෙන කම්කරුවන් ඒ හා සමාන අත්දැකීමක් ලබනු ඇති බැවිනි.

චිලී කම්කරුවන් මුදා ගැනීමේ ෆීනික්ස් කැප්සූලය ක්‍රියාත්මක කැරෙන යන්ත්‍රයයි මේ. ඒ.එෆ්.පී

මීටර් 622ක ගැඹුර තරණයට විනාඩි 15ක පමණ කාලයක් ගත වනු ඇතැයි සැලකී තිබේ. එකිනෙකා ඉහළට ඔසවනු ලබන කැප්සූලය ඔවුන්ගේ උරහිස් පළලට තරම් වන පළලකින් යුක්ත ය. මතුපිටට ළඟා වීමට එක් අයකුට පැයක් හෝ ඊට වැඩි කාලයක් ගත වනු ඇතැයි පැවැසී තිබේ. මේ අනුව සම්පූර්ණ ක්‍රියාවලියට දෙ දිනක් වත් ගත වනු ඇත.

උඩට ඒමේ දී යම් හෙයකින් අර්බුදයක් පැන නැගුණොත් ඔවුනට කූඩුවේ පත්ලෙන් මිදී යළි පහළට රූටා ගිය හැකි ක්‍රමවේදයක් ද සකස් කැර ඇත. මේ අතර මුදා ගැනීමේ ක්‍රියාවලියේ දී කම්කරුවන්ට ඇති විය හැකි මානසික ආතතිය අවම කොට උත්තේජනයක් ඇති කරනු පිණිස ඔවුනට ශාරීරික අභ්‍යාසයන් ලබා දීමට වෛද්‍ය කණ්ඩායමක් කටයුතු කැර ඇත.

සෑම කම්කරුවකුම අභ්‍යවකාශගාමීන්ට යොදා ගන්නා ආකාරයේ සන්නාහයක් පැළදිය යුතුය. එය ඔවුන්ගේ හද ගැස්ම, ශ්වසනය, උෂ්ණත්වය හා ඔක්සිජන් භාවිතයට අනුගත වන ඉලෙක්ට්‍රෝඩවලින් සමන් විතය.

මෙතෙක් සිදුකැර ඇති පරීක්ෂණවලදී කම්කරුවන් ගේ හද ගැස්ම හා ශ්වසන ක්‍රියාවලිය මනා අයුරින් පැවැතිය ද ගැලවුම් ක්‍රියාවලියේ දී යමෙකු බියපත් විය හැකි බවත් පාෂාණමය සිදුරක් ඔස්සේ ඉහළට ගමන් ගැන්මේ දි ගැස්සීම් මෙන්ම සෙල්සියස් අංශක 30 (ෆැරන්හයිට් 86) ක පමණ උෂණත්වයක ගුලි වී සිටීමටද ඔවුනට සිදුවන බවත් වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
Tell a Friend