වසන්තව අත්අඩංගුවට ගැනීම 'බටලන්ද' නැවත සිහිකිරීමක්ද ?


- නන්දන වීරරත්න - 

ඊයේ වසන්ත පුවත්පත් අමතා කළ කතාවේ ඔහු ගෙනගිය පොලීසි දෙකක් ගැන කියනව. එකක් පෑලියගොඩ පොලීසියේ විශේෂ ඒකකය. අනෙක තංගල්ල පොලීසිය. මේ පොලීසි දෙකේම ‘බටලන්ද කොමිසමේදී’ කියවෙනව. ඒ නීතීඥ 1989 අගෝස්තුවේ විජේදාස ලියනාරච්චි, අලුත් කඩෙන් පැහැරගෙන ගොස් මුලින්ම රඳවා තිබුණේ තංගල්ල පොලිසියේ. ඔහු පැහැර ගත්තේ ස.පො.අ. කරවිටගේ ධර්මදාසගේ නායකත්වයෙන් අලුත්කඩේ උසාවි සංකීර්ණයේ දී. කොමිසමේ දී එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරාගේ සාක්ෂිය අනුව ‘තංගල්ල පොලිසියේ සිට කොළඹට මාරු කළ ලියනාරච්චි, පැලියගොඩ පොලිසියේ කඩාකප්පල්කාරී ක්‍රියා මර්ධන ඒකකයට මාරු කිරීමට නියෝග කලේ එවකට ඇමති රනිල් වික්‍රමසිංහ. 

මේ පෑලියගොඩ කඩාකප්පල්කාරී ක්‍රියා මර්ධන ඒකකයේ එවකට ප්‍රධානියා ස.පො.අ. ඩග්ලස් පීරිස්. දැන් එහි ඇති විශේෂ ඒකකයේ ප්‍රධානියා මහින්ද විල්ලොරාඅරච්චි. වසන්තගේ සාක්ෂියෙන් ඔප්පුවන්නේ බටලන්දේ වධකයා යලි පරණ ක්‍රමය ම එනම් ගිය සියවසේ තිබූ ‘නිල ඝාතන කල්ලි’ වලට යළිත් පණ දෙමින් සිටින බවයි. මෙහිදී උසස්වීම් වෙනුවෙන් දේශපාලකයන්ට පක්කලිකම් කරන පොලිස් නිලධාරීන්ට අතීතය සිහිපත් කර දිය යුතුයි. 

ස.පො.අ. කරවිටගේ ධර්මදාස ලියනාරච්චි නඩු තීන්දුවෙන් දින කිපයකට පසු රාජකාරි පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන දිවි නසා ගත්තා. පෑලියගොඩ කඩාකප්පල්කාරීක්‍රියා මර්ධන ඒකකයේ පොලිස් පරීක්ෂක නිශ්ශංක බණ්ඩාර, 1997 දී බටලන්ද කොමිසමට සාක්ෂිදීමට පැය කීපයකට පෙර රාජකාරි පිස්තෝලයෙන් හිසට වෙඩිතබාගෙන දිවි නසා ගත්තා. මෙකල ඝාතන මෙහෙය වූ ඩග්ලස් පීරිස් 2010 ඔක්තෝබරයේ සිරගතව සිටියදී නීතීඥ රෙක්සි පියදාස මගින් ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ දී තමාට අපරාධ කිරීමට නියෝග දුන් දේශපාලුවා ගැන විස්තර ඉදිරිපත් කළා. පොලිසිය සමාජ මාධ්‍ය කියවනවා නම් මේ ඉතිහාසය යළි සිහිපත් කර ගන්න. නොකියවනවා නම් කියවන උදවිය ඔවුන්ට මේ ඉතිහාසය කියා දෙන්න.