විස්ස සම්මතයි : ආගමික නළුවන්ට එල්ල වූ කණේ පහර

 අවසාන විග්‍රහයේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙම ආගමික නළුවන්ට ඇතුල් පහරක් ලබාදී මෙසේ කියා ඇත්තේය. "ඔබ වහන්සේලා ඔබ වහන්සේලාගේ ආගම ගැන බලාගන්න. රටේ පාලකයින් රාජ්‍යය පරිපාලනය සහ ජනතාවගේ ලෞඛික සුඛ විහරණය ගැන බලා ගනු ඇත. දැන්වන් සමාජයට කරදරයක් නොවී පාරමිතා පිරීම සඳහා අවශ්‍යය සීලය රකින්න. නොහැකිනම් තම නිල ඇඳුම පැත්තකින් තබා ලෞඛික දිවියේ "සැප" විඳින්න." 


කතුවැකිය - ශ්‍රී ලංකා ගාර්ඩියන් 

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුවේ අපේක්ෂාවන් මුදුන් පත් කරනු ලැබීය. ආණ්ඩුවට අපේ සුභ පැතුම්. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක් මීට දින කිහිපයකට පෙර  ලිඛිතව ඉදිරිපත් කළ කාරණා ප්‍රායෝගිකව ඒ ආකාරයෙන්ම සිදු කරනු ලැබීය. එය අගය කළ යුතු කාරණයකි. එසේම දේශපාලනඥයෙකු වශයෙන් තම ප්‍රතිරූපය තවමත් හානි නොකරගත් හර්ෂ ද සිල්වා විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ තුලනාත්මක කියවීම අගය කළ යුතුය. තැටිය රත් වූ පසු රොටිය පුච්චා ගන්නා අනෙකුත් අවස්ථාවාදීන් ගැන සඳහන් කිරීමෙන් බාශාවේ වචන දූෂණය වීම පමණක් සිදුවන බැවින් අපි බාෂාවේ වචන දූෂණය කිරීමෙන් වැලකීමට උපරිම උත්සහය ගනිමු.  


විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශපාලන කියවීම් රාශියක් සමාජය පුරා පැතිරී තිබේ. එහි වාසි අවාසි බොහෝ දෙනෙකු විසින් පෙන්වා දී තිබේ. ඉතාම අප්‍රසන්න ලෙස අවභාවිතා කරනු ලැබූ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇතැමුන් කතා කරන්නේ පුදුමාකාර ආදරයෙකිනි. තමන්ට බලය ලැබුණු සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්‍ෂණ පිළිකුල් සහගත ලෙස  උල්ලංඝනය කරනු ලැබූ ඇතැමුන් මෙම ව්‍යවස්ථා සංශෝධනය දැක හෙලනු ලැබූ කුඹුල් කඳුළු වලින් ජාතියට සෙතක් වන්නේ නැත. එය අපි ජාතියක් ලෙස පසුගිය දශක ගණනාව පුරා ඉගෙනගත් පාඩමයි. 

කෙසේ හෝ වේවා විසිවැනි සංශෝධනය තමන්ට අවශ්‍යය ආකාරයෙන් සම්මත කර ගැනීමෙන් රටේ නායකත්වය සහ ආණ්ඩුව වැදගත් පාඩමක් එක් වැදගත් සමාජ කුලකයකට උගන්වා තිබේ. ඒ මෙරට ආගමික සංස්ථාව විනාශ කරමින් එහි ඇති ජීව ගුණය කෙලසමින් සිටින ආගමික නළුවන් පිරිසටය. ආණ්ඩුව මෙම ආගමික නළුවන් පිරිසට වැරෙන් පහරක් එල්ල කොට ඔවුහු වෙලී සිටි මංමුලා වූ නින්දෙන් අවධිකොට ඇත. ඔවුහුට දැන් ඉතිරි වී ඇත්තේ තමන් තුළ තමන් සෙවීම මිස අනුන් තුළින් තමන් දැකීම නොවේ. 

අපි එය අඳුරු වලාකුලක ඇති රිදී රේඛාව ලෙස දකින්නෙමු.  මෙරට වොයිස් කට් ආගමික නළුවන් යැයි අන්වර්ථ නාමයෙන් හඳුන්වන කණ්ඩායම විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට දැඩිව එරෙහිවිය. ඔවුහුගේ එම විරෝධයට රටේ ජනමාධ්‍යය තුළද සැලකිය යුතු කාලයක් වෙන්විය. අධි වසංගත තත්වයකින් පීඩා විදින ජනතාව හමුවේ, කලයුතු කටයුතු රාශියකින් මෙම ආගමික ප්‍රජාව නියෝජනය කරනු ලබන පිරිසට තිබුනද ඔවුහු තෝරා ගත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විවිධාකාර අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමය. ඔවුහුට ආගම යනු තම පෞද්ගලික ආශාවන් රසවිඳීම සඳහා ඇති මෙවලමයි. 

මෙහිදී සඳහන් කිරීමට ඇති වැදගත් කාරණයක් තිබේ. එනම්, මෙලෙස විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීමට උත්සහ කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට දායක වූ දේශපාලනය මෙවලමක් කරගෙන සිටින ආගමික පිරිසෙන් කොටසකි. 

ආගමික නායකයින් කළ යුතු රාජකාරිය සම්පූර්ණයෙන්ම පැහැර හරිමින් හිස් ප්‍රසිද්ධියක් උදෙසා පොරපදින මෙම ආගමික නළුවන් පිරිස සමාජ කටයුතු වලට බාධකයකි. ඔවුහුට දේශපාලනය කිරීමේ ආශාවක් තිබේ නම්, ඔවුහු කළ යුත්තේ තම ආගමික නිල ඇඳුම ඉවත් කොට සාමන්‍යය පුරවැසියන් ලෙස සාමජය හමුවේ පෙනී සිටීමය. එසේ කළ නොහැකිනම්, ආගමික සංස්ථාවක සාමාජිකයින් ලෙස ඔවුහු අතින් ඉටුවිය යුතු  මූලික වගකීම වන ආගමානුකූලව ජීවත් වී බහුජනතාවගේ අධ්‍යාත්මය දියුණු කිරීම වෙනුවෙන් කැපවිය යුතුය.  

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ඔස්සේ, මෙම ආගමික නළුවන්ට ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අයවලුන් ලබා ආදී ඇති පාඩම වැදගත් වේ. එය ඉගැන්විය යුතුව තිබූ පාඩමකි. මෙම පිරිස පසුගිය ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කරමින් ව්‍යාජ මතවාද රාශියක් සමාජය පුරා ප්‍රචාරය කරනු ලැබීය. මෙම ප්‍රජාවට අවශ්‍යය හිස් ප්‍රසිද්ධියක් සහ රටේ ජනතාව මුලාවේ හෙළීම පමණි. ඊයේ සිදුවූ දේශපාලන සිදුවීමෙන් මෙම ආගමික නළුවන්ට ලබා දී ඇතුල් පහර ඉතාම වැදගත් වන්නේ ඒ නිසාය. 

දැන් කළයුත්තේ කුමක්ද? තමන්ගේ ජීවිතය ගැන හැඟීමක් සහ ලැජ්ජාවක් තිබේ නම් මෙම අගාමික නළුවන් තම මෝඩ නරි නාටක අමතක කොට දමා ත්‍රිපිටකය හෝ ශුද්ධ වූ බයිබලය යලිත් වරක් ( මීට පෙර හදාරා ඇත්තේ නම්) හදාරා, ගෞතම බුදුන්ගේ සහ ජේසු සමිදානන්ගේ ජීවිත වලට සහ ඔවුහුගේ ධර්මතාවයන් වලට යම් කිසි සාදරනයක් ඉටු කිරීමය.

අවසාන විග්‍රහයේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙම ආගමික නළුවන්ට ඇතුල් පහරක් ලබාදී මෙසේ කියා ඇත්තේය. 

"ඔබ වහන්සේලා ඔබ වහන්සේලාගේ ආගම ගැන බලාගන්න. රටේ පාලකයින් රාජ්‍යය පරිපාලනය සහ ජනතාවගේ ලෞඛික සුඛ විහරණය ගැන බලා ගනු ඇත. දැන්වන් සමාජයට කරදරයක් නොවී පාරමිතා පිරීම සඳහා අවශ්‍යය සීලය රකින්න. නොහැකිනම් තම නිල ඇඳුම පැත්තකින් තබා ලෞඛික දිවියේ "සැප" විඳින්න." 

ඔබලාට දැන් හරිම සතුටද අපේ හාමුදුරුවනේ ! අපේ පියතුමනි!! ජේසුස් වහන්සේට හෝ ගෞතම බුදුන් වහන්සේට  ඔබලාගේ කුණු වූ ආත්ම වලට එබී බැලිය හැකිනම් උන් වහන්සේලා පෘතුවියෙන් නොව මුළු ක්ෂිරපතයෙන්ම පැනදුවනු ඇත. හා ... හොඳයි නැද්ද අපේ හාමුදුරුවනේ?