බොරු චෝදනා මත සිසු නායකයින් අත්ඩංගුවට ගැනීම හෙළා දකිමු!

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ;

නිදහස් අධ්‍යාපනයට එල්ල වී ඇති තර්ජන පිළිබඳවත් ශිෂ්‍ය මර්දනය සඳහා ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳවත් දේශපාලන පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක නියැලී සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා අද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 14 වැනිදා සිදු වූ උද්ඝෝෂණයකට අදාළ චෝදනා මතය. මෙම චෝදනා අසත්‍ය ඒවා බව පැහැදිලිය. මෙම උද්ඝෝෂණය අවසන් වී සති දෙකක් පමණ කල් ගත වන තුරු පොලිසිය ඒ පිළිබඳව පියවරක් නොගෙන ආණ්ඩුව ගෙන යන ශිෂ්‍ය මර්දනය පිළිබඳව ශිෂ්‍ය ව්‍යාපාරය විසින් රට දැනුවත් කරනු ලබන අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. එමෙන්ම මේ වන විට විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගනු ලැබ සිටින සරසවි සිසුන් ගණන 28ක් වන අතර තවත් 200කට වැඩි පිරිසකගේ පංති තහනම් කොට තිබේ.

ආණ්ඩුව තමන්ට වඩා වෙනස් මත දරන සමාජ ක්‍රියාකාරිකයින් හා විපක්ෂයේ දේශපාලන නායකයින් ඇතුළු ආණ්ඩු විරෝධී සියල්ලන් බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන ඔවුන් සිරගත කිරීමට කටයුතු කරමින් සිටී. මේ පිළිබඳ උදාහරණ මෑත කාලයේදී ඕනෑ තරම් දැක ගත හැකි විය. ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීමද ආණ්ඩුවේ මෙම මර්දනකාරී ක්‍රියාපිළිවෙතේ එක් අවස්ථාවකි. එබැවින්, බොරු චෝදනා ඉදිරිපත් කරමින් ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග අපි දැඩි සේ හෙළා දකිමු. අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසු නායකයින් වහා නිදහස් කරන ලෙසද ආණ්ඩුවට බල කර සිටිමු.

අප රට තුළ උද්ගත වී ඇති මෙම තත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවගේ අයිතීන්ට එල්ල කරන ලද මරු පහරක් ලෙස දකින අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා පෙරට එන්නැයි සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Tell a Friend