ශ්‍රී ලංකාව සෑම විටම සෑම රාජ්‍යයකටම හිමි පරමාධිපත්‍යයට ගරු කරමින් කටයුතු කළාය. නමුත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇතැම් අසල්වැසි රටවල් ඇඟිලි ගසන්නේය.
කතුවැකිය
ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ තානාපති ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයට ගොස් එහි දේශපාලන කටයුතු වලට මැදිහත් වුවහොත් ඉන්දියාවේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? දශක ගනනාවක් තිස්සේ ජනජීවිතය පීඩාවට පත්කරමින් නීතිගත කොට ඇති ඉතා දරුණු නීතියක් වන සන්නද්ධ හමුදා විශේෂ බලතල පනත (AFSPA) සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු යැයි ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ තානාපතිවරයා කිවහොත් ඉන්දියාව කුමක් කියනු ඇතිද? තම රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසන ලෙස කියමින් දැඩි වචනයෙන් ප්‍රතිචාර දක්වනු ඇත. සත්‍යය නම් ශ්‍රී ලංකාව කිසිඳු රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසුවේ හෝ ඇඟිලි ගසන්නේ නැත. ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස තම විනය සහ සහයෝගීතාවය රාජ්‍යතාන්ත්‍රික මූලධර්ම වලට ගරුකරමින් පවත්වා ගන්නේය. එනම් ශ්‍රී ලංකාව සෑම විටම සෑම රාජ්‍යයකටම හිමි පරමාධිපත්‍යයට ගරු කරමින් කටයුතු කළාය. නමුත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇතැම් අසල්වැසි රටවල් ඇඟිලි ගසන්නේය.
ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් පසුගිය දින කිහිපය පුරා කාර්යය බහුල බව ජනමාධ්‍යය වාර්තා කළේය. ඔවුහු මෙරට ඇතැම් දේශපාලඥයින් හමුවී දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත්වන ලෙස ඉල්ලා ඇත. දශක ගණනාවක් තිස්සේ මෙරට ජන ජීවිතයට අකුල් හෙලමින්, රටේ සංවර්ධනයට බාධා කරනු ලැබූ ඉන්දියාව යළිත් උත්සාහ කරන්නේ තවත් නාඩගමක් නැටීමටදෝ යන සැකය අපට මතු වේ. ඉතාම අවලසන්න වෙළඳ ගිවිසුමක් තමන්ට අවශ්‍ය ආකාරයෙන් සිදු කර ගැනීමට නොහැකි වීම නිසා ඉන්දියාව මෙරට ජනජීවිතය නගා සිටුවීම සඳහා ලබා දුන් ණය සහන වහාම ආපසු ගෙවන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දියාවේ මෙම හැසිරීම ඇත්තක් නම් ශ්‍රී ලංකාව මෙය ඉතාම ප්‍රවේශමෙන් අවබෝධකරගත යුතු කාරණයකි. ඉන්දීය ප්‍රතිපත්ති තීරකයින් මෙහිදී නිරාවරණය කරමින් සිටින්නේ ඔවුහුගේ කුහකකමයි. මෙම කුහකගතිය ඉතාම දරුණුය.
අප මෙහිදී ඉදිරිපත් කරන්නේ හුදු කල්පිත නොවේ. ඉන්දියාව අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ සමාජය ස්ථාවරව පවත්වා ගැනීමට එරෙහිව කටයුතු කළේය. විවිධාකාරයෙන් මෙරට දෙමළ ජනතාවගේ හැඟීම් සමග සෙල්ලම් කරමින් රටේ සමාජ සහ දේශපාලන ස්ථාවරත්වයට අකුල් හෙලුවේය. මෙරටට සාමය උදාකර දීමට යැයි ස්ථානගත කරනු ලැබූ ඉන්දීය සාම සාධක හමුදාව විසින් දෙමළ ජාතික ස්ත්රීන්ට සහ ඔවුහුගේ දේපල වලට කළ හානිය ගැන තවමත් කිසිඳු වගකීමක් ඉන්දියාව භාරගෙන නැත. නමුත් තම සැබෑ ස්වරූපය වසා ගැනීම සඳහා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නමැති වෙස්මුහුණ දමාගෙන මෙරට සමාජය අස්තාවරව පවත්වා ගැනීම සඳහා හැකි හැම උගුලක්ම අටවන්නේය. ස්ථාවර ආණ්ඩුවක් බලයට පැමිණි අවස්තාවක එම ආණ්ඩුව තුළ අභ්‍යන්තර ගැටළු නිර්මාණය කරන්නේය. ශ්‍රී ලංකාව අස්ථාවර කොට ඉන්දියාව ලබන සතුට කුමක්දැයි අපට තෙර්න්නේ නැත.
ඉතින් අපි මේ ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්ට මෙසේ කියමු. ශ්‍රී ලංකාව ජීවත් විය යුත්තේ 2021 ට ගැලපෙන ආකරයෙන් මිස ශ්‍රී ලංකාව ජීවත් විය යුත්තේ 1987 ට ගැලපෙන ආකාරයෙන් යැයි බලපෑම් කිරීම වචනනේ පරිසමාප්ත අර්ථයෙන්ම කැත වැඩකි. මෙම ඉල්ලෙමට ඉන්දීයාවේ සාමන්‍යය ජනතාවද ශ්‍රී ලංකාව සමග එකට එකතු වනු ඇතියි අපි විශ්වාස කරමු. කලාපයේ බලවතා ලෙස ඉන්දියාව මීට වඩා විනීතව සහ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සමග රාජතාන්ත්‍රිකව කටයුතු කරන්නේ නම් වැදගත්ය. ශ්‍රී ලංකාවට දශක ගනනාවක් තිස්සේ මුහුණ දීමට සිදු වූ අපාදුක් වලින් මිදී දැන්වත් දියුණු වෙන්න ඉඩදෙන්න.
Post a Comment