ජනතා විමුක්ති පෙරමුණ මූලික වන රජයක් එයිද?

 ශ්‍රි ලංකාවේ දේශපාලනය තියෙන්නේ පෙර නොදුටු සංදිස්ථානයක බව වැඩි දෙනෙකුට තේරෙනවා. මෙතනින් එහා දේශපාලන අනාගතය මොනවගේ වෙයිද කියන එක ගැනම් මත විවිධාකාරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දට හිතවත් සහ නැති වශයෙන් භේද වෙලා ඉන්නේ. බණ්ඩාරණායක වරුන්ගේ දරුවන්ට තිබ්බ ආකර්ශණය රාජපක්ෂ දරුවන්ට සමාජයේ නැහැ. එම නිසා රාජපක්ෂවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය නැවත අත්පත් කරගත්තත් ඒක එක පරම්පරාවකින් එහාට යන්නේ නැහැ. රාජපක්ෂවරු අයින් වුණත් මෛත්‍රීපාල සිරිසේනටත් මේ පරම්පරාවෙන් එහාට පක්ෂය ගෙනයන්න රට පිළිගත් දෙවන පෙළක් ඇතිවී නැහැ.

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන්නේ ශ්‍රිලනිපට වඩා බොහොම වෙනස් පුද්ගලයින්. ඒක පොඩ්ඩක් හරි වෙනස් වූණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හරහා. විශාල කාලයක් පක්ෂයේ ඉදිරි පෙලේ නායකයෙක්ව සිටි නිසාම ඔහුට නායකත්වය ලැබුණා. රනිල් ගෙන් පසු එජාපයට මොනව වෙයිද කියන එක ගැන නම් මට තියෙන්නේ කුතුහලයක්. ඒකට හේතුව පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ට පිළිගත හැකි ආකාරයේ දේශපාලකයින් වන එරාන් වික්‍රමරත්න, ආචාර්‍ය හර්ෂ සිල්වා වැන්නවුන් දේශපාලනයට ලඟදී පැමිණියවුන් වීම. එම නිසා බොහෝ විට රනිල් ගෙන් පසු සජිත් ප්‍රේමදාස නායකත්වයට  පත්වෙන්න පුළුවන්. 

සජිත් පක්ෂයේ තරුණ කොටස් අතර කැමැත්තක් දිනා ගත් කෙනෙක් බව සත්‍යයක් වුණත් දේශපාලන දර්ශණයක් පෙන්නුම් කල අයෙක් නොවෙයි. ඔහුට සමාන ශ්‍රිලනිප දේශපාලකයා වුණේ මහින්ද . මහින්දත් දේශපාලනයට සම්බන්ධ පාක්ෂිකයින් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වුණාට රට ගැන දර්ශණයක් ඇති කෙනෙක් නොවෙයි. සජිත් විපක්ෂයේ සිටි සමයේ සහ අද ක්‍රියා ගැන සලකන විට මේ දර්ශණයක් ඇති නැති වෙනස ගැන හොඳින් පැහැදිලිවෙනවා. එක කාලයක ඔහු රැකියා නැති තරුණියන්ට මහන මෙෂින් බෙදා දෙන ව්‍යාපෘතියක් කරගෙන ගියා. එක ගෙදරකට මෙශිමක් ලැබුණු විට අවට නිවෙස් වල අයගේ මැහුම් අවශ්‍යතා සපුරා අතිරේක ආදායමක් ලබා ගත හැකි වුණත් හැම තැනම මෙෂින් බෙදුවොත් වෙන්නේ සැමටම එය ආර්ථික වශයෙන් අවාසිදායක දෙයක් වෙන එක. දර්ශණයක් ඇති අයකු කරන්නේ මහන ඇඳුම් වලට ඉල්ලුමක් ඇති කර දීම පමණයි එවිට එම තරුණියන්ට ලීසින් එකක් හරහා හෝ මෙශිමක් ලබා ගෙන එම කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. ඔහුගේ දක්ෂතාවය හෝ සම්බන්ධකම් යොදවා එවන් ඉල්ලුමක් එනම් ඕඩර් මෙරට ගැණුම් කරුවන්ගෙන් හෝ විදේශාය ගැණුම් කරුවන්ගෙන් ලබාගෙන එම රැකියා විරහිත තරුණියන්ට ලබා දෙන ක්‍රමයක් හැදුවානම් එම ක්‍රමය අඩු වියදම් එමෙන්ම දීර්ඝ කාලීනව ඔවුන්ට සහ රට වාසි වෙන දෙයක් වෙන්න තිබුණා. ලඟකදී එලිදුටු රස්සා දීමේ නාඩගම තව උදාහරණයක්. 

මෙච්චර දිග හැඳින්වීමකින් පටන් ගත්තේ වෙන දෙයක් කියන්න. එනම් ජනතා විමුක්ති පෙරමුණට නුදුරු අනාගතයේදී බලයට එන්න අද රට තියෙන සංදිස්ථානය ප්‍රයෝජනයට ගන්න තරම් දැක්මක් සහ වැටහීමක් ඇතිවෙයිද කියන දේ ගැන හිතන්න. මගේ අදහස නම් ජනතා විමුක්ති පෙරමුණ 1994 දී ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වය ගත්විට පක්ෂයට කල වෙනස හැදෑරිය යුතුයි කියායි.  1994 ට පෙර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමාජවාදී ප්‍රතිපත්ති දැරූ පක්ෂයක්. 1979 සිට කීප වතාවක්ම දක්ෂිණාංශික බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂයට පැරදුණා. 1994 දී කම්කරු පක්ෂ නායකත්වයට පත්  බ්ලෙයාර් එය සමාජවාදී සහ කම්කරුවන්ගේ පැත්තට අදින පක්ෂයක් ලෙස නොව නව ආර්ථික ක්‍රම පිළිගන්නා නවීන පක්ෂයක් බවට පත්කලා  ඉන් අවුරුදු තුනකට පසුව කම්කරු පක්ෂය බ්ලෙයාර් යටතේ ජයගත්තා. ඔවුන්ට පිට පිට මහ මැතිවරණ තුනක්ම බලය ලබා ගන්න පුළුවන් වුණා. අනික් උදාහරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1956 සිට 1993 දක්වා තිබූ සෑම මැතිවරණයකටම ඔවුන් පෙනී සිටියේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අදහන පක්ෂයක් ලෙසටයි. 1993 නායකත්වයට පත් චන්ද්‍රිකා කුමාරණතුංග මෙය වෙනස් කලා. ඔවුන් සමාජවාදය අතහැර විවෘත ආර්ථිකය පිළිගත්තා. 1994 දී ඔවුන් පොරොන්දු වුණේ විවෘත ආර්ථිකය මානුෂික මුහුණුවරකින් කියන මැතිවරණ පාඨය. එසේ නොවන්නට ඔවුන්ට ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ ඇති බොලඳ භාවය අත්හැරීමටත් සමාජවාදී හැව අතහැරීමටත් හොඳම කාලය මෙයයි යන්න මගේ විශ්වාසයයි. මෙය කිරීමට රටේ මුදල් කාබාසිනියා කරන ඔවුන් පාඩු ලබන ආයතන විකිණීමට විරුද්ධ වීම, පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වීම, වෘත්තීය සමිති පැත්තට ප්‍රමුඛත්වය දෙමින් ව්‍යාපාර වල කම්කරු අසහනය ඇතිකිරීමට උල්පන්දම් දීම වැනි අද ආර්ථිකයන්ට නොගැලපෙන දේවල් වෙනුවෙන් පෙනී සිටීමෙන් බහුතරයක් ඔවුන්ට ඡන්දය දීමට මැළි වෙන බව වැටහිය යුතුයි.

ඔවුන්ගේ මුදුන් මල්කඩ වූ රුසියාව සහ චීනයත් අත්හැර දැමූ ආර්ථික ප්‍රතිපත්තියක් කරපින්නා ගෙන සිටින තාක් කල් ඔවුන්ට චන්ද ලක්ෂ 5 සීමාව පහු කිරීම නම් නොවෙනු ඇතැයි යන්න මම සිතනවා.  යම්කිසි ප්‍රාතිහාර්යයක් සිදුවී ජනතා විමුක්ති පෙරමුණ තම දර්ශණය වෙනස් කරගත්තොත් විය හැකි දේ සිතා බලන්න. විවෘත ආර්ථික ක්‍රමය හොර මැරකම් නැතිව ක්‍රියාත්මක කරනවා නම් අද එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස සිතින එහෙත් සජිත් ගේ micro management වලට එකඟ නොවෙන අයට ජනතා විමුක්ති පෙරමුණ හොඳ විකල්පයක් වෙන්න පුළුවන්. එමෙන්ම මහින්දට පින්සිද්ධ වෙන්න දෙකට කැඩෙන ශ්‍රී ලංකා පාක්ෂිකයන්ටත් ඒ ඒ නායකයින්ගෙන් පසුව කාලයේ එය හොඳ විකල්පයක් වෙන්නට පුළුවන්.

 අවුරුදු 30 ක ඉතිහාසයක් ඇති පක්ෂයක් වශයෙන් හා සම්ප්‍රදායික දේශපාලකයින්ට වඩා හොඳ ප්‍රතිරූපයක් ඇති ඔවුන්ට බලය ලබා ගැනීමට නොහැකි හේතුව ඔවුන් තේරුම් නොගැනීම මට නම් පුදුමයක්.  උණුත් හොරු මුණුත් හොරු එමනිසා අපිට බලය දෙන්න යන සටන් පාඨය නම් තව දශක කිහිපයකට සාර්ථක නොවන බව ඔවුන්ට වැටහිය යුතුයි. ප්‍රධාන පක්ෂ දෙකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ අය වංචාවලින් තොර බව මිනිසුන් දන්නවා. එහෙත් ඔවුන්ට ජවිපෙට චන්දය දෙන්නේ නැහැ. ඒ බැව් පෙනි පෙනීම තව දුරටත් අපි තමයි අවංක අනික් අය හොරු යන්න කීම පමණක් කිරීමෙන් ඇති වැඩක් නැහැ. මහජනයා දන්න දෙයක් නැවත නැවත කීමෙන් වෙන වාසියක් නැහැ. ඔවුන් සිටියදී වංක පුද්ගලයන් ඇති  පක්ෂ වලට ඡන්දය වැටෙන්නේ ඔවුන්ගේ ආර්ථික දැක්ම බව දැන්වත් තේරුම් ගෙන 1994 දී ටෝනි බ්ලෙයාර් කම්කරු පක්ෂයට සහ 1993 දී චන්ද්‍රිකා බණ්ඩාරණායක ප්‍රතිපත්තීන්ට  කල වෙනස්කම් හදාරා ඉතා ඉක්මනින් පක්ෂයේ මුහුණුවර සහ ක්‍රියා වෙනස් කලොත් නම් ඉදිරි අවුරුදු 5-10 තුල බලයට ඉතා ආසන්න වීම හෝ ලබා ගැනීම නම් වලක්වන්න බැහැ.

පෞද්ගලික ව්‍යාපාර, රජය වෙලඳ ව්‍යාපාර වලින් අයින් වීම, පෞද්ගලික  අධ්‍යාපන අවස්ථා සුලභ කිරීම සහ සිසු ණය ක්‍රමය හරහා ආර්ථික තත්ත්වයේ බලපෑමකින් තොරව හැමටම පෞද්ගලික අධ්‍යාපනය ලබා ගැනීමට සැලැස්වීම යන ආදිය අත්‍යවශ්‍යම ප්‍රතිපත්ති වෙනස්කම්. මෙවන් ප්‍රතිපත්ති වෙනසකින් පසුව උගතුන්,  බුද්ධිමතුන්, වංචා වලින් තොර දේශපාලනයට කැමැත්ත ඇත්තන්  සමාජිකත්වයට එක කරගනිමින්  පක්ෂ පදනම විශාල කරගැනීමට ඉතාම හොඳ වටපිටාවක් ඇතිබව ඔවුන්ට තේරුම් යාවි යැයි බලාපොරොත්තු වෙමි.

(ඉයන්ගේ අඩවිය)