පොල් මිල පාලනයට අගමැති මැදිහත් වේ


ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමටත් ඒ අනුව කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම හා පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව සතොස ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් සහන මිලට පාරිභෝගික ජනතාව වෙත පොල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සමාලෝචනය සඳහා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී තීරණය කර තිබේ. 

උඳු සහ කහ සඳහා දැනට ඇති ආනයන සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමට ද මෙහි දී ඔහු උපදෙස් ලබාදී ඇති තිබේ.

ටින් මාළු මිල ගණන් පිළිබඳවත් කුකුල් මස්, බිත්තර මිලගණන් පිළිබඳ සමාලෝචනය සිදුකෙරුණ අතර, දේශීය කිරිපිට නිෂ්පාදනය සඳහා ඇති පාලන මිල ඉවත්කොට තරගකාරීව පාරිභෝගික ජනතාවට කිරිපිටි ලබා දීමට තීරණය වී ඇත. 

එසේම එළවළු මිල ගණන් පාලනය කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන භාවිතා කරමින් සහ සතොස ද සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට නියමිතය. 

පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන ආකාරයේ මිල ගණන් ඉහළ දැමීම සිදු කරන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිකරන අතරමැදියන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ බලධාරින්ට මෙහි දී අගමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.