විශ්වවිද්‍යාල හා පෙර පාසල් වසා දැමේ


අද (13) පැවති විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගෙන් සමන්විත විශේෂ සාකච්ඡාවක දී ගනු ලැබූ තීරණයකට අනුව රජයේ සියලු විශ්ව විද්‍යාල හෙට (14) සිට සති දෙකක කාලයකට තාවකාලිකව වසා තබන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග ප්‍රකාශ කරයි. 

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට සියලු විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව උදෙසා මෙම පියවර ගත් බවත් ඒ අනුව, සති අන්ත වල පවත්වන පාඨමාලා නැවත්වීමට කටයුතු කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියි. 

එමෙන්ම, මෙරට සියලුම පළාත්වල තිබෙන පෙර පාසල් වැසීමට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය දැනුම් දී තිබේ. අද (13) දින සිට මෙම වාරයේ පෙර පාසල් නිවාඩුව ආරම්භ කෙරෙන අතර පෙර පාසල් නැවත පටන්ගන්නා දිනය පසුව දැනුම් දෙන බව නිවේදනය කර සිටියි.