ඓතිහාසික දේශාටන චාරිකාවේ ෆාහියන් ලකුණ


අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා


චීන ජාතික ෆාහියන් තෙරණුවන් ලක්‌දිවට පැමිණ මෙම වසරට අවුරුදු 1600 ක්‌ සම්පූර්ණ වේ. ෆාහියන් හිමියන්ගේ මෙම දේශ සංචාරය ගැන සිය අදහස්‌ දක්‌වන විදේශීය ලේඛකයකු මෙසේ සඳහන් කර ඇත.

"පුරාණ කාලයේ සිට අද වන තුරු ලෝකයේ සිටි යම්තාක්‌ මනුෂ්‍යයන් අතරින් ඉතා පුදුම මනුෂ්‍යයා නම් ෆාහියන් භික්‍ෂුවයි. බුද්ධ ධර්මය නමැති ගංවතුර පෙරදිගට ගලන්නට පටන් ගත් කාලයේ සිට පරානුකම්පාවෙන් ධර්මය සොයා යැමේ යෙදුනා වූ කිසිවෙක්‌ මේ පුදුම මනුෂ්‍යයාට සම කළ නොහැක" යන්න එම සඳහනයි.

මෙවැනිs සුවිශේෂී හිමි නමක්‌ පිළිබඳව උන්වහන්සේගේ දේශ සංචාරයෙන් ලක්‌දිව ගමනට වසර 1600 ක්‌ පිරෙන මෙම අවස්‌ථාවේදී ඇගයීමක්‌ කිරිම වැදගත් යෑයි මා කල්පනා කරමි.

ලෝකයේ නිදාගෙන සිටින යෝධයා යෑයි හඳුන්වන චීනය මේ වන විට නින්දෙන් පිබිදී ඇත. යෝධයාගේ පිබිදීම හමුවේ මෙතෙක්‌ අවදියෙන් සිටි අඟුටුමිටි යෝධයෝ බිය වී ඇත්තේ හේතු සාධක ඇතුවය. කොමියුනිස්‌ට්‌ රටක්‌ ලෙස මා ඕ සේතුංගේ පාලනය තුළින් පරිවර්තනය වූ චීනය සාම්ප්‍රදායික කොමියුනිස්‌ට්‌වාදයේ ඉත්තෙක්‌ නොවීය. එය තම රටට සුදුසු පරිදි වෙනස්‌කර ගත් චීනය අද ශීඝ්‍ර දියුණුවක්‌ කරා පිය ඔසවමින් සිටී. ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කළ චීනයට මෙහෙණි සසුන ගෙන ගියේ ක්‍රි. ව. 429 - 433 අතර කාලය තුළ අප රටින් බව ඉතිහාසයේ සඳහන් වේ. එතරම් ඈතට ගිය චීන ලංකා සබඳතා ෆාහියන් තෙරණුවන්ගේ දේශ සංචාරය නිසා ඊටත් එහා ගිය දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියයි.

චීනය තුළ කොන්ෆියුසියස්‌ දහම, තා ඕ දහම හා බුදු දහම ප්‍රධාන වශයෙන් ව්‍යාප්තව පවතියි. චීනයට බුදු දහම ලැබුණේ ක්‍රි. වර්ෂ 67 දී පමණය. එසේ බුදු දහම ලැබී මේ ගෙවී යන්නේ 1943 වන වසරයි. එකල චීනයේ පාලකයා වූ මින් අධිරාජ්‍යයා අපූරු සිහිනයක්‌ දුටුවේය. ඔහු සිහිනයෙන් දුටුවේ, විදේශීය ආගමික ශාස්‌තෘවරයකුගේ ප්‍රතිමාවකි. පසුදින අවදි වී කල්පනා කළ මින් අධිරාජයා සිහින ඵලාපල කියන්නන් පිරිසක්‌ කැඳවා ඔහු දුටු සිහිනය පැහැදිලි කළේය. එම සිහිනයට අනුව ශාස්‌තෘ ප්‍රතිමාවේ හැඩහුරුකම් ඇති ආගමික නායකයා කවුද? සිටින්නේ කොහේද? ධර්මය කුමක්‌ද? යන්න සොයාගෙන එන ලෙස ඔහු ඊට සුදුසු පිරිස්‌ විදේශයන්ට යවන ලෙස අණ කළේය. මේ අනුව නොයෙක්‌ රට රාජ්‍යවලට ගිය පිරිස්‌ අතරෙන් ඉන්දියාවට ගිය නියෝජිතයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ ලැබිණි.

මධ්‍යම ඉන්දියාවට ගිය නියෝජිතයෝ බුදු දහම පිළිබඳව අසා දැනගෙන බුද්ධ ප්‍රතිමා ආදියද දැක බුදුරජාණන් වහන්සේ පිළිබඳව සියලු තොරතුරු දැන හදාරා සියල්ල නිසි ආකාරයෙන් විමසා අවබෝධ කරගෙන ඒ සියල්ල තෝරා බේරා දීමට ඉදිරිපත් වූ "මාතාංග" නමැති ස්‌වාමීන් වහන්සේට පැමිණි කරුණු කාරණා අවබෝධ කර දී උන්වහන්සේ සමඟ ආපසු චීනයට ගොස්‌ "මින්" රාජයා හමුවී දුටු සිහිනය අනුව බුදුහාමුදුරුවන් සහ ධර්මය පිළිබඳව කියා දී රජුට එම සිහිනයේ දර්ශනය වූ ශාස්‌තෘ ප්‍රතිමාවට සමාන බුද්ධ ප්‍රතිමා වහන්සේලා පෙන්වා එයින් පසු එම ප්‍රතිමා රජුට පරිත්‍යාග කර රජු බෞද්ධයකු බවට පත් කළහ. මෙම නව දහමින් හා පිළිවෙත්වලින් මහත් ප්‍රීSතියට පත් වු මින් අධිරාජයා චීනය පුරා බුදුදහම පතුරුවා හරින්නට පියවර ගත්හ. එයින් පසු ඉන්දියාවෙන් තවත් භික්‍ෂුන් වහන්සේ ගෙන්වා ගත් මාතාංග මාහිමියෝ සිය ධර්මදූත මෙහෙවර චීනය පුරා ව්‍යාප්ත කළහ.

ඉන්දියාවෙන් වැඩම කළ හිමිවරුන් වෙනුවෙන් "ශ්වේත අශ්වාරාමය" තනවා පූජා කළ මින් අධිරාජයා රට පුරා පන්සල් ආරාම තනවමින් රටවැසියන් බොදු මඟට ගනිමින් ක්‍රියා කරන්නට විය. මෙයින් ලක්‍ෂ සංඛ්‍යාත චීන ජාතිකයෝ බුදු දහමට එක්‌වෙමින් රජුට ආසිරි පතන්නට විය. මෙලෙස ව්‍යාප්තව ගිය චීන බුදු සසුන චීනයේ ජන ජීවිතයට ගෙන දුන්නේ නව ආලෝකයකි. චීනයේ රජවරු එතැන් සිට බුදු දහමේ ආභාෂය ලබා ගත් අතර එයින් වසර සිය ගණනකට පසු ලක්‌දිවෙන් මෙහෙණි සසුන ලබාගෙන භික්‍ෂු ශාසනය මෙන්ම භික්‍ෂුණි ශාසනය ද චීනයේ ස්‌ථාපිත කරන ලදී.

මෙලෙස චීනයේ බුදු දහම ස්‌ථාපිත වී වසර 343 ක්‌ ගිය පසු චීනයේ විසූ ෆාහියන් නම් භික්‍ෂුව බුදු දහම යළිත් ඒ සැටියෙන් ම ලබා ගෙන එන අදහසින් ඉන්දියාව බලා පිටත්වන්නට වූයේ දැඩි අධිෂ්ඨානයෙන් සහ පෙර පුණ්‍ය බල මහිමයෙනි. උන්වහන්සේ මෙම ගමනින් අදහස්‌ කළේ තම ශාස්‌තෘන් වහන්සේ උපන් හා විසූ ධර්මය දේශනා කළ රටටම ගොස්‌ බුදු දහම වඩාත් හොඳට දැන අවබෝධ කර ගෙන අවුත් චීනය ප්‍රබල බෞද්ධ රටක්‌ කිරීමය. මේ අනුව මීට වසර 1610 කට ඉහතදී ෆාහියන් හිමියෝ සිය ජීවිතය පරදුවට තබා නැව් නැංගේ ඒ උතුම් සද් කාර්යය ඉටු කර ගැනීමේ නොතිත් ආසාවෙනි. ජීවිතයත් මරණයත් අතර ඉතා දුෂ්කර ගමනාන්තයක්‌ ගෙවා ආපසු සිය දේශයට වැඩම කළ ෆාහියන් තෙරණුවෝ අප රටේ ද වසර දෙකක්‌ සංචාරක ජීවිතයක්‌ ගත කරමින් වැඩ වාසය කර යළි ආපසු සිය දේශයට ගොස්‌ ලියූ සටහන් අපට ද මහත් ආඩම්බරයකි. ඉන් බුද්ධාලම්භන ප්‍රීතිය ගෙන එන බව සඳහන් කළ යුතුය. එමෙන්ම එම දේශාටන සටහන් වාර්තා අප රටේ ඉතිහාසය, එකල පැවැති බෞද්ධ සංස්‌කෘතිය, ශාසනයේ සහ ආර්ථිකයේ දියුණුව, ජන ජීවිතය, රාජ්‍ය පාලනය සිරිත් විරිත් ආදී සියල්ල පිළිබඳව ලියූ තොරතුරු රටක්‌ වශයෙන් අපට ඉතා ප්‍රයෝජනවත් හා අර්ථවත් විවරණයන් ය. එමෙන්ම මහාවංශ කතුවරයා නොතකා හරින ලද දේවල් ෆාහියන් තෙරණුවෝ සිය වාර්තාවල මැනවින් සඳහන් කළහ. ඒ අතරින් අප රටේ දළදා පූජාවන් පිළිබඳව ලියන ලද විස්‌තර අදටත් ඉතා ප්‍රයෝජනවත් ය. මහාවංශ කතුවරයා නොදුටු අනුරාධපුරයේ දළදා පෙරහැර ගැන ෆාහියන් තෙරණුවෝ සිය කෘතියේ විස්‌තර කරනුයේ මේ අන්දමිනි.

"තුන්වන මස මැද හරියේදී බුදුරජුන්ගේ දළදාව මහජනයාට පෙන්වනු ලැබේ. රජ තෙමෙ මෙයට දින දහයකට කලින් කීමෙහි බිණීමෙහි සමත් මිනිසකු රජ හැඳුම්, පැළඳුම් හඳවා පළඳවා මොනොවට මහ ඇතක්‌හු පිටැනංවා නුවර හැවිදැ අණබෙර ගසා මෙසේ කියන්නට සලස්‌වයි."

බෝසතාණන් වහන්සේ තුන් අසෙකි කපක්‌ මහත් වැර වඩා පැරුම් පිරූ සේක. උන්වහන්සේ සිය සැප පහසු නොතකා සිය රජය ද සිය බිසව ද දරුවන්ද දන් දුන් සේක. තමන් ඇස්‌ උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක. සියලු සතුන් උදෙසා මේ සා මහත් දුක්‌ විඳ අවසැන ලොව්තුරා බුදු වූ සේක. බුදු වැද ලොවට දහම් දෙසමින් ලෝ වැස්‌සා නිසි මඟට බස්‌වමින් එකුන් පනස්‌වසක්‌ ලෝවැඩ කළ සේක. මෙසේ සිය මෙහෙය සපුරා සිදුකොට පිරිනිවන් පෑ සේක. උන්වහන්සේගේ පිරිනිවන් අවුරුදු 497 ක්‌ ගත විය. ලෝ ඇස පියවී පැවති මේ මුළු කාලයෙහි (ඔබ දක්‌නට නැත්තෙන්) ලෝ වැස්‌සෝ නිතරම සොවින් පෙළෙති. අද සිට දස දිනෙකින් ඒ බුදු රජුන් වහන්සේගේ දළදා එළියට වැඩම කරවා අබාගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමැති ගිහි පැවිදි සියල්ලෝ මඟ සම කෙරෙත්වා. කොමේ මගමේ සරසත්වා පුද පිණිස මල් හා සුවඳ පිළියෙල කෙරෙත්වා."

(දළදා ඉතිහාසය හා සංස්‌කෘතිය - පිටුව 291) කුඹුරුගමුවේ වජිර හිමි

දළදා පෙරහැර ගැන ඉපැරැණිම විස්‌තරය අපට හමුවන්නේ මෙම ෆාහියන් වාර්තාව ඇසුරෙනි. මහවංශ කතුවරයා මහා විහාරයට පක්‍ෂපාති වූ හෙයින් අභයගිරිය සම්බන්ධව වැදගත් තොරතුරු නොලියා අතහැරියේ පක්‍ෂග්‍රාහිතාව නිසාය. නමුත් ෆාහියන් තෙරණුවන්ගේ සටහන් ඉතා වැදගත් බව පෙනී යන්නේ මෙවිටදී ය. නමුත් ෆාහියන් තෙරණුවන්ගේ එම සටහන අනුව බු. වර්ෂ 497 වන විට ෆාහියන් හිමියන් ලංකාවට වැඩම කර ඇති බව පෙනී යයි. එසේ වී නම් ලක්‌දිවට ෆාහියන් හිමියන් වැඩම කර මෙම වසරට වසර 1603 කි.

කෙසේ වෙතත් පාහියන් තෙරණුවන්ගේ සංචාරක සටහන්වලදී ලංකාව පිළිබඳව ලියෑවුණු තොරතුරු ප්‍රමාණය බොහෝය. වසර දෙකක්‌ අප රටේ ගත කළ උන්වහන්සේ තමන් ලක්‌දිවට පැමිණීමට පෙර ඉතිහාසගත තොරතුරු ද ලියා තැබූහ. එයට අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන පිළිබඳ තොරතුරු විශේෂත්වයක්‌ ගනී.

මේ යුගයේදී ෆාහියන් හිමියන් අප රට හඳුන්වන්නේ "සිංහලය" වශයෙනි. වර්තමානයේ අප රට සිංහල රට යෑයි හඳුන්වන්නට බියෙන් සැලවෙන අයට ෆාහියන් හිමියන්ගේ සටහන් කියෑවීමෙන් එම බිය නැතිකර ගන්නට හොඳ ඖෂධයකි. උන්වහන්සේ සිංහල දේශය පිළිබඳව සටහන් කරනුයේ මෙසේය.

"රාජධානිය පිහිටියේ විශාල දිවයිනකය. නැගෙනහිර සිට බටහිරට එය යොදුන් 50 කි. උතුරේ සිට දකුණට දිගින් යොදුන් 30 කි. එහි වම්පස ද දකුණුපස කුඩා දූපත් සිය ගණනකි. ඒ දූපත් එකිනෙක අතර දුර ප්‍රමාණය ලී දහය විස්‌සක්‌ සහ සමහරක්‌ අතර ලී 200 ක්‌ ද වෙයි. මේ සියල්ල විශාල සිංහල දිවයිනට යටත් දූපත් ය. ඒවායින් බොහෝමයක මුතු ද විවිධ වර්ගවල මැණික්‌ ගල් ද ඇත. එයින් එකක ඉතා පැහැබර බෙරලියන්තු මුතු ඇත. එම දූපත ලී දහයක පමණ චතුරශ්‍රාකාර දූපතකි. රජතුමා එම දූපත ආරක්‍ෂා කර ගන්නට සහ බලා ගන්නට මිනිසුන් යොදවා ඇත. එහි ලැබෙන මුතුවලින් දහයෙන් තුනක්‌ම රාජ්‍ය භාණ්‌ඩාගාරයට හිමිය."

(චීන බුදු දහමට පෙර වදනක්‌ 135 පිටුව)

නමුත් අද සිංහලය සතුව එතරම් දූපත් ප්‍රමාණයක්‌ ලංකා ප්‍රධාන දූපතෙන් පිට තිබේද යන්න ප්‍රශ්නයකි. එමෙන්ම එලෙස මුතු ලැබෙන දූපතක්‌ අද අපට හිමිව නැත. අඩුම තරමින් එවැන්නක්‌ තිබුණු බවට සලකුණු ද නැත. මේවා මුහුදට දියවී යන්නට ඇතැයි සිතාගත හැක. නමුත් රටවැසියන් මීට වඩා ධාර්මික වන්නේ නම් සාධාරණ වන්නේ නම්, ගුණ යහපත් වන්නේ නම්, බුදු දහමට අනුව ජීවත් වන්නේ නම් නැති වී ගිය සියල්ල යළි මතුවීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එසේ නොවන්නේ නම් අප රට තව තවත් කුඩා වී රට මුහුදට තල්ලුවීම වළක්‌වා ගත නොහැකිය. එදා රට පාලනය කළ රජුගේ සාධාරණත්වය ආගමට දහමට තිබුණු ලැදියාව තුළින් ඇතිකර ගත් සිතුවිලිත් පන්සල් ආරාම සතුව තිබූ ධනයත් කියෑවෙන මහඟු සටහනකි මේ.

"රජු බ්‍රාහ්මණික පුද පූජාවල යෙදුණේය. රටවැස්‌සන්ගේ ආගම කෙරෙහි තිබුණු භක්‌තිය බෙහෙවි. රාජ්‍ය පාලනය පටන් ගත් පසුව නගරයේ දුර්භික්‍ෂයක්‌ හෝ විප්ලවයක්‌ හෝ කලබලකාරී අවස්‌ථාවක්‌ මතු නොවිණි. විහාරාරාමවල වටිනා මැණික්‌ සහ මුතු ද විය. රජු එක්‌ දිනක්‌ එවැනි විහාරයකට ගොස්‌ අවට බැලුවේ ඒ සා රන්, රිදී, මුතු මැණික්‌ දැක ඒවා තමාටම අයිතිකර ගන්නට සිතුවේය. තුන් දිනක්‌ ගත වුණු තැන ආපසු එතැනට පැමිණි රජු වහා සිරස නමා භික්‍ෂුන් ඉදිරියේ වැඳ වැටී සමාව ඉල්ලා ගත්තේය. රජුට මින් පසු විහාරාරාමයක භාණ්‌ඩාගාරයට ඇතුළුවීමට අවසර නොදිය යුතු යෑයි ආඥාවක්‌ පනවන ලෙස රජු භික්‍ෂුන් වහන්සේගෙන්ම ඉල්ලා සිටියේය. එසේම ඒ තුළට අවුරුදු හතළිහක්‌ ශාසනයේ ගත නොකළ කිසිම භික්‍ෂුවකට ද ඇතුළු වීමට තහනම් කරන ලෙස ද ඉල්ලුවේය."

(චීන බුදු දහමට පෙර වදනක්‌ 137 පිටුව)

අනුරාධපුරයේ වැඩ සිටි රහතන් වහන්සේ නමකගේ ආදාහන පූජෝත්සවයක්‌ රාජ්‍යානුග්‍රහයෙන් පවත්වන ලද ආකාරය ද ෆාහියන් තෙරණුවෝ සඳහන් කර ඇත. එමෙන්ම රජතුමා විසින් ආරාම පූජාවක්‌ සිදුකළ හැටි ඉතා ශ්‍රද්ධා සම්පන්නව සටහන් කර ඇති අයුරු මෙසේය.

"මෙකල සිටි රජතුමා බුද්ධ ධර්මය කෙරෙහි මහත් භක්‌ති පූර්වක වූයේ භික්‍ෂුන් වහන්සේලා සඳහා නව විහාරයක්‌ කිරීම සඳහා පළමුව මහා රැස්‌වීමක්‌ කැඳවීය. භික්‍ෂුන් දන් වළඳවා පිරිකර පරිත්‍යාග කොට හොඳ ගොනුන් දෙදෙනෙකු ගෙන්වා උන්ගේ අං වල රන් රිදී මුතු මැණික්‌ එල්ලවීය. රන් නඟුලක්‌ ද ගෙන්වා රජතුමාම විහාරය තැනවිය යුතු ඉඩමේ හතර වටේම හීයක්‌ ලකුණු කළේය. අනතුරුව රජතුමා එම බිම්කඩ හතර මායිමට ඇතුළත් ප්‍රදේශයේ වැසියන් ද ගෙවල් දොරවල් ද වතුපිටි ද ඇතුළුව භික්‍ෂු සංඝයාට පූජා කළේය.අනාගතයේදී ද එම දීමනාව කිසිවකුත් උල්ලංඝනය නොකළ යුතු යෑයි සන්නස්‌ පත්‍රයක ලියා ඇත්තේය"

(චීන බුදු දහමට පෙර වදනක්‌ 140 පිටුව)

මහාචාර්ය තිස්‌ස කාරියවසම් මහතා විසින් ලියන ලද චීන බුදු දහමට පෙරවදනක්‌" නමැති ග්‍රන්ථයේ ෆාහියන් දේශාටන කතාවේ ලක්‌දිව වැදගත් තොරතුරු සමහරක්‌ එලෙස සටහන් කර ඇත.

ක්‍රි. වර්ෂ 400 දී පමණ සිය නිජ භූමියේ සිට ඉන්දියාව බලා පිටත් වූ ෆාහියන් හිමියන් සමඟ තවත් ස්‌වාමීන් වහන්සේලා කිහිප නමක්‌ මේ ඓතිහාසික ගමනට එක්‌වූහ. කඳු, හෙල්, ගංගා, ඇළ, දොළ, කාන්තාර, රුදුරු වන සතුන් සිටින වනාන්තර ආදිය පසු කරමින් ගිය මෙම ගමනේදී සමහර හිමිවරුන් අතරමගදී අපවත් වු අතර, සමහරුන් ආපසු හැරී ආහ. වීර්ය පාරමිතා පුරන බෝසතාණ කෙනකු සේ අධිෂ්ඨානයෙන් ද කැපවීමෙන්ද වුවමනාවෙන් ද සිය ඉලක්‌කය කරා සෙමෙන් ඇදෙන්නෙකු සේ වසර දහයකට අධික කාලයක්‌ ඒ සඳහා කැප කළ ෆාහියන් හිමියෝ වර්තමාන නේපාලය, භූතානය, පාකිස්‌ථානය, බංග්ලාදේශය ආදී සියලු රටවල් පා ගමනින් ගෙවා දමා, ගන්ධාර. පෙෂවෝර්, කපිලවස්‌තු, කෝසල, බුද්ධගයා, බරණැස, කොසඹෑ ආදී බෞද්ධ අග නගරවලට පිවිසෙමින් ඒවායේ නවාතැන් ගනිමින් පිරිසිදු බුදු දහම ඉගෙන ගෙන වටිනා ධර්ම ග්‍රන්ථ පුස්‌කොල පොත්වල සටහන් කර ගත්හ. මේවායේ වැඩ වාසය කරමින් එකල සිටි මහා ධර්මධරයන්, විනයධරයන් හඳුනාගෙන ඇසුරු කළ ෆාහියන් හිමියෝ එම ප්‍රදේශවල සිටින අවධියේ දී එහි ආර්ථිකය, සමාජය, දේශපාලනය ආදි තොරතුරු ද අවධානයට ලක්‌කර ගත්හ.

ෆාහියන් තෙරණුවෝ මධ්‍යම ආසියාවේ බෝතාන් දෙසට වැඩම කරද්දී එහි බුදු පිළිම පෙරහැරක්‌ දුටු බව සඳහන් කරයි. ඒ අනුව මහයාන භික්‍ෂුන් වහන්සේ බුදු පිළිම රැගෙන පෙරහැරේ මුලින්ම වැඩම කළ අයුරු මෙහිදී සඳහන් වේ. මෙතුළින් ලැබෙන වැදගත්ම සාක්‍ෂිය වන්නේ මේ යුගය වන විට ආසියාවේ බුදුපිළිමය නිර්මාණය වී තිබුණු බවට ලැබෙන හේතු සාධකයි. මෙම ෆාහියන් දේශාටනයෙන් බෞද්ධ ලෝකය පිළිබඳව දැන ගන්නට ලැබෙන නිවැරැදි මං පෙත් අති විශාලය. මෙම යුගය ඉන්දියාවේ බෞද්ධකම දියුණු වූ රට ද ජනතාව ද සංවර්ධනය වූ යුගයක්‌ බව ෆාහියන් තෙරණුවෝ හෙළි කරති.

ඉන්දියාවේදී ලියා ගන්නා ධර්ම ග්‍රන්ථ රාශියක්‌ ද තුරුළු කොට ගෙන ශ්‍රී ලංකාවට හෙවත් සිංහලයට පැමිණි ෆාහියන් තෙරණුවෝ අප රටේ දැ අවුරුද්දක්‌ විසූහ. මේ රටේ සිටි කාලයේදී කළුතර දිසාවේ බුලත්සිංහල ආසන්නයේ ෆාහියන් ලෙනෙහි ද ටික කාලයක්‌ ගත කළ බවට අප රටේ සඳහන් වුවත් ෆාහියන් හිමියන්ගේ වාර්තාවල එසේ සඳහන් ව නැත. මේ වන විට අද ෆාහියන්ගල පිළිබඳව විශේෂයක්‌ එදා නොතිබීම මෙයට හේතුවක්‌ වන්නට පුළුවන. මේ අයුරින් උන්වහන්සේ අවුරුදු දහයකට වැඩි කාලයක්‌ සිටි තැන් පිළිබඳව ලියන්නට කියන්නට ගියා නම් ඒ සඳහාම විශාල මහන්සියක්‌ දැරීමට සිදුවෙනු නො අනුමානය.

ශ්‍රී ලංකාවේ සිට ආපසු සිය රට බලා වෙළෙඳ නැවකින් ගමන් කළ ෆාහියන් හිමියන්ට මෙම මුහුදු ගමනේදී විශාල අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය. එම සිද්ධිය නම් දෙසීයක්‌ පමණ නැගී ගිය එම නැව මුහුදු කුණාටුවකට හසුව අබලන්වීමයි. නැව ගල්පරයක හැපීම මීට හේතුවයි. මේ නිසා නැව ඇතුළට මුහුදු ජලය ගලා එන්නට වුයෙන් නැවේ බර සැහැල්ලු කර ගැනීම සඳහා නැව තුළ තිබෙන බඩු භාණ්‌ඩ මුහුදට දමන්නට තීරණය විය. මේ අනුව නැවේ වෙසෙන අයට අයත් බොහෝ දේවල් මුහුදට විසි කළහ. ෆාහියන් තෙරණුවන්ට ද තමාට අයත් දේවල් මුහුදට දමන්නට සිදුවිය. ඒ අනුව තමාට අයත් කෙණ්‌ඩියක්‌ ද සුලු සුලු භාණ්‌ඩ කිහිපයක්‌ ද මුහුදට දැමූ ෆාහියන් හිමියෝ තමා පණටත් වඩා ආදරයෙන් රැකගෙන ආ දහම් පොත් ආරක්‍ෂා කරගන්නට මහන්සි ගත්හ. නමුත් බොහෝ දෙනා ඒවා ද මුහුදට දමන ලෙස ෆාහියන් තෙරණුවන්ට ඇවිටිලි කළහ. නමුත් කිසිවක්‌ මුහුදට දැමීමට එකඟ නොවූ ෆාහියන් හිමියෝ ලෝක පාලක දෙවියන්ට සිදු වී ඇති විපතෙන් තමා ප්‍රමුඛ පිරිස ගලවා ගන්නා ලෙස අයෑද සිටියහ. එයින් පසු කුණාටුවේ සැඩ ගතිය පහව ගොස්‌ සන්සුන් වු පසුව එම නැව අසල දූපතකට යාත්‍රා කොට අලුත්වැඩියා කර ගෙන යළි ගමන අරඹා නැව චීනයේ නැව් තොටකට සේන්දු විය.

පස්‌වනක්‌ ප්‍රීතියෙන් යුතුව තම මව් දේශයට වැඩීම කළ ෆාහියන් හිමියෝ තමා ගෙන ආ දහම් පොත පත වටිනා බුද්ධ ප්‍රතිමා ද රැගෙන එම ප්‍රදේශයේ ආණ්‌ඩුකාරවරයා හමුවී ඔහුගෙන් බොහෝ ගෞරවාදරයට ලක්‌ව ගරු සැලකිලි ලබා ටික කලක්‌ එම ප්‍රදේශයේ නැවතී සිට තමන් වහන්සේ සිය ගමන ආරම්භ කළ "ජන්ගාන්" නගරය බලා ආපසු පිටත් විය. සිය ධර්ම දායාදයන් ද රැගෙන වැඩම කර "නැන්කින්" නමැති නගරයේ පිහිටි මහා විහාරයට ගොස්‌ එහි නැවතී ඉන්දියානු ජාතික "බුද්ධභද්‍ර" නම් භික්‍ෂුන් වහන්සේ සමඟ එකතුව සියලු දහම් පොත් චීන බසට පරිවර්තනය කරන්නට විය. එම දහම් පොත් පිටපත් සිය ගණනින් චීනය පුරා ව්‍යාප්තවීම තුළින් චීන ජනතාවට නිර්මල බුදු දහමේ පණිවිඩය ලබා ගන්නට මෙය ප්‍රබල පිටිවහලක්‌ විය. සිය ජීවිතයේ 65 වැනි වියේදී ඇරඹි මෙම විදේශ සංචාරය අවසන් කර ආපසු චීනයට පැමිණෙන විට ෆාහියන් තෙරණුවෝ අවුරුදු අසූවක වයෝවෘද්ධ මහ තෙර නමක්‌ බව අමතක කළ යුතු නැත.

ෆාහියන් හිමියන්ගේ ළමා කාලයද දුක්‌ කම්කටොළුවලින් පිරී ගිය සමයක්‌ විය. චීනයේ පීකිං අගනුවර සිට සැතපුම් 400 ක්‌ තරම් දුරින් පිහිටි "ෂාංහ්ෂි" නම් ප්‍රදේශයේ "යෑං" නමැති ගම්මානයේ විසූ සැදැහැවත් ගොවි පවුලක උපන් පාහියන් හිමියෝ එම පවුලට උපත ලද සිව්වන පිරිමි දරුවා විය. මොහුට අවුරුදු හත සම්පූර්ණ වෙත්දී වැඩිමහල් සහෝදරයන් තිදෙනාම අකාලයේ මියගියේ දරුණු රෝගයන්ට ගොදුරුවය. බාල දරුවා ද මෙයින් අනතුරට පත්වේ යෑයි සිතූ දෙමහල්ලෝ සිය දරුවා පන්සලට භාර කොට පැවිදි කළේ එම අනතුරෙන් බේරා ගන්නට ය. තම දරුවන් සිව්දෙනාම නොමැතිවීමෙන් පාළුවත්, කාන්සියත් දුකත්, වේදනාවත් දුරුකර ගන්නට පැවිදි කළ දරුවා සිවුරු පිටින් නවත්වා ගන්නට දෙමවුපියෝ උනන්දු වූහ. ඒ නිසා පුංචි සාමණේර හිමියෝ රෑත් දහවලත් වැඩි කාලයක්‌ ගත කළේ සිය නිවසේ ය. මෙසේ සිටියදී රෝග සතුරා ෆාහියන් සාමණේරයන් සොයාගෙන අවුත් සිටිය හෙයින් උන්වහන්සේ මාරාන්තික රෝගයකට ලක්‌වූහ. ඉතා බියට පත් දෙමාපියෝ ෆාහියන් හිමියන් ආපසු පන්සලට ගෙන අවුත් නවත්වා වෙද හෙදකම් කළ පසු යළි සුවපත් විය. එයින් පසු යළි කිසි දිනෙක සිය නිවසේ නවතින්නට නොගිය ෆාහියන් හිමියෝ සිය කුඩා සාමණේර මිතුරන් සමඟ පන්සලේ ඇති දැඩි විය. කුඩා කල සිටම නිර්භිත ගති ඇතිව වැඩුණු මේ හිමියෝ සිය පැවිදි හිමිවරුන් සමඟ සිය ආරාමයට අයත් කුඹුරු යායක අස්‌වනු කැපීමෙන් පසු සෙල්ලම් කරමින් සිටියේ සතුටු සාගරයක පිහිනා නටමින් ය. මෙසේ සතුටු වන පිරිසට පෙනුනේ ඈතින් පොලු මුගුරු සහ ගෝනි ආදිය රැගෙන එන සොරු කණ්‌ඩායමකි. මොවුන් ධාන්‍ය කපන කාලයට ඒවා සොරකම් කිරීමට ගොවිපළට පැමිණෙන ධාන්‍ය සොරුන් ය. මොවුන්ගේ බියකරු පැමිණිම දුටු සියලු කුඩා හිමිවරුන් පන්සලට දිව ගිය නමුත් ෆාහියන් කුඩා හාමුදුරුවෝ කුඹුරේම නැවතී සිටියහ.

සොරු පැමිණි පසු ඔවුන් ඇමතූ මෙම කුඩා ෆාහියන් හිමියෝ ඔවුනට දහම් කරුණු ටිකක්‌ සිහිපත් කර දුන්නේය. "ඔබලා මේ ධාන්‍ය අරගෙන යනවාට මගේ විරුද්ධත්වයක්‌ නැහැ. එය මට වළක්‌වන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් ඔබලාට කිව යුතු දෙයක්‌ තියෙනවා. ඔබලා පෙර සසරේදී සිල්වත්, ගුණවත් උතුමන්ට දන් දීල නැහැ. ඒ නිසා මේ භවයේදී ඉතා දුප්පත් වෙලා කිසිවක්‌ නොමැතිව ඉපදිලා තියෙනවා. එසේ තිබියදී ඔබලා දැන් කරන්නේ අන් අය වෙහෙස මහන්සියෙන් හදාගත් දේවල් බලහත්කාරයෙන් අරගෙන යන එක. මතු මරණයෙන් පසු නිරයේ උපදින ඔබලා කෙරේ මම ගොඩක්‌ම කනගාටු වෙනවා" මෙය ඇසූ සොරුන් ගෙන ආ පොලු මුගුරු ගෝනි ආදිය එතැනම දමා දුවන්නට වූයේ දමනය වූ පිරිසක්‌ පරිද්දෙනි. මෙම විස්‌තරය පසුව දැනගත් ආරාමයේ වැඩිහිටි හිමිවරු ෆාහියන් කුඩා හාමුදුරුවන්ගේ නිර්භීතකම, ධර්මයේ දැකීම හා අවබෝධකරදීමේ ශක්‌තිය පිළිබඳව මහත් සේ සතුටට පත්ව ප්‍රශංසා කළ අතර අනාගත දැක්‌මක්‌ ද තබා ගත්තේය.

මෙසේ සාමණේර අවධිය ගෙවී යද්දී 14 වන වියට පත් ෆාහියන් හිමියන්ට විශාල දුකක්‌ ගෙන දෙන කාරණයක්‌ සිදුවිය. ඒ සිය පියාණන්ගේ හදිසි අභාවයයි. පියාගේ මරණයෙන් පසු තනි වූ මව රැක බලා ගැනීමට සිවුරු හැර නිවෙසට එන ලෙස මවගේ සහෝදරයකු ෆාහියන් හිමියන්ගෙන් ඉල්ලා සිටියහ. නමුත් සිවුරු හැර ගිහි වෙස්‌ ගන්නට ෆාහින් හිමියන් අකමැති විය. මද කලකින් මවද මියගියහ. ෆාහියන් හිමියෝ එම මරණයෙන් පසු ගිහිගෙය සමඟ තිබූ සියලු සබඳතාවලින් නිදහස්‌ විය.

විසිවන වියට එළඹීමෙන් පසු අධිසිල් ලබාගත් ෆාහියන් හිමියෝ ධර්මය හදාරන්නටත්, උගන්වන්නටත් ධර්මය දේශනා කරන්නටත් විය. මෙසේ ධර්මයේ හැසිරෙන විට චීනයේ පවතින බුදු දහමේ ඌනතා වටහාගත් උන්වහන්සේ තමන්ගේ ශාස්‌තෲන්වන්සේ උපන් දේශයට ගොස්‌ ධර්මය හොඳින් දැන ඉගෙන අවුත් චීනයේ පතුරුවා හරින්නට හැකි නම් කොපමණ උසස්‌ ක්‍රියාවක්‌ ද යන සිතුවිල්ල ඇතිකර ගෙන සිය උත්තරීතර ව්‍යායාමයට පිවිසියහ.

මෙසේ සිය ගමන අරඹා ආපසු චීන දේශයට පැමිණ වසර අටක්‌ සිහි නුවණින් වැඩ විසූ ෆාහියන් තෙරණුවෝ ගෙනා ධර්මය චීන භාෂාවට පෙරළීම ද සිය ගමන් විස්‌තරය පිළිබඳව ලිවීම ද එම කාලය තුළ සිදු කළහ. මෙලෙස වසර 15 ක්‌ පමණ කාලයක්‌ සිය දෙපයේ වාරුවෙන් ගත් නිමල සවියෙන් ලොව ජයගත් ෆාහියන් මාහිමියෝ බෞද්ධ ලෝකයාට ආඩම්බරයකි. එමෙන්ම මහත් ගෞරවයකි. උන්වහන්සේගේ දීර්ඝ චාරිකාවේදී අප ලක්‌දිවටද වැඩම කර ලියූ සටහන්, හෙළිකළ පුවත් අප රටේ ඉතිහාසය නිරවුල් ව දැන ඉගෙන ගැනීමට පාදක විය. මෙරටට ෆාහියන් හිමියන් වැඩම කර වසර 1600 ක්‌ සපිරෙන මේ උතුම් අවස්‌ථාවේදී කෘතගුණ දන්නා ජාතියක්‌ වශයෙන් ඒ සදාදරණීය දේශ ගවේශක දහම්සොඬ ෆාහියන් මහා තෙරණුවෝ ගෞරවයෙන් යුතුව සිහිපත් කර වන්දනා කරමු.

Tell a Friend