ජනරජයෙන් පැණිරජයට

මෙම ශෝචනීය තත්වය තව දුරටත් මෙලෙසම පැවතිය හොත්  අවසානයේදී අපට අපේ ජනරජය අහිමි වී ඒ වෙනුවට පැණිරජයක් බිහිවීමට වැඩි කාලයක් ගත වන්නේ නැත. එය පිස්සුවේ  උපරිම අවස්ථාවයි.  

කතුවැකිය

මිත්‍යාව විසින් විද්‍යාව ගිල ගනිමින් තිබේ. මිථ්‍යාව මිනිස් ස්වභාවයේ සන්තානයන් සන්තර්පනය කරනු ලබන්නේය. එසේම මිත්‍යාව කෛරාටකයින්ට  වඩාත් පහසුවෙන් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා අවශ්‍යය මාර්ගය තනා දෙන්නේය. ජනතාව මුලාවේ හෙළීම සඳහා ඉතාම පහසු  ලෝකයක මෙවැනි නාඩගම් අරුම පුදුම දේවල් නොවේ.  ඒ සඳහා වත්මන් ජනමාධ්‍යය තුළ ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථා තිබේ. ජනමාධ්‍යක වගකීම් ගැන හරි හැටි අවබෝධයක් නැති, පාදඩ මුදලාලිලාගේ  කූඨ ව්‍යාපාර වල මෙවලම් බවට පත් වී සිටින පුද්ගලයින් ජනමාධ්‍යවේදීන් වූ විට මෙම කාලකන්නි තත්වය වඩාත් හොඳින් පවත්වාගෙන යෑම පහසුය. 

බුද්ධ ධර්මය ඉතාම සූක්ෂම ලෙස විකෘති කොට බුද්ධ ධර්මය නොවන ධර්මයක් බුද්ධ ධර්මය ලෙස වෙස්ගන්වනු ලැබීය. එලෙස  විකෘති කරනු ලැබූ ධර්මය ජනතාවට එන්නත් කරනු ලැබීය. මේ නිසා පන්සිල් වත් හරියට අනුගමනය කිරීමට තරම් අවංකකමක් නැති නමුත් ධර්මය ගැන කතා කළොත් ත්‍රිපිටකයම කට පාඩම් සේ හැසිරෙන කයිවාරුකාරයින් රාශියක් බිහි විය.  එසේම ජේසුස් වහන්සේගේ ධර්මයටද එම වින්නැහියම කළේය. ඉස්ලාම් ආගමද ඇතැමුන්ගේ පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට හැකි ආකාරයෙන් අර්ථගන්වා එම අර්ථගැන්වීම් වලට අනුව තමන්ගේ සතුරා තෝරා ගනු ලැබීය.    

මෙහි අලුත්ම ජවනිකාව දේශීය හෙළ වෙදකම නමැති ධර්මතාවය අනිසි ලෙස භාවිතා කරමින් විවිධ ජාවාරම්කාරයින් දෙවියන්ගේ නියෝජිතයින් සේ හැසිරීමය. ලංකාවේ පමණක් නොව දකුණු ආසියාව ඇතුළු බොහෝ රටවල මෙම අවලස්සන ජවනිකාව විවිධ ස්වරූපයෙන් තිරගත වේ. මන්ද මෙවැනි රටවල ජීවත් වන බොහෝ දෙනාට දිගුකාලීන සැලසුම් නැත. එසේම ලෝකය ගැන දැනගැනීමට අවශ්‍යය කියවීමක් ලැදියාවක් නැත.  බොහෝ මින්සුන් මාන බලන්නේ අනෙකා රැවටීම සඳහා කූඨ උපායක් නිර්මාණය කිරීම පමණි. ප්‍රකට මාක්ස්වාදියෙකු මෙම පැණි රැගෙන එන දෙවිවරුන්ගේ පුත්‍රයින්ට එල්ල වන විවේචන ගැන සඳහන් කොට ඇත්තේ එය බටහිර කුමන්ත්‍රණයක් බවය.  

කෙසේ නමුත් මෙවැනි ජාවාරම් කාරයින්ට ඉඳහිට හෝ  සත්‍යය දකින්නෙකු හමුවේ. එවැනි හමුවීමක් පසුගියදා සිදුවිය. එනම්, කාලි දෙවියන්ගේ පැණිය යැයි නම් කරනු ලැබූ පැණියක් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එකතු කිරීමට උත්සහ කළ පැණි ජාවාරම්කරුවාට එම පන්සලේ නායක හාමුදුරුවන් ලබා දුන් ප්‍රතිචාරයය. අවිචාරවත් මාධ්‍යය ආයතන බොහෝමයක් එම කොටස වාර්තා නොකළේය. නමුත්, එම සිදුවීමේදී සත්‍යය දකින්නෙකු හැසිරිය යුතු ආකාරය පෙන්වාදීමට එම නායක හාමුදුරුවන් වහන්සේ සමත් වූහ. ඒ ගැන එම හිමිනමට ජාතියේ ප්‍රසංසාව හිමිවේ. 

මෙරට මෙන්ම ඉන්දියාවේ සහ අනෙකුත් බෞද්ධ කෙන්ද්‍රස්ථාන වල වැඩසිටින  ශ්‍රී මහා බෝධින් වහන්සේලා විනාශ කිරීම සඳහා බොහෝ දෙනෙකු උත්සහා කළෝය. ඒ සඳහා විශාල ධනස්කන්දයක් වැය කරනු ලැබීය. මෙම පැණි නළුවාගේ නාඩගමද එහි එක් පියවරක් පමණි. ඔහුට කාලී දෙවියන් පැණිය  දුන්නේ නම් ඔහු එය පූජා කළ යුතුව තිබුණේ හින්දු කෝවිලකට මිස බෞද්ධ පන්සලකට නොවේ. නීතියේ අධිපත්‍යය ස්වාධීනව  විඝණනයට ලක්වන ජනතාවගේ ආරක්ෂාව ගැන සැබෑ හැඟීමක් ඇති රටක නම් මේ පුද්ගලයා සහ අනෙකුත් කූඨ වෙළෙන්දන් මේ වන විට සිටින්නේ සිරගත කොටය. 

රට පුරා පැණි වර්ග රාශියක් බිහි වෙමින් තිබේ. ඒ සියල්ලටම කොරෝනා වෛරසය නැති කිරීම සඳහා පුදුම බලයක් ඇති බව කියන්නේය. මේ සියලු නාඩගම් සහ ඒවාට උල්පන්දම් දෙන ජනමාධ්‍යය ආයතන මෙන්ම අනෙකුත් අවිචාරවත් පුද්ගලයෙන් දෙස බලන විට අපට අපේ රට ගැන ඇතිවන්නේ දුකක්  පමණි. මේ රටට අවශ්‍යය වන්නේ මහා පරිමාණ මානසික ප්‍රතිකාර වැඩපිළිවෙලක් බව හැඟේ. අඩුම වශයෙන්  නිවැරදි බුද්ධ ධර්මය දේශනා කරන ස්වාමීන්වහන්සේලා අතලොස්ස මාර්ගයෙන් හෝ මෙමෙ ජාතික ප්‍රතිකාරය කළ යුතුව ඇත.  මන්ද, මෙම ශෝචනීය තත්වය තව දුරටත් මෙලෙසම පැවතිය හොත්  අවසානයේදී අපට අපේ ජනරජය අහිමි වී ඒ වෙනුවට පැණිරජයක් බිහිවීමට වැඩි කාලයක් ගත වන්නේ නැත. එය පිස්සුවේ  උපරිම අවස්ථාවයි.  

අහෝ රටවැසියණි  බලව් තොපේ හෙළුවේ කැත!