ඉලක්කය හා උපාය මාර්ගය

By Beyond Frame

ඉලක්කය හොද නම් එය සාක්ෂාත් කර ගැනීම සදහා කවර වුව උපාය මාර්ගයක් අනුගමනය කිරීම වැරදි නැතැයි සමහරු කියති. ඉලක්කය කොතෙක් උදාර වුවද එය අයත් කර ගනු ලබන්නේ නිහීන ක්‍රියාමාර්ගයක් හරහා නම් එය කිලිටිවන බව විරුද්ධමතධාරීන්ගේ මතයයි.

හිට්ලර් පමණක් නොව කාල්මාක්ස් හා ලෙනින් යන බොහෝ බටහිර දාර්ශනිකයින් හා දේශපාලකයින් විශ්වාස කළේ මුල් උපදේශය ය.

බුදුන්වහන්සේ හා ගාන්ධි යන ආසියාතික දාර්ශනිකයින් හා දේශපාලනඥයින් විශ්වාස කළේ දෙවැන්න ය.

බටහිර කදවුර පට්ට ගසනා අපේ ඊනියා දේශප්‍රේමීන් දැන හෝ නොදැන උන්ගේ උරුමය වූ බුදුන් හා ගාන්ධි වැනි නායකයින් අනුදැන වදාළ උපදේශයන් ප්‍රතික්ෂේප කරමින් තමන් බණින්නාවූ බටහිර මතයම බදා ගන්නේ කවර හෙයින් ද යන්න විමසිය යුතු ප්‍රහෙලිකාවකි.

මර්වින්සිල්වා ගේත් ආණ්ඩුවේ සෙසු මැරයන්ගේත් සියලු ක්‍රියා සාධාරණය කරනු ලබන්නේ මේ මතයේ පිහිටා ය. සිරසට ගල් ගැසීමේ සිට ප්‍රගීත් අතුරුදහන් කිරීම දක්වා වූ සියලු ක්‍රියා සාධාරණය කරනු ලබන්නේත් මේ මතයේ පිහිටා ය. සරත් ‍ෆොන්සේකාගේ සිට ඔහු නිදහස් කරන්නට උපවාසය කළ හාමුදුරුවන් දක්වා බිම දිගේ ඇදගෙන ගොස් කූඩු කිරීම සාධාරණය කරන්නේත් මේ මතයේ පිහිටා ය. හොර චන්ද දැමීමේ සිට නීතිය බල්ලාට දැමීම දක්වා වූ සියලු නොපනත්කම් වලට සාධාරණයක් ලබා දෙන්නේ ද මේ මතයේ පිහිටා ය.

නහුතයක් චන්ද දායකයින් ආණ්ඩුව කරන සියලු නොපනත් කම් ඉවසමින් ආණ්ඩුවටම චන්දය දාන්නේ උපාය මාර්ගය කුමක්වුවද ඉලක්කය ලගා කරතැයි යන මතයේ පිහිටා ය.

බටහිරට බණින දේශප්‍රේමීන්ට මෙන්ම උන්ට චන්දය දෙන චන්දදායකයින් ටද පෙරදිග චින්තනයට පිටුපා බටහිර විසින්‍ ලොවට දායාද කළ ධර්මයක්ම සරණ යන්නට වීම අප සැළකිය යුත්තේ ඉතිහාසයේ සරදමක් ලෙස ද?