අගමැති නැති නේපාලය අයාලේ ද?

නේපාලය අද පාලනය වන්නේ අන්තර් කාලීන ව්‍යවස්තාවක් යටතේ ය. ජන ආන්දෝලන නිරායුධ විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස එය 2007 ජනවාරි මාසයේ දී සම්මත කෙරුණේ නේපාල රාජාණ්ඩුවේ ව්‍යවස්ථාව ඉවත් කරමිනි.


සුනන්ද දේශප්‍රිය

හෙට එනම් අගෝස්තු 02 දා නේපාලයට තීරණාත්මක දිනයක් විය. ඒ එක් මාසයක් ඇතුලත තෙවැනි වතාවටත් අගමැතිවරයකු පත්කර ගැනීමට නේපාල පාර්ලිාම්න්තුවේ ජන්ද විමසීමක් එදින පැවැත් වූ බැවිනි. මංත්‍රිවරු 601දෙනෙකෙ=ගෙන් සමන්විත නේපාල පාර්ලිමේන්තුවේ අගමැති පදවිය ලබා ගැනීමට අවම වශයෙන් මංත්‍රීවරුන් 301 දෙනෙකුගේ සහාය තිබිය යුතු ය. ඒ සරළ බහුතරය යි. නමුත් මේ අවස්ථාවේ දී ද කිසිදු අගමැති අපේක්ෂකයකුට අගමැති තනතුරු ලබා ගැනීමට අවශ්‍ය ජන්ද ප්‍රමාණය ලැබුණේ නැත.

මීට පෙර අවසාන වතාවට පාර්ලිමේන්තුවේ අගමැති ජන්දය පැවැතියේ පූනි 23 දා ය। දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් 200 කට වඩා ප්‍රතිඵලය අපේක්ෂාවෙන් මධ්‍යහනයේ සිටම රැදී සිටි නමුත් පාර්ලිමේන්තු සැසිය පටන් ගැනුණේ පැය හතකට පසු ය. ඒ තරඟකරුවන් විවිධ පක්ෂ සහාය ලබා ගනු වස් අනේක සාකච්ජාවන්හි යෙදී සිටි නිසා ය. තරඟකරුවන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටියේ ය. එක් අයකු නම් මාඕවාදී සන්නද්ධ අරගලයේ නායකයා වූ ප්‍රචණ්ඩ නමින් පරසිඳු පුෂ්ප කුමාර් දහාල් ය. අනෙකා නම් නේපාලි කොන්ග්‍රසයේ රාම් චන්ද්‍ර පෞදල් ය. මාඕවාදී කොම්යුනිස්ට් පක්ෂයේ අගමැති අපේක්ෂක දහාල්ට පක්ෂව ජන්ද 241ක් ද විරුද්ධව ජන්ද 113ක් ද ලැබුණු අතර 221ක් මංත්‍රිවරු දෙනෙකු ජන්දය දීමෙන් වැලකී සිටියේ ය. නේපාලි ක්‍රොන්ග්‍රසයේ පෞදල්ට පක්ෂයව ජන්ද 123ක් ද විපක්ෂව 241ක් ද ලැබුණු අතර මංත්‍රීවරු 214 දෙනෙකු ජන්දය දීමෙන් වැළකී සිටියේ ය. මංත්‍රීවරුන් 29 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත.

හිටපු අගමැති මදෙව් කුමාර් නේපාල් ස්ථාවර ආණ්ඩුවකට ඉඩ සළසනු පිනිස ඉල්ලා අස්වූයේ පසුගිය ජූනි 07 දාය. ඔහු නියෝජනය කළේ නේපාල (එක්සත් මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂය යි. ඔහුට පාර්ලිමේනතුවේ සියළු දේශපාලන පක්ෂයන්හි නාමික සහයෝගය ආරම්භයේ දී තිබුණ ද නේපාලන වෙළාගෙන ඇති දේශපාලන අර්බූදයට ඔහු ද හසු විය. නේපාලයට නව ව්‍යවස්ථාවක් සකස්කර අවසන් විය යුතු බවට ගිවිස ගත් 2010 මැයි 28දා ඉක්ම ගියේ එතෙකුදුත් ව්‍යවස්ථා සංකච්ජා පැවැතෙමින් තිබියදී ය. උග්‍ර වූ දේශපාලන අර්බූදය හමූයේ අගමැති මදෙව් කුමාර් දහාල් මාස 13ක් ආණ්ඩු කිරීමෙන් පසු ඉල්ලා අස්විය.

නේපාලය අද පාලනය වන්නේ අන්තර් කාලීන ව්‍යවස්තාවක් යටතේ ය. ජන ආන්දෝලන නිරායුධ විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස එය 2007 ජනවාරි මාසයේ දී සම්මත කෙරුණේ නේපාල රාජාණ්ඩුවේ ව්‍යවස්ථාව ඉවත් කරමිනි.


2008 අප්‍රේල් මාසයේ පැවැති ව්‍යවස්ථා දායක සභාවක් සඳහා වූ පාර්ල්මේන්තු මැතිවරණයෙන් පසු වැඩිම ආසන ගණනාවක් දිනා ගත්තේ සන්නද්ධ අරගලයේ යෙදී සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණි මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය යි.

අනතුරුව එය සියළු පක්ෂයන්හි සහාය ඇතිව ආණ්ඩුවක් පිහිටු වූයේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවළිය මූලික අරමුණ කරගෙන ය. නමුත් නේපාල යුදහමුදා සෙන්පති ඉවත් කළ යුතු බවට සිය යොජනාව සාර්ථක නොවීම හේතුවක් සේ දක්වා 2009 මැයි මාසයේ දී මාඕවාදී නායක ප්‍රචන්ඩ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ හුදෙක් මාස 9යක් ආණ්ඩුව පවත්වා ගෙන යෑමෙන් පසු ය.

නේපාලයේ වත්මන් පාර්ලිමේන්තුවෙහි ආසන 239ක් මාඕවාදීන් සතුවන අතර නේපාල ක්‍රොන්ග්‍රසයට ආසන 110ක් ද නේපාල එක්සත් කොමියනිස්ට් පක්ෂයට ආසන 109ක්ද තරායි ජනබල පෙරමුණ නම් මදේශී ප්‍රාදේශිය පක්ෂයට ආසන 52ක් ද හිමි අතර තරායි මදේශී පක්ෂය ආසන 20ක් නියෝජනය කරයි. පාර්ලිමේන්තුවෙහි ඉතිරි ආසන 68 කුඩා පක්ෂ අතර ඛෙදී ගොස් තිබේ.

මධ්‍යදේශ් යන අදහස ඇති තරායි - මදේශී ප්‍රදේශය පදනම් කොට ගත් ප්‍රාදේශිය දේශපාලනය නේපාලයේ තීරණාත්මක සාධකයක් බවට පත්වෙමින් තිබේ. අංක ගණිතමය අර්බූදය ඇත්තේ එක්සත් කොම්යුනිස්ට් පක්ෂය සහ ප්‍රාදේශීය තරායි පක්ෂ කිසිවකුට අගමැති තරඟයේ දී සහාය නොදීමට තීරණය කර ඇති නිසා ය.

දේශපාලන අර්බූදය ඊට වඩා ගැඹුරට යයි. පාර්ලිමේන්තුවෙහි වැඩි බලයක් හිමි මාඕවාදීන්ට යළි නේපාලයේ අගමැති තනතුර ලබා ගත හැකි එකම ක්‍රමය තරායි මදේශී ප්‍රාදේ්ශිය පක්ෂයන්හි සහාය ලබා ගැනීම ය. දිස්ත්‍රික්ක 20කින් සමන්විත විශාල මදේශී කලාපය පිහිටා ඇත්තේ ඉන්දියානු දේශසීමාවට යාබදව ය. මදේශී ජනයාට බොහෝ කොටම ඉන්දියානු සම්භවයක් ඇති අතර දීර්ඝ කාලයක් තිස්සේ වාර්ගික පීඩනයකට හසුව සිටිති. සිය සහයෝගය අවශ්‍ය නම් කොන්දේසි තුනකට එකඟ විය යුතු බව තරායි ප්‍රාදේශිය පක්ෂ ප්‍රසිද්ධ කර තිබේ. ඒ අතර ප්‍රමුඛ වන්නේ —එක් මධ්‍යප්‍රදේශයක්, එක් කලාපයක්˜ යන ඉල්ලීමයි. දෙවනුව නේපාල හමුදාව සියළු ජනකොටස් ඇතුළත් කරගත යුතු බවත් තෙවනුව සිය කලාපයෙහි කැරෙන දැව ජාවාරම් නතර කළ යුතු බවත් ඔව්හු ඉල්ලා සිටිති. මෙම ඉල්ලීම් වලට ප්‍රසිද්ධයේ එකඟ වන්නේ නම් සන්න්දධ අරගලයේ නායකයා වූ පුෂ්ප කුමාර් දහාල් නොහොත් ප්‍රචණ්ඩ හෙට එනම් අගොස්තු 02 දා නේපාලයේ අගමැති වශයෙන් පත් වනවා ඇත.

නමුත් දේශපාලන පෙළගැසීම් පෙන්වන්නේ විප්ලවය සහ ප්‍රතිසංස්කරණය අතර හිර වූ නේපාලයේ දේශපාලන අර්බූදය තව තවත් උත්සන්න වීමට ඉඩ ඇති බව යි. 2008 මහා මැතිවරණයෙන් අනපේක්ෂිත ලෙස ආසන 229ක් දිනා ගත් මාඕවාදීහු තමන් ලද ආණ්ඩු බලය අත් හැරීම මෙම අර්බූදයේ මතු පිට ප්‍රකාශණය විය.

ආරක්ෂ ඇමැතිධුරය සහ අගමැති ධූරය සහිත සිය ආණ්ඩු බලය අත්හළ මාඕවාදීහු අගමැතිවරයා වශයෙන් මදෙව් කුමාර් නේපාල්ට සහාය ලබා දුන් නමුත් ඉක්මණින්ම ඔහු සමඟ විරසක වී ආණ්ඩුව පෙරළා දැමීම සිය කාර්ය ය බවට පත් කර ගත්තේ ය. මදෙව් කුමාර් දුර්වල අගමැතිවරයකු විය. ඊට එක් හේතුවක් වූයේ ඔහුට සහාය දුන් නේපාලි කොන්ග්‍රසයේ නායකයා සහ හිටපු අගමැතිවරයකු වු ගරිජා ප්‍රසාද් කොයිරාළ සිය දියණිය සුජාතා ඔහුගේ ආණ්ඩුවේ විදේශ ඇමැති සහ නියෝජ්‍ය අගමැති වශයෙන් පත් කර තිබීම ය. මේ නිසා බොහෝ ෙජ්ෂ්ඨ මංත්‍රීවරු ඔහුගේ අමාත්‍ය මංඩලයට එක් වීම ප්‍රතික්ෂේප කලහ. අගමැති මදෙව් කුමාර් නේපාල්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කිරීමට ඒමට අවශ්‍ය ජන්ද 301ක් තිබුණේ නැති බැවින් මාඕවාදීහු පාර්ලිමේන්තුවෙන් බැහැර වී උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කළහ. මාස 05ක් ම මාඕවාදීහු පාර්ලිමේන්තුව වර්ජනය කළහ. අනතුරුව දෙමසක් පුරා ඉන්දීය විරෝධී අන්ත ජාතිකවාදී දේශපාලන උද්ඝෝෂණයක් දියත් කළහ. කත්මන්ඩු ආණ්ඩුව පවත්වා ගෙන යන්නේ ඉන්දියාව යැයි ඔව්හු චෝදනා කළහ. එම ව්‍යාපාරය ද අපේක්ෂිත ප්‍රතිපල ලබා නොදුන් කළ පසුගිය මැයි මාසයේ දී ආණ්ඩුව පෙරළා දමන තෙක් නෙනවතන බවට ශපථ කළ සමස්ත මහා වැඩ වර්ජනයක් දියත් කළහ. කත්මන්ඩු නගරය ලක්ෂ සංඛ්‍යාත මාඕවාදීන් විසින් වටලන ලදුව නගරය සහමුලින්ම වාගේ අඩපණ විය. ආහාර හිඟවූ අතර ගමනාගමනය නතර වී දහස් ගණන් වැඩ කරන ජනයා හාමකට පත් වූහ. මෙම හර්තාලය මහා ජනයාට අවැඩ දියක බව කියමින් සිවිල් සමාජ පිරිස් සාම රුලියක් දුර්බා වතුරශ්රයට කැදවූ කළ අනපේක්ෂිත ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාවක් ඊට ගලා ආවෝ ය. රට පුරාම ඊට සමාන ක්‍රියාකාරකම් හට ගත්තේ ය. මාඕවාදී නායක ප්‍රචණ්ඩ හර්තාලය නතර කරන බව පසුදා ප්‍රකාශ කළේ ය. මහා ජනයා තමන් කෙරෙන් ඉවත් වෙමින් සිටින බව ඔව්හු වහාම තේරුම් ගත්හ.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ අරගලයන් දියත් කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ එල්ටීටීඊ ය යන දෙකටම වඩා නේපාලයේ මාඕවාදී ව්‍යාපාරයේ ඇති කැපී පෙනෙන වෙනසක් නම් සිය ව්‍යාපාරයෙන් පිටත් සිටින මහා ජනයාගේ සිතුවිළි සහ හැගීම් සම්බන්ධයෙන් මෙන්ම දේශපාලන වර්ධනයන් පිළිබද යතාර්ථවාදී තක්සේරුවට ඒමට එය දක්වන හැකියාව යි.

නේපාලයේ ෙජ්ෂ්ඨ මාධ්‍යවේදියකු සහ දේශපාලන විචාරකයකු වන කුන්ඩා ඩික්සිත් පෙන්වා දෙන්නේ නේපාලය ඉදිරියෙහි ඇත්තේ ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියොත් තෝ නසී වර්ගයේ උභතෝකෝටිකයක් බව යි. එක් අතෙකට නේපාලය තනි පක්ෂ ඒකාධිකාරයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය යි. සන්නද්ධ අරගලය කෙරෙහි විශ්වාසය කබන එහි අපේක්ෂාව වන්නේ නේපාලය මහජන සමූහාණ්ඩුවක් බවට පත් කිරීමට ය. අනෙක් අතට 1990 සිට වරින් වර රට කරවූ දූෂිත සහ රට ගැන ඇල්මක් පෙන්වා නැති නේපාලි කොන්ග්‍රස් පක්ෂය යි. එය බහු පක්ෂ ක්‍රමය සහ සාමකාමී දේශපාලනය අනුමත කරයි.

බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා මගින් බලය අල්ලා ගැනීම අත් හරින බව ප්‍රකාශ කිරීමට සහ ක්‍රමයෙන් බලහත්කාරයේ දේශපාලන උපා අනුගමනය කිරීම නතර කිරීමට මාඕවාදීන් සමත් වන්නේ නම් එයට නේපාලයේ නායකත්වය ලබා ගැනීමට අවස්ථාව තිබේ. යථාර්තවාදී දේශපාලන කෝණයකින් බලන්නේ නම් නේපාලයට ස්ථාවර පාලනයක් ලබා දීමට නම් ඉන්දියානු විරෝධය අත් හැරීමද අවශ්‍ය ය. පාර්ලිමේන්තුවෙහි බහුතරයක් ලබා ගනිමින් මදේශි ප්‍රාදේශීය පක්ෂ සමඟ සන්ධානයකට එළඹිමට නම් ඉන්දීය විරෝධය අත්හළ යුතු බව පැහැදිලි ය.

නමුත් එම වෙනස කර ගැනීමට මාඕවාදී කොමයුනිස්ට් පක්ෂය අසමත් වන්නේ නම් යළිත් වරක් සභාග ආණ්ඩු අගමැතිවරයකු නේපාලයට පත් වීමට ඉඩ තිබේ. කවර අගමැතිවරයකු බලයට පත් වුවත් ප්‍රධානතම අභියෝගය වනු ඇත්තේ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සාර්ථක අවසානයක් කරා ගෙන යෑම යි. එම ක්‍රියාවළියට නායකත්වය දීමට සමත් නොවුන හොත් මාඕවාදී දේශපාලන ව්‍යාපාරයේ වාසනාව අනෙක් අතකට කැරකී යාමට ද ඉඩ තිබේ. නැවත පැවැත්වෙන මැතිවරණයක දී සිය බලය එළෙසම පවත්වා ගැනීමට මාඕවාදීන් සමත් නොවනු ඇති බව නේපාල දේශපාලන විචාරයින්ගේ තක්සේරුව ය. අනෙක් අතට ස්ථාවර ආණ්ඩුවක් සෑදීමේ හැකියාව වැඩිපුරම ඇති මාඕවාදීනට එම අවස්ථාව අහිමි වුව හොත් නේපාලය යළි දේශපාලන අර්බූදයක කිඳා බැසීමට ද ඉඩ තිබේ.